මධ්‍යම තැපැල් හුවමාරුව හරහා ගෙන්වන ලද මත් ද්‍රව්‍ය තොගයක් රේගු අත්අඩංගුවේ - වටිනාකම මිලියන 07කට වැඩියි

මධ්‍යම තැපැල් හුවමාරුව හරහා ගෙන්වන ලද මත් ද්‍රව්‍ය තොගයක් රේගු අත්අඩංගුවේ - වටිනාකම මිලියන 07කට වැඩියි

8 April 2021 06:03 pm

ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශය විසින් මධ්‍යම තැපැල් අංශයේ සිදු කළ විමර්ශනයකදී රු. මිලියන 07කට වැඩි වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මත් ද්‍රව්‍ය තොගයේ මත් ද්‍රව්‍ය වර්ග තුනක් තිබිඅති අතර එක්සසි ටැබ්ලට්ස් 400ක්,කුෂ් කැනබිස් ග්‍රෑම් 278ක් තිබී ඇත.

එමෙන්ම තවත් මත් ද්‍රව්‍යයක් වන මැජික් මැෂ්රුම් නැමති මත්ද්‍රව්‍යයද ඒ අතර තිබෙන බවට විශ්වාසය පළ කරන බවයි මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත් රවිප්‍රිය මහතා පැවසුවේ.

කූරියර් සේවාව හරහා මෙලෙස මත් ද්‍රව්‍ය ලැබෙමින් පැවති අතර මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුව හරහාද ඒවා ගෙන්වන බවට නිරීක්ෂණය වෙමින් තිබෙන බව රවිප්‍රිය මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ඒවා රට තුළට නොයන පරිදි කටයුතු කිරීමට රේගුව විමසිල්ලෙන් පසු වන බවද ඔහු කියා සිටියේය.

එම මත් ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති නමුත් එම පාර්සල් තුළ ඇති ලිපින හරහා සැකකරුවන් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි රවිප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.