වෙනිසියුලාවෙන් බොලිවාර් මිලියනයේ නෝට්ටුවක් !

වෙනිසියුලාවෙන් බොලිවාර් මිලියනයේ නෝට්ටුවක් !

18 April 2021 11:31 am

වෙනිසියුලාවේ මහ බැංකුව විසින් බොලිවාර් ලක්ෂ දෙකේ, ලක්ෂ පහේ හා මිලියනයේ නෝට්ටු තුනක් අලුතෙන් නිකුත් කර තිබෙනවා. නිකොලොස් මදුරෝගේ එක්සත් සමාජවදී පක්ෂ පාලනය යටතේ වෙනිසියුලාවේ දුප්පත්ම වැසියන් පවා මිලියනපතියන් වී සිටීම එයට හේතුවයි.

ප්‍රධාන වශයෙන්ම තෙල් අපනයනය මත යැපෙන වෙනිසියුලාවට අනූව දශකය අවසානයේදී කාලයක් තිස්සේ එක දිගට ඉහළ ගිය ලෝක තෙල් මිල විශාල වාසියක් වුනා. එවකට වෙනිසියුලාවේ ජනාධිපති වූ හියුගෝ චාවේස් ඉහළ ගිය තෙල් මිලේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් රට තුළ විශාල සුබසාධන ආර්ථිකයක් ඇති කළා. එයින් ඔහුගේ ජනප්‍රියතාවයද විශාල ලෙස ඉහළ ගියා. 

තෙල් මිල පහළ වැටීමත් සමග චාවේස්ගේ සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති අතේ පත්තු වෙන්න පටන් ගත්තා. එහෙත් සුබසාධන වියදම් කපා හැරීමක් සිදු වුනේ නැහැ. සුබසාධක වියදම් ඉහළ යද්දී ලැබෙන ජනප්‍රියත්වය හා විශාල වන රාජ්‍ය යාන්ත්‍රණය තුළ වංචා හා දූෂණ දළු දමා පැල වීමත් සාමාන්‍ය දෙයක්. ඉහළ යන අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජය සතු තෙල් සමාගමෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් සමාගමේ ආයෝජන ඇන හිටීම නිසා වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුනා.

චාවේස්ගේ මරණයෙන් පසුව මදුරෝ බලයට පත් වුනත් චාවේස්ගේ දේශපාලන ප්‍රතිපත්ති දිගටම ඉදිරියට ගියා. අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති හමුවේ රාජ්‍ය පාලකයන්ගේ අන්තිම තුරුම්පුව වන සල්ලි අච්චු ගැසීම කරා වෙනිසියුලාව යොමු වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය යක්ෂයෙකු සේ හිස ඔසොවද්දී මිල පාලනය ආදී සම්ප්‍රදායික සමාජවාදී උපක්‍රම වලින් තත්ත්වය තවත් දරුණු අතට හැරුණා.

පාන් රාත්තලක, සීනි කිලෝවක මිල බොලිවාර් ලක්ෂ ගණනක් දක්වා ඉහළ යද්දී මදුරෝ රජය ප්‍රශ්නයට සුහුරු දේශීය විසඳුමක් හොයා ගත්තා. ඒ සියලුම මිල ගණන්වලින් බින්දු පහක් කපා දැමීමයි. 2018 අගෝස්තු 20 දින සිට ක්‍රියාත්මක වූ මේ බින්දු කැපිල්ලෙන් පසු ඒ වනවිට බොලිවාර් ලක්ෂ දහයකට අලෙවි වුනු පාරිභෝගික භාණ්ඩයක මිල බොලිවාර් දහය දක්වා අඩු වුනා. හැබැයි මේ සුහුරු විසඳුමෙන් පසුවත් වැඩිකලක් බඩුමිල පහළින් තියා ගන්න බැරි වුනා.

මේ වෙද්දී වෙනිසියුලාවේ හාල් කිලෝවක් බොලිවාර් මිලියන 2.5ක්ද, තක්කාලි කිලෝවක් බොලිවාර් මිලියන 5ක්ද, කුකුළෙක් බොලිවාර් මිලියන 14.6 ක්ද වෙනවා. දවසකට වේලක් කන වෙනිසියුලානු වැසියෙක් ඇත්නම් ඔහු අනිවාර්යයෙන්ම මිලියනපතියෙක්. බොලීවියාවේ මහ බැංකුවේ දත්ත අනුව මේ වනවිට (අප්‍රේල් 13) ඇමරිකානු ඩොලරයක මිල බොලිවාර් 2,290,488.29 ක්. 

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් කලකට පෙර ප්‍රකාශ කළේ ලංකාවද වෙනිසියුලාව ආදර්ශයට ගනිමින් ඔවුන් පසුපස පියවර තැබිය යුතු බවයි.

ඉකොනොමැට්ටා