ශානිගෙන් පසු මාස 16කදී හතර වැනි වතාවටත් නව CID අධ්‍යක්ෂවරයෙක් පත් කෙරේ

ශානිගෙන් පසු මාස 16කදී හතර වැනි වතාවටත් නව CID අධ්‍යක්ෂවරයෙක් පත් කෙරේ

11 April 2021 05:38 am

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාව පත්කර තිබේ.

ඔහු, නව රජයට බලයට පත්වූ පසුව මෙම තනතුරට පත්වන හතර වැනි පුද්ගලයා ය. 

නව රජයට බලයට පත්වූ වහාම එතෙක් CID අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතාව එම තනතුරෙන් ඉවත් කෙරුණු අතර ඊට පත් කරන ලද්දේ ඩබ්ලිව්. තිලකරත්න මහතාය. කෙටි කලකදී ඒ මහතාව තනතුරෙන් ඉවත් කර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාව සිටි ප්‍රසන්න අල්විස් මහතාව CID අධ්‍යක්ෂ තනතුරට පත් කෙරිණි. ඔහුවත් ඉවත් කරමින් නිශාන්ත සොයිසා මහතාට එම තනතුර ලබාදුන් අතර මේ වනවිට ඔහුව පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශය වෙත මාරුකර යවා තිබේ. 

මේ අනුව පැහැදිලිවම පෙන්නුම් කෙරෙන්නේ කවුරුන් කුමන චෝදනා කළත් ශානි අබේසේකර මහතාගෙන් පසු එම තනතුර සඳහා සුදුස්සෙකු, එම රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමේ හැකියාව සහ ධාරිතාවය ඇති පුද්ගලයෙකු සොයාගැනීමට මේ දක්වාත් නොහැකි වී ඇති බවය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු යුක්තිය පසිඳළීමේ යාන්ත්‍රණයෙහි බලවත්ම පුරුකකි. මන්දයත් අධිකරණවල නඩු විභාග කිරීමට සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකර සාක්ෂි සොයා ඒවා පෙළ ගස්වන ආකාරය අනුව නිසාය. 

RN