පළාත් සභාවලට මම විරුද්ධයි, නමුත් රජය මැතිවරණය තියනවා නම් මට විරුද්ධ වෙන්න බෑ - වීරසේකර

පළාත් සභාවලට මම විරුද්ධයි, නමුත් රජය මැතිවරණය තියනවා නම් මට විරුද්ධ වෙන්න බෑ - වීරසේකර

8 April 2021 10:20 am

පළාත් සභා ක්‍රමයට තමන් එදා සිටම විරුද්ධ නමුත් රජයක් වශයෙන් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් තමන්ට ඊට එරෙහි විය නොහැකි බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. 

"මගේ ස්ථාවරය පළාත් සභාවලට මම එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. ඒ මගේ පුද්ගලික මතය. නමුත් පළාත් සභා තියනවා නම් ඒක රජය විසින් කරන එකක්, ඉතිං රජයක් විසින් කරන දේවල්වලට තනි පුද්ගලයෙක්ට විරුද්ධ වෙන්න බෑ. 

නමුත් මගේ ස්ථාවරය එදත් එහෙමයි, මොකද පළාත් සභා කියන එක අවශ්‍ය වෙන්නෙ නෑ කියන තැන තමයි මම ඉන්නෙ. එක රටක් එක නීතියක් නම් පළාත් නවයෙ නීති නවයක් තියෙන්න බෑ. ඒක මගේ පෞද්ගලික මතය. නමුත් පෞද්ගලික මතය කෙසේවුණත් අපි සාමුහිකව ගන්න ඕනෙ තීරණ තියෙනවා. ඉතිං ඒක නිසා එතෙන්දි අපි බලමු. නමුත් මේක කවදා කොයි ආකාරයෙන් වෙයිද කියන එක ගැන තවම තීරණයක් අරගෙන නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN