ඡන්ද, මනාප සහ කුලවාදය

ඡන්ද, මනාප සහ කුලවාදය

22 April 2021 11:30 am

SLVOG යූටියුබ් චැනල් එකේ දර්ශන හඳුන්ගොඩ එක්ක කරන සංවාදයකදි මංගල සමරවීර හොඳ කාරණාවක් මතු කරනව. ඔහුගෙ වචනවලින්ම ලිව්වොත් ඒක මෙහෙමයි.

"ඇත්ත වශයෙන්ම මැරීගෙන යන, නැතිවීගෙන යන කුලවාදය මේ රටේ ආයෙමත් ඔලුව ඉස්සුවෙ මේ මනාප ක්‍රමය තුළ."

බැලූ බැල්මට මතුපිටින් පේන්නෙ අපේ රටේ කුලය කියන එක දැන් ඒ තරම් වැදගත් සාධකයක් නෙවෙයි කියල. නමුත් ජීවිතේ ඉතාම තීරණාත්මක අවස්ථා දෙකකදි අපේ මිනිස්සු තාමත් කුලය කියන එක ඉස්සරහට දාගන්නව. ඒක බොහොම ප්‍රසිද්ධ රහසක්. මෙන්න ඒ කාරණා දෙක.

01. විවාහය.
02. ඡන්දය.

විවාහයට කුලය කියන එක කොච්චර වැදගත් වෙනවද කියල තේරුම් ගන්න වැඩිය මහන්සි වෙන්න ඕනෙ නෑ. ඉරිදා පත්තර ටිකේ මංගල දැන්වීම් තීරුව බැලුවම ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. හැබැයි ඡන්දෙකදි එහෙමත් නැත්නම් දේශපාලනයෙදි ඒක ඒ තරම් සරල නෑ. ඉතාම සංකීර්ණයි. එතැනදි මඟුල් තුලාවකදි වගේ කවුරුවත් එළිපිට ඒක ගැන කතා කරන්නෙ නෑ. නමුත් යටින් අපිට හිතාගන්නවත් බැරි තරම් සැරට සහ තදට වැඩේ යනව.

ජාතිවාදය සහ ආගම්වාදය නම් අපිට ඇස් දෙකට පේන්න තියෙනවනෙ. ජාතිය සහ ආගම වෙනුවෙන් මිනිස්සු කපා ගන්නව, කොටා ගන්නව, ගිනි තියා ගන්නව, මරා ගන්නව. හැබැයි කුලවාදය වෙනුවෙන් කවුරුවත් එහෙම කරනව භෞතිකව අපිට පේන්නෙ නෑ. අතීතයෙදි නම් එහෙම දේවලුත් වෙලා තියෙනව. නමුත් දැන් වර්තමානයෙ කුලය වෙනුවෙන් කවුරුත් එළිපිට ගහගන්නෙ, මරාගන්නෙ නෑ. ඒක නිසයි අපිට මතුපිටින් පේන්නෙ කුලය කියන ඒක දැන් එච්චර වැදගත් සාධකයක් නෙවෙයි කියල. ඒ වුණාට - විශේෂයෙන් දේශපාලනයෙදි - ගේම යන්නෙ යටින්. අපේක්‍ෂක ලැයිස්තුව හදන තැන ඉඳලම ඒක එහෙම තමයි. කොටින්ම ඔය වාමාංශික කියන පක්ෂ පවා තමන්ගෙ අපේක්‍ෂක ලැයිස්තුව සකස් කරන්නෙ කුලය කියන සාධකය නියෝජනය වෙන විදියට.

මංගල සමරවීර මතු කළ කාරණාව වැදගත් වෙන්නෙ ඒකයි. 1989 නව මැතිවරණ ක්‍රමය යටතෙ අපේක්‍ෂකයන්ට සිද්ධ වෙනව ආසනයෙන් එළියට ගිහිල්ල දිස්ත්‍රික්කය පුරා ඡන්ද එකතු කරන්න. ලැයිස්තුවෙ උඩට එන්න නම් විරුද්ධ පක්ෂවල අපේක්‍ෂකයො එක්ක විතරක් නෙවෙයි තමන්ගෙ පක්ෂෙ අපේක්‍ෂකයො එක්කත් තරග කරන්න වෙනව. මනාප එකතු කරන්න වෙනව. ඒකට යහමින් සල්ලි වියදම් කරන්නත් වෙනව. සාමාන්‍ය වියදමක් දරන්න පුළුවන් වැදගත් මිනිස්සු යට ගිහින් කොහොම හරි සල්ලි වියදම් කරන්න පුළුවන් කෙළිකාරයන්ගෙ තෝතැන්නක් බවට දේශපාලනය පත්වෙන්නෙ එහෙමයි. ඒ කරලත් මදි වුණාම කුලය වගේ සංස්කෘතික කාරණා එළියට දානව. අනේ ඉතින් මිනිස්සුත් ඡන්දෙ දවසට පෝළිමේ ගිහින් 'අපේ එකාට' ඡන්දෙ, මනාපෙ ගහල එනව. දින්නට පස්සෙ 'අපේ එකා' හොයන්නත් නෑ. ඌ වෙන කාගෙහරි එකෙක් වෙලා. හැබැයි ඉතින් ආපහු අවුරුදු පහකින්, හයකින් මිනිහ කොහේහරි ඉඳල ආයෙ එනව. අපරාදෙ කියන්න බෑ මිනිස්සුත් ආයෙ ආයෙ කතිරෙ ගහනව. මොකෝ පිට එකෙක්යැ? 'අපේ එකා'නෙ ! ඔන්න ඔහොමයි වැඩේ යන්නෙ.

කුලවාදය, ජාතිවාදය, ආගම්වාදය ආදිය කියන්නෙ රටෙන් විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙන්ම තුරන් කරල දාන්න ඕනෙ දේවල්. නමුත් මේ ක්‍රමය ඇතුළෙ වෙන්නෙ ඒව තව තව ඔඩු දුවන එක විතරයි. ඒ විතරක් නෙවෙයි තව අලුත් අලුත් වාදත් ඒකෙන් මේකට එකතු වෙනව. පාසල්වාදය, විශ්වවිද්‍යාලවාදය, තනතුරුවාදය, පළාත්වාදය අන්න එහෙම මෑතක එකතු වුණ අලුත් වාද ටිකක්. ඒවත් ඉතින් කුලවාදයට දෙවැනි නෑ. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ වැදගත්ම දේ තමයි මේ ඔක්කොම මිනිස්සු විත්තිය. ඒක ගැන කිසිම වාදයක් නෑ. කොවිඩ් වගේ වසංගතයකට යටත් වුණාට පස්සෙත් ආයෙ අර වාද මේ වාද ගැන වාද කර කර ඉන්නවා නම් අපි මිනිස්සු වෙන්න බෑ. අන්න ඒ දේ හිතේ තියාගෙන වැඩ කළොත් වර්තමානය කෙසේ වෙතත් ලස්සන අනාගතයක් ගොඩ නගා ගන්න එක අපිට අමාරු වැඩක් වෙන එකක් නෑ.

 - සිහින විමුක්ති රණවීර