ඩෙන්මාර්කයේ කොරෝනා ප්‍රභේදය සහිත ආසාදිතයින් තිදෙනෙක් කොළඹින් හඳුනා ගනී

ඩෙන්මාර්කයේ කොරෝනා ප්‍රභේදය සහිත ආසාදිතයින් තිදෙනෙක් කොළඹින් හඳුනා ගනී

8 April 2021 05:56 pm

ඩෙන්මාර්කයේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතයින් තිදෙනෙක් කොළඹින් හඳුනා ගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර  සභාව දැනුවත් කර තිබෙන අතර ඊට අවශ්‍ය පියවර ඔවුන් විසින් ගනු ඇති බවයි ජීවන්දර මහතා සඳහන් කරන්නේ.    

එමෙන්ම එංගලන්තයට අවේණික වූ ප්‍රභේදයක් ලංකාව තුළින් හඳුනාගෙන ඇති අතර එම ආසාදිත තැනැත්තා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකිනි. ඔහු කුවේටයේ සිට මෙරටට පැමිණි තැනැත්තෙක් බව සඳහන්. 

පසුගිය කාලය තුළම වෙනත් විකෘති ප්‍රභේද හඳුනා ගැනුණේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර එම මධ්‍යස්ථානවලින් පිටත පොකුරු නිර්මාණය වීමට මෙරට සෞඛ්‍ය අංශ ඉඩ තබා නැති බවද ජීවන්දර මහතා කියා සිටියි. 

 කෙසේවෙතත් මෙවැනි උත්සව සමයක මෙවැනි ප්‍රභේද සහ ඒවායේ බලපෑම් ජනතාව විසින් දැනසිටීම වැදගත් බවද ඔහු පවසයි. 
 එමෙන්ම ශ්‍රී ලංකාව තුළද කොරෝනා විකෘති ප්‍රභේද හඳුනාගෙන ඇති බවත් ඒ ගැන පරීක්ෂණ සිදුකෙරෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.