බංග්ලාදේශ කණ්ඩායමෙන් සාර්ථක ආරම්භයක් - නජ්මුල් මංගල ශතකය වාර්තා කරයි

බංග්ලාදේශ කණ්ඩායමෙන් සාර්ථක ආරම්භයක් - නජ්මුල් මංගල ශතකය වාර්තා කරයි

21 April 2021 05:53 pm

 
ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ නායක මොමිනුල් හක් තීරණය කළ අතර ඔහුගේ තීරණය සාර්ථක එකක් බවට පසක් වූයේ පළමු දිනය අවසානයේදී බංග්ලාදේශ පිතිකරුවන් කඩුලු 02 ක් පමණක් අහිමි කර ගනිමින් ලකුණු 302 ක් වාර්තා කර ගැනීමට සමත් වීම හේතුවෙනි.
 
වේගපන්දු යවන්නන්ට හිතකර තණකොල සහිත තනතීරුවක් සකස් කර තිබීම හේතුවෙන් මෙම තරගය සඳහා වේගපන්දු යවනන්න් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබිණි. දෙවැනි පන්දු වාරයේදීම බංග්ලාදේශ යොවුන් ආරම්භක පිතිකරු සයිෆ් හොසේන් ලකුණු ලබා ගැණීමට පෙරම දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූ නමුත් ඉන් අනතුරුව බංග්ලාදේශ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් ලකුණු රැස් කළේය.
 
දෙවැනි කඩුල්ල සඳහා ටමීම් ඉක්බාල් සහ නජ්මුල් හොසේන් සැන්ටෝ අතර ලකුණු 144 ක සබඳතාවයක් පැවති අතර නැවතත් ක්‍රියාත්මක වූ විශ්ව ප්‍රනාන්දු එම සබඳතාවය බිඳහෙළීමට සමත් විය. ඒ රිසි සේ පන්දුවට පහරදෙමින් සිය ශතකය කරා ගමන් කරමින් සිටි ටමීම් ඉක්බාල් ලකුණු 90 කට දවා ගනිමිනි. පන්දු 101 කට මුහුණ දෙමින් ටමීම් එම ලකුණු ප්‍රමාණය වාර්තා කළ අතර හතරේ පහර 15 ක් ඊට අන්තර්ගත විය.
 
ඉන්පසුව නජ්මුල් හෙ‍ාසේන් සමග පිටියේ එක් වූ නායක මොමිනුල් හක් දිනය අවසන් වනතෙක් පන්දුවට පහර දුන් අතර ඔවුන් දෙදෙනා අතර නොබිඳුණු ලකුණු 150 ක සබඳතාවයක් වාර්තා විය. නජ්මුල් හොසේන් සිය මංගල ශතකය වාර්තා කර ගනිමින් ලකුණු 126 ක් ලබාගෙන සිටින අතර මොමිනුල් හක් ලකුණු 64 ක් වාර්තා කරගෙන සිටී.
 
දිනයේ සාර්ථක වූ එකම පන්දු යවන්නා වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 61 ක් ලබා දෙමින් බිඳවැටුණු කඩුලු ‍02 ටම හිමිකම් කීවේය.
 
හෙට තරගයේ දෙවැනි දිනයයි.
 
UN