පෝර්ට් සිටි ව්‍යාපෘතිය බුදුදහමට අනුකූලද ?

පෝර්ට් සිටි ව්‍යාපෘතිය බුදුදහමට අනුකූලද ?

18 April 2021 07:45 pm

අලුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න යන්නෙ. ඒ කියන්නෙ සුපිරියටම ගුටි කන එකක් ලියන්නයි යන්නෙ. (දිග වැඩියි ඈ) වැඩේ නැගල ගියොත් ෂුවර් එක රැයින් දේශද්‍රෝහියෙක් වුණත් වෙන්න පුලුව​න්.  අද කතාව 'Port City' ගැන. මං මේ ලඟදි කෝච්චියෙ එ​න ගමන් දෙන්නෙක් ලොකු කතාවක මේ Port City එක ගැන. කතාවෙන් තේරුණ විදියට දෙන්නම රජයේ ආයතයක තමයි සේවය කරන්නේ.

'අපේ ඇමතිතුමා කිව්වා Port City එක හැදුවම අපේ මුලු ඔෆිස් එකම ඒකට අරං යනව කියල. එතන වැඩ කරන්න එහෙම පහසු​යිලු.' 

එතකොට අනිත් කෙනා කියනවා 'ඔව් අනේ ! මේක ඉක්මනට ඉවර කරල ආණ්ඩුවෙ ඉසු​රුපායෙ තියෙන ඔක්කොම ඔෆ්ස් ටික ඕකට ගත්තනං වැඩ ඔක්කොම එකම තැනකින් කරගන්න පුලුවන්. දැන් අපේ ඔෆිස්වල හැරෙන්නවත් ඉඩ නැහැ. ඕකෙ එක කොටසක් රජයට වැඩ කරගන්න දුන්නනම් ලේසියි නේද අනේ !' කියල. 

ඒක අහලා මට පොඩ්ඩක් හීන් දාඩිය දැම්මා. ලංකාවෙ ගොඩක් අය Port City එක  ගැන හිතන් ඉන්නෙ ඔෆිස් හදන්න සහ කාර්යාල සහ සාප්පු සංකීර්​ණ පහසුකම් සපයන්න බිල්ඩිං හදන්න හදපු ඉඩමක් කියල. ඒත් ඇත්ත ඊට වඩා ගොඩක් වෙනස්.

Building සහ ඔෆිස් හදන්න ඉඩම් ඕන නං ලංකාවෙ ඕන තරං ඉඩම් තියනවා. මු​හුද ගොඩ කරල ඩොලර් බිලියන ගානක් වියදම් කර​ල අලුතෙන් Port City එක හදන්න ඕන නෑ​නෙ. ඉඩම් ව්‍යාපෘතිවලට කියන්නෙ Real Estate Projects කියල. මේක අර 'කොළඹ​ට ලගපාත - පිළියන්දල මඩපාත' වගේ ඉඩම් විකුණන ව්‍යාපෘතියක් නෙවෙයි. 

මේක මූල්‍ය නගර ව්‍යාපෘතියක්. මූල්‍ය නගරයක් (Financial City project) සහ Real Estate Project කියන්නෙ අහසට පොළොව වගේ සංකල්ප දෙකක්. ලංකාවෙ බොහෝ අය හිතන් ඉන්නෙ Port City කියන්නෙ Real Estate Project එකක් කියලා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීල වුණත් ගොඩක් හිතන් ඉන්නෙ මේක​ට ආයෝජන එන්නෙ 'මේක මු​හුද ගොඩ කරල හදපු ඉඩමක් නිසා ආයොජකයො මු​හුද බලාගෙන වැඩ කරන්න කැමති නිසා Port City එකෙන් ඉඩම් සල්ලි දීල අරගනියි' කියල තමයි.

නෑ. මේක එහෙම එකක් නෙවෙයි. ආයොජකයන් මුහුද බලං සාප්පු සංකීර්ණ දාන්න ඉඩම් මිලදී ගන්න Project එකක් නෙවෙයි මේක. 

මේකට ආයෝජකොයො එන්නෙ මේකෙ තියෙන්නෙ වෙනම නීති පද්ධතියක් නිසා. සරළව කිව්වොත් මේක වෙනම නීති තියෙන වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් නිසා. අන්න ඔය කියන වෙනම නීති පද්ධතිය තමයි සරළව කියනවනං පාර්ලිමේන්තුවට Port City ​කොමිෂන් සභා පනත (Port City Commission Bill) කියල ඉදිරිපත් කරල දැන්  ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ. 

දැන් එන ප්‍රශ්නය තමයි ඇයි දැන් ලංකාවෙ තියන නීති පද්ධතියට ආයෝජකයො එන්නෙ නැද්ද කියල. සරළම උත්තරය 'කොහෙත්ම නෑ' කියන එකයි. ලංකාවෙ නීති තියෙන්නෙ බිස්නස් හදන්න නෙවෙයි බිස්නස් වහල ගෙදර ඉන්න. අන්න ඒක නිසා ලංකාවට හොඳ ආයොජකයන් එන්නෙ නෑ. ඒකයි Port City වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් විදියට ඉස්සරහට ගන්න ඕන. (ඇත්තටම නම් වෙන්න ඕනේ මුළු ලංකාවේම තියෙන ව්‍යාපාර පහසු කරන නීතිය වැඩි වැඩියෙන් ඉදිරිප​ත් කරන එක. ​ඒක Port City එකට පමණක් සීමා කරන්න හොඳ නෑ. ලංකාවේ එහෙම නීති වෙනස් කරන්න අමාරු නිසා තමයි තෝරගත්තු කෑල්ලක විතරක් ඕක කරන්න හදන්නේ) ඊට පස්සෙ එන ප්‍රශ්නය තමයි මොනවද ඕකෙ තියෙන වෙනම නීති කියල.

ඒකටත් සරළම උත්තරය 'සෑහෙන ප්‍රමාණයක්' කියන එක. මුලින්ම ගත්තොත් ලංකාවෙ උසාවි ක්‍රමය. ලංකාවෙ උසාවි ක්‍රමයට හසු වෙනවනං ආයොජකයන් එන්නෙ නෑ මෙහේ ව්‍යාපාර කරන්න. ලඟදි අධිකරණ ඇමතිතුමාම කියල තිබ්බා ලංකාවෙ නඩුවක් විසඳන්න (Contract enforcement) දින 1318 ක් යනව කියල. අපරාධ නඩුවක් විසඳන්න  අවුරුදු 9.5 ක් යනව කියල. මම නෙමෙයි, අධිකරණ ඇමතිතුමා  කියන්නෙ. ඔය ඉලක්කම් ටික දැක්කම ආයෝජක එනව නෙමෙයි දුවනවා. ලංකාව උඩින් ගුවන් යානයක්වත් අරං යන්නෙ නෑ. සරලව කියනවා නම් කා​ටහරි මිනී මැරීමක් වුනොත් අගතිය​ට පත් පාර්ශ්වයට විසඳුමක් ලබාගන්න පුළුවන් වෙන්නෙ මියගිය කෙනාගෙ දස වර්ෂ පූර්ණ පිංකමට තමයි. ඒත් වාසනාවක් තිබුණාත් තමයි ඉතිං. ඉඩම් නඩුවක් විසඳන්න නම් නම් මං හිතන්නේ අවුරුදු විස්සක්වත් යනවා. ඒක නිසා මේ Port City එක සාර්ථක වෙන්නනං ඕකට වෙනම අධිකරණ පද්ධතියක් ඕන. ඒකට ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවන් සහ අධිකරණ ක්‍රමයක් ඕන. දැනට ලෝකයේම ව්‍යාපාර පහසුවෙන් කරන්න පුලුවන් දර්ශකයේ (Ease of doing Business Index) අපි ඉන්නෙ 99 වැනි තැන. ඉතිං කවුද එන්නෙ බිස්නස් කරන්න. (ඒකෙ මනින්නෙ කොළඹ නගරයේ ව්‍යාපර කරන්න පුලුවන් පහසුව විතරයි.) එම දර්ශකයේ හැටියට ඉදිකිරීම​ක් කරන්න පර්මිට් (Constructiion Permit) එකක් ගන්න දවස් 86 ක් යනව. (මාස තුනක් විතර) විදුලිය ගන්න (Getting electricity) දවස් 100 ක් යනවා. ඉතිං මො​න ව්‍යාපාරද ? 

ඊට පස්සෙ දැනට ලංකාවෙ නොවන පුරවැසියන්ට ලංකාවෙ රැකියාවක් කරන්න බෑ. ආයොජකයො එන්නෙ නෑ ලංකාවෙ මිනිස්සු එක්ක විතරක් වැඩ කරන්න. මූල්‍ය නගරයක් කියන සංකල්පයේම තියෙන්නෙ ලෝකෙ පුරා ඉන්න රට රටවල්වල මිනිස්සු ඇවිල්ල මේ නගරයේ වැඩ කරනවා කියන එකයි. ඉතිං ඒ වෙන වෙන රටවල්වල මිනිස්සුන්ට මෙහේ රැකියා කරන්න නීති තියෙන්නෙ ඕන. වෙන වෙන රටවල්වල මිනිස්සු ලංකාවෙ රුපියල්වලින් පඩි ගන්නෙ නෑ. [අපේ මේ රුපියල අවප්‍රාමාණය වෙන විදියට ලංකාවෙ මිනිස්සුවත් රුපියල්වලින් පඩි ගන්න කැමති නෑ] 

ඔවුන්ට ගෙවන්න ඕන ඩොලර්වලින්. ඒකට නීති ඕන. ඔය මුල්‍ය නගරයේ වැඩ කරන්න එන්නෙ හොදට සල්ලි හම්බකරන මිනිස්සු. සරලව කියනව නං දවසපුරා වැඩ කරල හොඳට සල්ලි හම්බ කරල සුපිරි ජීවිත ගතකරන ලංකාවෙ සහ පිටරට මිනිස්සු. ඒ අයට සුපිරි නිවාස ඕන. ඉතින් ලංකාවෙ අපේ ගෙයක් හදන්න ගියාම TO (Technical officer) මහත්තයට පගාවක් දීල plan එක approve කරගන්නව වගේ ලයිට් ගන්න, වතුර ගන්න ටෙලිෆෝන් ගන්න මාස ගනං කල් ගන්නවා වගේ සහ හැම එකකටම පගා ගෙවන්න ඕන වගේ වෙලාව නාස්ති කරන වැඩවලට ආයොජකය​න් එන්නෙ නෑ. ඉතිං ගොඩනැගිලි හදන්න වෙනම නීති ඕන.

ඊට පස්සෙ ඔය මූල්‍ය නගරයේ වැඩ කරන්න එන වෘත්තිකයන්ගෙ පවුල්වල අයට විනෝද වෙන්න ස්ථාන ඕන. ලංකාවෙ කැසිනෝ (Casino) කියන්නෙ පවක් වුනාට ඒ මිනිස්සු විස්වාස කරන විදියට ඒක පවක් නෙවෙයි. ඉතිං ඒ මිනිස්සුන්​ට කැසිනෝ, චිත්‍රපටි ශාලා, නලඟනන් වගේ විවිධ විනෝදත්මක දේවල් අවශ්‍යයි. එහෙම නැත්තං ඔය අයෝජකයන් සේවයට මිනිස්සු බඳව ගනිද්දි කවුරුත් මෙහේ එන්න කැමති වෙන්නෙ නෑ. වෙන රටවල්වලට සැපට ඉන්න පුලුවන්කම තියෙද්දි මෙහේ ඇවිත් පරිප්පු කන්න කවුද කැමති වෙන්නෙ. ඊට පස්සෙ ඔය වැඩ කරන්න එන මිනිස්සුන්ගෙ ළමයින්ට ඉගෙන ගන්න ඒ රටවල්වල ප්‍රමිතියේ ජාත්‍යන්තර පාසල් ඕන. ඒවට ඒ ප්‍රමිතියේ ගුරුවරු, විද්‍යාගාර, ක්‍රීඩා අවශ්‍යයි. ඒවට ලංකාවෙන් වගේම වෙන රටවල්වලින් මිනිස්සු එන්න ඕන. ඒ අය තමන්ගෙ ලමයින්ව කොළඹ රාජකීය විද්‍යාලයට දාන්නෙ නෑ. දැනටමත් සමහර අන්තාර්ජාතික පාසල් තියනවා ඔය තානපතිවරුන්ගෙ සහ විදේශික රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙ දරුවන් ඉගෙන ගන්න. මාත් එකපාරක් ගිහිල්ල ඇත්තටම පු​දුම වුණා මෙච්චර හොඳ ඉස්කෝල ලංකාවෙ තියෙනවද කියල. ඉස්කෝලෙ ඇතුලෙ වෙන රටක් වගේ. විවිධ රටවල්වල ලමයි එකට ඉගෙන ගන්නෙ.

ඊට පස්සෙ ඔය එන සේවකයන්ට හදිස්සියෙ ලෙඩක් ​දුකක් හැදුනොත් කොළ​ඹ ජාතික රෝහලේ පෝලිමෙ ඉන්න බෑ. ඒවගේම ලංකාවෙ පෞද්ගලික රෝහල් හරියන්නෙත් නෑ. Mount Elizabeth හරි John Hopkins මට්ටමේ රෝහලක් වෙන්න එ​පැයි. අපේ මැති ඇමතිලත් පොඩ්ඩක් කලන්තයක් හැදුන​ත් සිංගප්පූරුවෙ Mount Elizabeth  යන එකේ මහන්සි වෙලා සල්ලි හම්බ කරන මිනිස්සුන්ට යන්න හොඳ ඉස්පිරිතාලයක් තියෙන්නෙ එපැයි. ඒවයේ වැඩ කරන්න එන දොස්තර මහත්වරුන්ට ඉන්න හිටින්න, ඔවුන්ට විනෝද වෙන්න, ඔවුන්ගෙ පවුල්වල අයට විනෝද වෙන්නෙ වගේ ගොඩක් දේවල් ඔය නගරය ඇතුලෙ තියෙන්නෙ ඕන. හරියට ඩුබායි සහ සිංගප්පූරු වගේ. 

ඊට පස්සෙ ලංකාවෙ අධිකරණ ක්‍රමය හරියන්නෙ නෑ. ඒවට වෙනම  අධිකරණයක් තිබ්බම ඒවට නඩු කතා කරන්න වෙනම අන්තර්ජාතික මට්ටමේ නීතිවේදීන් ඕන. මේක නිකං සුරංගනා කතාවක් වගේ වුණාට ඇත්තටම ඔය Port City වැඩේ හරියට කරොත් වෙන්නෙ ඒ වගේ වැඩක්. ඕවයෙ සේවය කරන restaurantවල Chefලගෙ ඉඳල පිටරටින් ගෙන්න ගන්න වෙනවමයි. ඕකෙ දාන Japaneese Resturant එකක් උදාහරණයකට ගන්න. Japaneese කෑම හොඳට උයන්න පුලුවන් ඒ රටවල් වල මිනිස්සුන්ට නෙ. 
නිවාඩු දින වුණත් වෙනස් කරන්න වෙයි. ලංකාවෙ නිවාඩු තියන විදියට ලෝකෙ එක්ක වැඩ කරන්න බැහැනෙ. එතකොට ඔය පෝය දිනයට බාර් වහනව වගේ ඒව ඒකට අදාල නැති වෙයි. 

දැන් ඊලඟට එන ප්‍රශ්නෙ මේකෙන් ලංකාවට, ලංකාවෙ මිනිස්සුන්ට හොඳක් නැද්ද කියන එකයි. තියෙනවා. සමහර රැකියාවලට පිටරටවල්වලින් සේවකයන් ගේන එක වියදම වැඩියි. එතකොට ලංකාවෙ අදාල රැකියා කරන්න පුලුවන් අයට රැකියා  අවස්ථා ඇති වෙනවා. ඔය Port City එකේ වැඩ කරන්න එන පිටරට මිනිස්සු මෙහේ තව ව්‍යාපර පටන් ගන්නවා. සංචාරය කරනව. අලුත් දැනුම හුවමාරු වෙනවා. ගුවන් ග​මන් අතින් අපිට වාසියි. බැංකු අතින් අපිට වාසියි.  Port City එකේ වැඩ කරන්න එන සමහර අයට ඒකෙ ඇතුලෙ apartmentවල ඉන්න බැරිවෙයි. එතකොට පුලුවන් අය කොළඹ අවට තියන apartmentවලට එයි. අනිත් අය එතැනින් පොඩ්ඩක් ඈත පදිංචියට යයි. ඉඩම්වල මිල වැඩි වෙයි. ඔය වගේ විශාල පරිවර්තනයක් කරන්න පුලුවන් මේක හරියට කර ගත්තොත්. ඔය Yacht Marine එක එහෙම හදල තියෙන්නෙ මං හිතන්නෙ Port City එක ඇතුළෙම ඉන්න සුපිරි ධනවතුන්ට ස​හ ඔවුන්ගේ පාවිච්චියට. ධනවත් මිනිස්සුන්ගෙ ජීවන රටාවන් එහෙම තමයි. ඔවුන්ට ඔවුන්ගෙම පුද්ගලික ගුවන් යාන තියෙනවා. Yacht  තියෙනවා. ලෝකෙ සොභාවය.

හැබයි ආයෙත් මතක තියා ගන්න ඕන මේකට ආයෝජකයන් ගෙන්න ගන්න පුලුවන් මු​හුද ගොඩකරපු නිසා නෙවෙයි. මේකෙ නීති පද්ධතිය වෙනස් වුනොත් විතරයි. දැනට ලංකාවෙ තියෙනෙ  අධිකරණ පද්ධතියත් එක්ක, ව්‍යාපාර ලියාපදිංචි කරන ක්‍රියාවලියත් එක්ක, නිවාඩු ක්‍රමයත් එක්ක, කම්කරු නීති එක්ක හරිහමං ආයෝජකයන් ​මෙහෙට ගෙන්න ගන්න අමාරුයි. පසුගිය අවුරුදු 20 දි ලංකාවට කොච්චර ආයෝජන ඇවිල්ල තියනවද කියල බැලුවොත් ඒක බලාගන්න පුලුවන්. අපිට අවුරුද්දකට රජයට  විතරක් ණය සහ පොලිය ගෙවන්න තියෙනවා ඇමරිකන් ඩොලර් බිලියන හතරකට වැඩිය. ඒත් අපේ විදේශ ආයෝජන තියෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියනයකට අඩුවෙන්. 

අනිත් එක මේ අයෝජකයන්ට ලෝකෙ පුරා ඕනතර​ම්  අවස්ථා තියනවා. ඔබ නිකමට හිතන්න ඔබේ අතේ ඇමරිකානු ඩොලර් බිලියනයක් තියනව නං ඔබ ඒක ලංකාවෙ ආයෝජනය කරනවද, සිංගප්පුරු​වෙ ආයෝජනය කරනවද, ඩුබායිවල ආයෝජනය කරනවද කියල. අන්න ඒ වගේම තමයි අනිත් ආයෝජකයනුත්. ඔවුන්ට ඉතා පහසු  අවස්ථා ලෝකෙ වටේම තියනවා.

ඉදිරි අවුරුදු කීපය ලංකාවට ඉතාම අමාරු අවුරුදු කිහිපයක්. අපේ අතේ ඉස්සරහට යන්න පුලුවන් ව්‍යාපෘති තුනයි තියෙන්නෙ. අපිට රටක් විදියට ඉස්සරහට යන්න විශාල අදහස් තුනක් විතරක් තියාගෙන හැරෙන්නවත් ​බෑ.

Google සමාගමේ Concept එකක්  තියෙනවා 10X කියලා. ඒ කියන්නේ  ඕනම දෙයක්  විශාල පරිවර්තනයක් කරන්න ඕන නං  10% ගානෙ වැඩි දියුණු කරල හරියන්නෑ. 10 ගුණය ගානෙ වැඩි කරන්න ඕන කියල. අන්න ඒ වගේ 10X ideas තුනයි අපිට  තියෙන්නෙ

1. එක ව්‍යාපෘතියක් තම​යි ලංකාවෙ ඉඩම් ප්‍රතිසංස්කරණය සහ ජනතාවට ඉඩම් අයිතිය පැවරීම. ඒක කරන්න දෙන පාටක් නෑ. 
2. දෙවනි එක තමයි අපේ  අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම. ඒක කරගෙන යන බව අධිකරණ ඇමතිතුමා කියල තිබ්බ. ඒත් ඒ ගැන විශ්වාසය අඩු ඕක අපේ නීතිවේදීන් ටිකම කඩා කප්පල් කරයි කියල හිතෙනව. මොක​ද ඒකෙන් ඔවුන්ගෙ ආදායමට විශාල බලපෑමක් එල්ල වෙන නිසා. දැනට නඩු කල් යන එක නීතිඥයන්ට වාසි බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. 
3. තුන් වැනි සහ අවසාන එක තමයි Port City ව්‍යාපෘතිය. අලුත් අවුරුද්දේ අපේ එකම සහ අවසාන බලාපොරොත්තුව. දැනට කියවෙන විදියට ඇමරිකා​නු ඩොලර් බිලියන 5 ක් විතර ඉඩම් ටික විකුණල හොයාගන්න පුලුවන් කියල තමයි කියන්නෙ. ඒත් ඉතින් හරි හමං නීති තිබුනොත් තමයි හොද ආයොජකයන් එන්නෙ.
 
ඊලඟට ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ව්‍යාපෘතිය පටන් ගනිද්දිම ප්‍රශ්න තිබ්බ නේද ? පරිසර අධ්‍යයන වාර්තා තිබ්බෙ නෑ. මේකට චීනය මැදිහත් නේද ? සමාරම්භක උත්සවයෙදි චීන කොඩි දාල ලංකාවෙ කොඩිය ගැලෙව්ව නේද කියල. ප්‍රශ්න තියනවා. නැත්තෙ නෑ. ඉංග්‍රීසි භාෂාවෙ තියනව කියමනක් 'Beggars can't be choosers' කියල. දැන් අපි මේකට සල්ලි වියදම් කරල ඉස්සරහට ගිහිල්ල ඉවරයිනෙ. මේක ගොඩ දාගන්න ක්‍රමයක් හිතනව මිසක් දැන් ඉතින් අපිට ගොඩ කරපු ඉඩමේ ක්‍රිකට් ගහන්න බැහැනෙ.  ඒක නිසා ප්‍රශ්න තියනවා.  ඒත් ඉස්සරහට යන්න ඕන.

ඊලඟට අහන මූලිකම ප්‍රශ්නය තමයි මේකෙන් දීල තියන බදු සහන නිසා කලු සල්ලි සුදු කරන තිප්පොලක් වේවිද කියන එක. මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. පොඩි පොඩි කරුණුවලට යන්න කලින් මූලික සංකල්පය තමයි, රටක බදු ප්‍රමාණය සහ බදු ප්‍රතිශත අඩු වෙලා අය කරන බදු ප්‍රතිශත අතර වෙනස අඩු වෙන්න ඕන. සරළවම කියනවනං බදු ක්‍රමය සරළ වෙන්න ඕන.

දැනට ලංකාවෙ තියෙන බදු ක්‍රමය ආදායම් බදු ​දෙපාර්තුමේන්තුවටත් හොයාගන්න අමාරුයි. මගේ මිත්‍ර ව්‍යාපරිකයන්ගෙ Payroll එකේ ඔය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ  නිලධාරීන් ඕන තරං මාසෙ ගානෙ පඩි අරගෙන ඉන්නවා. බදු ක්‍රමය සංකීර්ණ නිසා ව්‍යාපාර කරන මනුස්සයට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ බයිල අහනවට වඩා ලෙසියි ඒකෙ මනුස්සයෙක්ට මාසෙකට ගාණක් දීල වැඩේ කර ගන්න එක. ඒක නිවැරදි නෑ. ඒත් සංකීර්ණ බදු ක්‍රමයක් තිබ්බ​ම වෙන්නෙ ඒකයි. (දැන් මගේ ව්‍යාපරික යාලුවො 'ඔව් ඒකනං ඇත්ත අපිත් එහෙම තමයි' කියල මේකෙ කොටන්න එපා. ඊට පස්සෙ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ තව අය එයි ඕගොලොන්ගෙ Payroll එකට රිංගන්න. විහුලුවක් ඈ. මට ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එක්ක කිසි අවුලක් නෑ. කිව්වෙ මහ පොළොවෙ යථාර්ථය)

ආනයන බදුත් එහෙමයි. දැන් ලංකාවෙ තියෙන ආදායම් බදු සමීකරණය දැකොත් ඇල්බට් අයින්ස්ටයිනුත් කොර වෙනවා. ම​ම එක පාරක් හිටපු සැසිය​ක හාවඩ් (Harvard) විශ්වවිද්‍යාලෙ මහාචාර්යවරෙක් කිව්ව ලෝකෙ වටේ ගියත් එයත් අපේ බ​දුවල තියන සමහර ඉංග්‍රී​සි වචන පලවෙනි වතාවට ඇහුවෙ කියල. Port and Airpot Levy (PAL), VAT, CESS, SCL, Para Tarrif කියල ඕව එක උඩ එක බදු වැදිල හරියට නිකං සරල ගුණ කිරීමක් කරන්න බැරුව කල්පනා කරන මනුස්සයයෙක්ට අනුකලනයෙන් පිහියෙන් අනිනවා වගේ වැඩක් තමයි දැන් තියෙන්නෙ. 

ආනයන අපනයන කරන්​නෙ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගණිතයෙන් ආචාර්ය උපාධියක් නැහැ. ඉතිං සාමාන්‍යයෙන් ආනයනය කරන මනුස්සයක්ට රේගුවට පගාවක් දීල බදුවලින් පැනල එන එක ලේසියි ඕක තේරුම් ගන්න උත්සහ කරනවට වඩා. අන්න එක්කයි ලංකාවට බදු ආදායම අඩු වෙන්නෙ. ඕක 5%, 10%, 15% කියල කොටස් තුනකට සරලව තිබ්බනං ආනයනය කරන මනුස්සයට ඔය බද්ද ගෙවල නීත්‍යානුකූල විදියට බඩු ගේන එක ලේසියි පගා දෙනවට වඩා. ඉතිං Port city බදු තර්කයත් ඒ වගේමයි. තෝරගත්තු අයට බදු සහන දෙනවට වඩා ගැලපෙන්නෙ මුලු ලංකවටම සරළ බදු ක්‍රමයක් හදුන්වල දීම. එතකොට බදු ආදායම වැඩිවෙයි නිකංම.

අනිත් එක තමයි හොඳ ව්‍යාපර සහ ආයෝජකයන් බදුවලින් පැනල යන්න බලාගෙන අපේ වගේ රටවල්වල ආයෝජනය කරන්න එන්නෙ නෑ. පිටරට ඉන්න අය දන්නවා ඇමරිකාවෙ, ඩෙන්මාර්කයේ, ඔස්ට්‍රේලියාවෙ වගේ රටවල්වල අපිට වඩා බදු සෑහෙන වැඩියි. ඒත් ආයෝජකයන් ඒ රටව​ල්වලට පොර කකා යන්නෙ. ආයෝජකයන් විතරක් නෙවෙයි, ලංකාවෙ කොල්ලො කෙල්ලො බෝටුවෙනුත් යනවා, කියන තරං බදු ගෙවන්නං PR එ​ක දෙන්න කියල. වැදගත් වෙන්නෙ බදු සහනවලට වඩා ආර්ථික සහ දේශපානික සහ ප්‍රතිපත්තිවල  ස්ථාවර බව වගේම ලාභ උපයන්න පුලුවන් හැකියාව. ඒක නිසා මේක අපි ලෝකෙට විකුණන්න ඕන බදු අය කරන්නෙ නැති මධ්‍යස්ථානයක් විදියට වඩා පහසුවෙන් ව්‍යාපාර කරන්න පුළුවන් නගරයක් විදියට. අපි ඕගොල්ලොන්ට ඉඩම් දෙනව, බදු ගෙවන්න එපා වගේ කතා හොඳ ආයොජකයන්ට වැඩක් නෑ. ඔවුන්ට තියන ලොකුම ප්‍රශ්නය බදු ගෙවන එක නෙවෙයි. ලාභ උපයන එක. ලාභයක් ඉපැයුවාම නෙ බද්දක් ගෙවන්නෙ. ඒකත් අපි හිතේ තියා ගන්න ඕන.

අනික ඔය බදු මුදල් ගොඩක් එකතු කරා කියල අපේ රජය වැඩක් ඇති දේවල් කරන්නෙ නෑනෙ ඔය බදු මුදල්වලින්. කරන්නෙ ඔය කුට්ටියක් හම්බවෙන ව්‍යාපෘති විතරයි. වැඩි හරියක් ව්‍යාපෘති අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. 

ඊලඟට මේකෙ බලන්න ඕන භූ දේශපාලනය. (Geo politics) මගේ ටිකිරි මොළේ හැටියට අපි චීනය මත විතරක් යැපුනොත් අපිට යන එනමං නැති වෙනවා. සාමාන්‍යයෙන් ආයෝජනවල මූලිකම නීතිය තමයි 'Don’t put all your eggs in one basket' කියන්නෙ. අපේ මුලු ලෝකයම අපිට චීනය වුණාට චීනයට ඔවුන්ගේ ලෝකය​ම අපි නෙවෙයි. ඒ නිසා මේ Port City එකට ඉන්දියාවෙන්, ඇමරිකාවෙන් සහ මැද පෙරදිගින් ආයෝජන ගෙනාවොත් විතරයි මේක ස්ථාවර වෙන්නෙ. චීනය ආයොජනය කළ පමණිනින් මේක සාර්ථක ව්‍යාපෘතියක් වෙන්නෙ නෑ. චීනයේ අවශ්‍යතාවය මට පේන හැටියට ඔවුන්ගේ මුහුදු සැපයුම් මාර්ගය තහවුරු කර ගැනීම පමනයි. ඒ සඳහා හම්බන්තොට වරාය, කොළඹ වරායේ CICT පර්යන්තය සහ දැන් Port City ව්‍යාපෘතිය ඔවුන් තහවුරු කරගෙන අවසානයි. වෙන රටවල් ආයෝජනයට ආවෙ නැත්තං ප්‍රශ්නය වෙන්නෙ අපිට මිසක් ඔවුන්ට නොවෙයි. 

අවසානයට  හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි මේක ලංකාවෙ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීත්වයට බලපානෙ කොහොමද කියල. වෙනම උසාවි, වෙනම ඉස්කෝල, වෙනම රෝහල්, වෙනම නීති වුණාම වෙනම රටක් වෙනව නේද කියල. ඒ ප්‍රශ්නයට නං මිත්‍රවරුනි මං උත්තර දෙන්න යන්නෙ නෑ. ඒ ප්‍රශ්නයට මුලින්ම උත්තර දෙන්න ඕන 13 කියපු ගමං  ස්වෛරීත්වය ගැන කතා කරපු අය තමයි. භෞමික අඛණ්ඩතාවය ගැන මං විශාරදයෙක් නෙවෙයි.

Port City ව්‍යාපෘතිය හර​හා ඇත්තටම වෙන්නෙ ලංකාවෙ ඒකාධිකාරය​ක් තියන් ඉන්න සමහර වෘත්තිකයන් අන්තර්ජාතිකව වශයෙන් තරගකාරීත්වයට මුහුණ දෙනවා. ඒ තරගකාරීත්වයට අකමැති පිරිස් බොහෝ වෙලාවට මේකට විරුද්ධ වෙනවා. නීතිඥයන්, වෛද්‍යවරුන් වගේම බොහෝ වෘත්තීන් අන්තර්ජාතික තරගකාරීත්වයට මුහුණදීම නිසා අභියෝගයට ලක්වෙනවා. ලංකාවට ඉස්සරහට යන්න අවශ්‍ය නම් අපි හැමෝටම ඒ අභියෝගයට මුහුණ දෙන්න වෙනවාමයි. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට අකැමැති බොහෝ දෙනෙක් කියපු දෙයක් තමා සිංගප්පූරුවෙන් මිනිස්සු මෙහෙ වැඩ කරන්න ආවොත් අපිට කරන්න රස්සා කොහෙද කියල. එකේ වක්‍රාකාර අර්ථය තමයි කොම්පැනියක අපේ රටේ කෙනෙකුයි සිංගප්පූරුවේ කෙනෙකුයි සම්මුඛ පරීක්ෂණයට භාජනය කළොත් සිංගප්පූරුවේ කෙනාව රස්සාවට ගන්නව. මොකද අපිට තරග කරන්න අමාරු නිසා. 

මේකෙ අර්ථය ලංකාවෙ අපිට බෑ කියන එක නෙවෙයි. ලංකාවෙ අපිට පුළුවන්. නමුත් අපිට පුළුවන් වෙන්නේ අපි තරගයට මුහුණ දුන්නොත් විතරයි. ජයග්‍රහණයට සහ පරාජයට දෙකටම මුණ දෙන්න වෙනවා. ලෝක කුසලානයක් දිනන්නනං, පුළුවන් තරම් තරග කරන්න ඕන. හැංගි හැංගි ඉඳලා ලෝක  කුසලානයක් දිනන්න බැහැ. අපි ඉංග්‍රීසසියෙන් කියන්නෙ Exposure එක / Competitiveness කියල ඔන්න ඕකට.

අවසාන වශයෙන් බොහෝ ලාංකිකයන්ට ඇති ප්‍රශ්නය තමයි සූදු පොලවල්, විනෝද උද්‍යාන, පිටරැටියන් අපේ රටේ වැඩ කිරීම වගේ දේවල් බුදු දහමේ එන සංකල්ප එක්ක ගලප ගන්නෙ කොහොමද කියල. ඇත්ත, පිටරට අය අපේ රටේ වැඩ කිරීම බුදු දහමට පටහැනි වෙන්නෙ නැහනෙ. බුදුදහම ආවෙත් ඉන්දියාවෙන් නිසා කොහොමත් ප්‍රශ්නයක් නැහැනෙ. අනික බුදු දහම කියන්නෙ ලෝක සත්වයා ගැනම තියෙන දහමක් මිසක් ලාංකිකයන් ගැන තියෙන දහමක් නෙවෙයි නෙ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. හැබැ​යි Port City කියන්නෙ වෙළඳ සහ මූල්‍ය නගරයක්. ඒක ආරාමයක් හෝ පන්සලක් නෙවෙයි. බුදු දහම කියන්නෙ අපි තනි තනිවම ප්‍රගු​ණ කරන අභ්‍යන්තර ගමනක් මිසක් ලෝකය හදන්න යන ගමනක් නෙවෙයි. ඒකනේ කියන්නෙ බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තේ තනියම කියල. බුදුරජාණන් වහන්සේ කරන්න සුදුසු නැහැ කියලා අවිආයුධ වෙළඳම, මත්පැන් වෙළඳාම, වස විස වෙළඳම දැනටමත් වැඩිපුරම කරන්නෙ ශ්‍රී ලංකාවේ රජය. ඒකට අමුතුවෙන් Port City එකක් ඕනෙ නෑ. අවි ආයුධ තියාගන්න සම්පූර්ණයෙන් ලයිසන් දෙන්නෙ රජය. බාර් දාන්න, මත්පැන් පෙරන්න, රසායනික ද්‍රව්‍ය වගේ ඔක්කොම කරන්නෙ ආණ්ඩුව. අපි තුවක්කුවක් තියා ගත්තොත් නීති විරෝධීයි. ඒත් ආණ්ඩුවට ඕන තරං තුවක්කු තියා ගන්න පුලුවන්. ඉතිං ඒක කරන අය බලාගන්න ඕන වැඩක් මිසක් ඒක අපේ පුද්ගලික වැඩක් නෙවෙයි. අපි ඒකට අකමැති නං අපි ඒකෙන් ඈත් වෙලා ඉන්න ඕන. අපේ ගමන යන්න ඕන. ඒකයි බුදු දහමේ ලෝකයෙන් අයහපත අයින් කරනවා වෙනුවට තමං තමන්ගේ සිත කය වචනය පාලනය කර ගනිමින් සත්‍ය අවබෝධ කරගන්න කියල දීල තියෙන්නෙ.

දේවදත්ත හාමුදුරු​වො බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිය​ම භික්ෂූන් වෘක්ෂ මූලික වෙන්න ඕන, මස් මාංශ අනුභවයෙන් තොර වෙන්න ඕන වගේ නීති පනවන්න කියල බුදු හාමුදුරුවො කිව්වෙ කැමති කෙනෙක්ට ඒව කරන්න පුලුවන්, කැමති කෙනෙක්ට  නොකර ඉන්න පුළුවන් කියල. මොකද අපිට ලෝකය හදන්න බෑ. බුදු දහම රකින්න ඕන නම් අපි ධර්මය අනුගමනය කරනවා විනා ලෝකයේ අධාර්මික දේවල් නතර කරන්න අපේ ධර්මාවබෝධය කැපකරන්න යාමෙන් ධර්මයයි, සංවර්ධනයයි දෙකම නැති වෙනවා. අද වෙලා තියෙන්නෙ පන්සල් කුඩා මූල්‍ය නගර වෙලා අපි විශාල මූල්‍ය නගරයක් පන්සලක් කරන්න හදනවා කියලයි මට හිතෙන්නෙ. අලුත් අවුරුද්දෙ අපිට තියෙන එකම බලාපොරොත්තුව Port City එක. යන විදියට පේන්නේ මේකත් ඉතාම දේශපාලනීකරණය වේගෙන යනව කියලයි. ඒකට වෙන්නෙ මොකක්ද කිය​ල කියන්න පුලුවන් කාලයට විතරයි. එතකං මං යනව අවුරුදු සමරන්න. 

ධනනාත් ප්‍රනාන්දු 
සමාජ හා ආර්ථික විශ්ලේෂක