සැප්තැම්බර් වනවිට ජනගහනයෙන් සියයට 40 කට එන්නත් !

සැප්තැම්බර් වනවිට ජනගහනයෙන් සියයට 40 කට එන්නත් !

23 April 2021 08:02 pm

ලබන සැප්තැම්බර් මාසය පමණ වනවිට ‍ර‍ටේ සමස්ත ජනගහනයෙන් 40% කට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට රජය සැළසුම් කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව සඳහන් කරයි.

ජුලි මාසය වනවිට රුසියානු ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 2.6 ක් මෙරටට ලැබීමට නියමිත අතර මීට අමතරව ෆයිසර් එන්නත ලබා ගැනීම සඳහාද බළධාරීන් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 4.9 ක් ලැබෙනු ඇති බවට විශ්වාස කරනවා.

චීන සයිනොෆාම් එන්නත මේ වනවිටත් මෙරටට පැමිණ තිබෙන නමුත් එම එන්නත භාවිතා කිරීම සඳහා විශේෂඥ කමිටුවෙන් තවමත් අවසර ලැබී නොමැත. ඊට හේතුව වන්නේ සයිනොෆාම් එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ලැබී නොමැති වීමයි. ලබන මැයි මාසය වනවිටද ඊට අනුමැතිය හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මේ වනවිටත් රටවල් ගණනාවක් විසින් සයිනොෆාම් එන්නත භාවිතා කරමින් සිටී.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කළ අතර මේ වනවිට ලක්ෂ 09 කට වැඩි පිරිසකට එම එන්නත ලබා දී තිබෙනවා. එහි දෙවැනි මාත්‍රාව ලබාදීම මැයි මස මුලදී ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ සූදානමින් සිටී.

UN