ෆයිසර් එන්නතට අනුමැතිය හිමිවෙයි - චීන එන්නත අනුමත කිරීම තවත් කල් යයි

ෆයිසර් එන්නතට අනුමැතිය හිමිවෙයි - චීන එන්නත අනුමත කිරීම තවත් කල් යයි

7 May 2021 02:29 pm

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා. හදිසි භාවිතය සඳහා එම එන්නතට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ෆයිසර් එන්නත මෙරට භාවිතය සඳහා අවසර හිමි වූ තෙවැනි එන්නතයි. මීට පෙර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතට සහ ස්පුට්නික් එන්නතට අනුමැතිය හිමි විය.

කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් පමණ කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බවයි. ඒ අනුව මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය තවත් වේගවත් වනු ඇති බවයි ඇමතිවරිය පෙන්වා දෙන්නේ.

මේ වනවිට මෙරටට ගෙන්වා ඇති චීන සයිනොෆාම් එන්නත සඳහා තවමත් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග පැවති වීඩියෝ සංවාදයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ඉදිරි දින දෙක - තුන තුළදී එම එන්නත සඳහා අනුමැතිය හිමිවනු ඇති බවයි. ඉන්පසු සයිනොෆාම් එන්නත භාවිතා කරන බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙම සංවාදයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් ලබාදීමට සහාය වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

UN