විත අස පත 18 - ඩීමන් ආනන්ද සහ පාවුලෝ කොයියෝ අතර සුළඟ වගේ ඇවිදින්

විත අස පත 18 - ඩීමන් ආනන්ද සහ පාවුලෝ කොයියෝ අතර සුළඟ වගේ ඇවිදින්

19 April 2021 07:44 am

දිනේෂ් කොළඹගේගෙ 'සුළඟ වගේ ඇවිදින්' නවකතාව කියෙව්වෙ ඒලෙවල් කරන කාලෙ වෙන්නෝනෙ. නැත්නම් ඕලෙවල් කරල ගෙදරට වෙලා ඉන්න කාලෙ. කොහොම හරි ඔය අවට කාලෙක තමයි. ජීව විද්‍යාත්මකවත් මනෝ විද්‍යාත්මකවත් වෙනස්කම් ගොඩක් සිදුවුණ සහ සිදුවෙමින් පැවතුණ වයස. පොත ඒ වයසට ගාණට සෙට් වුණා. 'පිස්සු බෝල බෝල බම්ප් වෙනවා, පරිප්පු නැවක්, අනාථ සාගරේ, චිකිබුම් - චිකිබුම්' වගේ වචන ඒ කාලෙ නැගලම ගියා. කතාවත් ඉතිං අපේ කතාවම තමයි. දුක කියාගෙන එන අංජලී හෙවත් ඇස්ප්‍රීන්, අක්කගෙ හොඳම යාළුවා අරුණි, අයනු දෙක මැද හිරවුණ මාලින්ද, මාලින්දගෙ හොඳම යාළුවා බිංදු, බිංදුගෙ කෙල්ල ඉසංකා, අමිල - කොටා ඇතුළු සෙට් එක, ගිහාන් - සමන් වගේ දුෂ්ටයො. තව නහුතයක් දේවල්. ඇත්තටම කියවගෙන යද්දි පිස්සු බෝල බෝල බම්ප් වුණා.

පස්සෙ කාලෙක අපි මහරගම ස්ථිර පදිංචිකාරයො වෙනව. විජේරාමෙ රෝයල් තැබ්‍රෝබේනියන් එකට ගිය වෙලාවක 'සුළඟ වගේ ඇවිදින්' අලුත් මුද්‍රණයක් ඇහැ ගැටෙනව. දෙපාරක් නොහිත පොත මිලට ගන්නව. ගෙදර අරගෙන ඇවිත් ආපහු කියවනව. මෙන්න එතකොට එතැන අලුත් ලෝකයක්. දන්න අඳුනන වට පිටාවක්. මාලින්දයි බිංදුයි මහරගම යූත් එක ඉස්සරහ ඉද්දි අරුණි අහම්බෙන් එතැනට එනව, 138 බස් එකේ ඉස්කෝලෙ යනව, පබ්ලික් ලයිබ්‍රියෙ දරුණු කොලු ගැටුම් ඇතිවෙනව, විජේරාමෙ හන්දියෙ කොල්ලො වල බහිනව. පස්සෙ අඳුරගන්න ලැබුණ දන්න කියන පරිසරය එක්ක වෙන රහක්. කතාව තව තව අපේ වෙනව.

අපි දන්න සමහර අය ඉන්නව, ඒගොල්ලො 'ගුරු ගීතය, වානේ පන්නරය ලැබූ හැටි, විරාගය, සන්තියාගෝ නම් සැරිසරන්නා' වගේ පොත් අතින් අරගෙන ඉපදිලා තියෙන්නෙ. අපි එහෙම නෑ. මුලින්ම කියෙව්වෙ ඔය පොඩි පොඩි ළමා කතා, යොවුන් කතා එහෙම. පස්සෙ ඩීමන් ආනන්දලාගෙ මාරක කතා. ඊට පස්සෙ කුලසේන ෆොන්සේකා ලියපු 'තුන් යහලු වික්‍රමය, කල්ලන්දූවේ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ, රන්සිරිගේ සංග්‍රාමය' වගේ පොත්. ඊටත් පස්සෙ ෂර්ලොක් හෝම්ස් කතා. එහෙම කියවල තමයි මාර්ටින් වික්‍රමසිංහ ළඟට ගියෙ. එතැනින් පස්සෙ තමයි රුසියන් සාහිත්‍යයෙ ඉඳන් පාවුලෝ කොයියෝ දක්වා කියවන්න පෙළඹුණෙ. ඔය අස්සෙ අතට අහුවෙන තව ගොඩක් දේවල් කියෙව්ව. ඒ නිසා 'සුළඟ වගේ ඇවිදින්' මඟ ඇරුණෙ නෑ. අදටත් හිතුණම පොත අතට අරගෙන තැනින් තැන කියවනව.

'කූඹියෝ' ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ ලක්මාල් ධර්මරත්න කොහෙ හරි තැනක කියල තිබුණ මේ කතාවෙන් කවුරු හරි ෆිල්ම් එකක් කළොත් ඒක හරි ලස්සන නිර්මාණයක් වෙයි කියල. සහතිකයක් ලියල දෙන්න පුළුවන් ඇත්ත කතාවක් ඒක. දිනේෂ් මේ කතාව ලියන්නෙ 1994/95 දි විතර. හැබැයි අදටත් ගැලපෙන විදියට කතාව කරකවල අරන් රහ වැඩක් කරන්න කෙනෙකුට තාම අවස්ථාව තියෙනව. සාමාන්‍යයෙන් නිර්මාණයක් විශිෂ්ට වෙන්නෙ ඒකෙ තියෙන සර්වකාලීන අගයත් එක්කනෙ. 'සුළඟ වගේ ඇවිදින්' ඇතුළෙත් එහෙම සර්වකාලීන දේවල් ගොඩක් තියෙනව. බොරු කියල හිතෙනව නම් පොඩි උදාහරණයක් විදියට මෙන්න මේ කොටස කියවල බලන්න !

"...මගේ දෙයියා, ඩෙනිම් කලිසම් හොයාගත්ත එකා නම් දිව්‍ය ලෝකෙ යවන්න ඕනෙ. මම අක්කට හොරෙන් කලිසම නහයට ලං කළා. වැඩිය ගඳක් නෑ වගේ. තාම දවස් දෙකයිනේ ඇන්දෙ. බිංදුවා කරදරයක් නැතුව සුමානයක් දෙකක් අඳින්නෙ..."

- කසුන් සමරතුංග