තවත් වසර 50 ජීවත්ව තිබීමම පුදුමයකි - රංජිත් හේනායකආරච්චි

තවත් වසර 50 ජීවත්ව තිබීමම පුදුමයකි - රංජිත් හේනායකආරච්චි

5 April 2021 12:51 pm

කාලය ගෙවී ගිය වේගය අදහා ගන්නට බැරි තරම්ය. අප ජීවිත 1971 අප්‍රියල් අරගලයෙන් පසුව අඩසියවසක් ගෙවී හමාරය. එදා අප සිහිනෙකින්වත් නොසිතූ දුරක් අද අප ජීවන ගමනේ ළඟා කර ඇත්තෙමු.  අහම්බයකින් එදා අප ජීවිත ගැලවුණි. වසර ගණන් සිර ගෙවල් සහ වධකාගාරයන්හි වද විඳීමෙන් ලද අත්දැකීම් අප ජීවිත වලට පරිණත බවක් එකතු කරනු ලැබීය.
 
හැත්තෑ එකේ අරගලය අපගේ ජීවිතවල සන්ධිස්ථානයක් වූවා මෙන්ම ලංකා ඉතිහාසයේද එක් හැරවුම් ලකුණක් සනිටුහන් කරනු ලැබීය. හැට ගණන්වල අග භාගයේදී අප දේශපාලන ක්‍රියාවන් වෙත ආකර්ෂණය වණ්නේ රටේ මෙන්ම එදා ලෝක දේශපාලනයේද බලපෑම හේතුවෙනි. ලෝකය අධිරාජ්‍යවිරෝධී විමුක්ති ව්‍යාපාරයන්වල ගිනිසිලු වලින් රත් වෙමින් පැවතුණු හැට ගණන්වල ලෝක දේශපාලන උණුසුම අප‍ වෙත ළඟා වූයේ ළාබාල වයසේ ම ය.
 
කියුබානු විප්ලවයෙන්,  වියට්නාම් යුද්ධයෙන්, ඒ වාගේම කොංගෝවේ විමුක්තිය අරගල නායකයා වූ ලුමුම්බා මරා දැමීම ආදී දේවල් අපේ ජීවිත වලට යම් බලපෑමක් ඇති කරනු ලැබුණි. ඉන්දුනීසියානු විමුක්තිකාමීන් මරා දැමීම ආදී දෙය පිළිබඳව එදා අපට දැනුමක් ලැබීම, අද මෙන් ලෝකය ලඟ නොව දුර තිබූ අවධියක, අන්තර්ජාල සමාජ වෙබ් අඩවි හෝ එවැනි මාධ්‍යයන් නොතිබූ අවධියක, පුදුම සහගතය.

බොහෝවිට අප්‍රියල් අරගලය ගැන හැඳින්වීමේදී එය වගකීම් විරහිත ළාබාල තරුණයින්ගේ හිතුවක්කාරි නැගිටීමක් ලෙස සමහරුන් හුවා දැක් වූවා වුවත් අප්‍රියල් අරගලය ඇති වන අවදියේ ලෝක තත්ත්වය දෙසට මොහොතක් හිත යොමු කළොත් අප්‍රියල් නැගිටීම ඉබාගාතේ ගිය ගමනක් නොවන බව වැටහෙනු ඇත. එදා ලෝකය පුරා තරුණ අරගල මතුවෙමින් තිබු අවදියකි. චෙකොස්ලොවැකියාවේ ඩුබ්ෂෙක් ලාගේ නායකත්වයෙන් ඇති වූ  ප්‍රාග් වසන්තය, එමෙන්ම  පැරිසියේ සහ බර්ලිනයේ සිෂ්‍ය නැගිටීම්, පිලිපීනයේ, මැලේසියාවේ හෝ තායිලන්තයේ තරුණ නැගිටීම් ආදී බොහෝ දේ පිළිබඳව එදා අප දැනුවත් ව සිටියෙමු. පැරිස් සිසු නැගිටීම් වල සටන් පාඨයක් අපි එදා අපේ සටන් පාඨයක් කරගත්ත හැටි මට හොඳට මතකය. බඩල්ගම හන්දිය මහ පාරේ එදා අප ලියූ සටන් පාටයක් වූයේ පැරිස් සිසුවන්ගේ සටන් පාඨයක් වූ “අන්තිම ධනපතියා, න්තිම අධිරාජ්‍යවාදියා ලාම්පු කණුවල එල්ලා දමන තුරු ජනතාව සතුටු නොවනු ඇත”. කෙසේ හෝ මා මෙයින් අදහස් කරන්නේ එදා අප අරගලයකට මැදි වන්නේ ලෝකය පුරාම තිබූ ප්‍රවණතාවයන් සමග එක්තරා හෝ අනුගත වීමක් සමඟින් බවයි. 

එදා අප්‍රේල් කැරැල්ලේදී මට පැවරුන වගකීම වුයේ යාපනය හිරගෙදරට පහරදෙන කණ්ඩායම සමග එම පහර දීමට සහභාගි වීමයි. අසාර්ථක පහරදීමකින් පසුව අප්‍රියල් 6 වැනි දින උදේ මාත් ඇතුළු කණ්ඩායම හමුදාවන්ට යටත් වනුලැබීය. එදා යාපනයේ පොලි ස්අදිකාරී සුන්දරලින්ගම් මහතාට පින්සිදු වන්නට අප ජීවිත නොබේරුනානම් අපවද අප්‍රියල් විරුවන් ලෙස සැලකෙනවා මිස පසුකල ඔවුන් අපව හැඳින්වූ අයුරින් “ද්‍රෝහියකු” ලෙස නොහැඳින් වෙනවා ඇත. ඉන්පසු හිරගෙවල් සහ රහස් පොලිස් වධකාගාර වල වසර 6කට වැඩි කලක් ගතකිරීමට සිදුවිය.

නිදහසෙන් පසු වසර විස්සක් ගත නොවී තිබූ අවධියක, නිදහස් ලංකාවේ දේශපාලන නායකයින්ගේ නොහැකියාව, සහ නුවුවමනාව ලාබාල අවධියේම අප වටහා ගනිමින් හිටියෙමු. නිදහස සහ විමුක්තිය යන වචන අපගේ මනස් තුළ පැළපදියම්ව තිබූණි. තරුණ ජවය, ලොව වෙනස් කිරීමට අපට ඇති හැකියාව ගැන තිබූ සීමාව ඉක්මවා ගිය විශ්වාසය, ඒවාගේම අපතුල වූ කැපවීම, 1971 අප්‍රියල් අරගලය සූදානම් කිරීම සඳහා අපට මග පෙන්වනු ලැබීය.
 
හැට ගණන් වල මැද වන විට විවිධ දේශපාලන කණ්ඩායම් රට තුළ ක්‍රියාත්මක වෙමින් පැවතිණි. මේ කණ්ඩායම් වලින් වැඩි හරියක් බිඳී ආවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිෂ්ට් පක්ෂයේ චීන පිල තුළිනි. අප බොහෝ දෙනකු චීන පිල ආශ්‍රිත දේශපාලන ආභාෂය ලැබූ අය වෙති. ඒනමුත් කියුබානු විප්ලවයද අපට ජවයක් ලබා දී තිබුණි.

එදා අපි ළාබාල උනත් අපේ අරමුණු ළාබාල වුයේ නැත. ලෝකය පුරාම අධිරාජ්‍යවාදය තම නග්න අඬු විහිදූ අවදියක, ඒ වගේම බලවතුන් ගේ බලයට සියල්ල යටපත් කර තිබුණු අවධියක, ඊට එරෙහිව නැඟී සිටින්නට සිතන සිතිවිල්ලම ළාබාල එකක්නොව පෞර්ෂයකින් යුතු එකකි. ඒ අරමුණ ඉටු කරගන්නට අප ගත් ක්‍රියාමාර්ග හරිද වැරදිද, ඒවා කොපමන දුර්වලද, ආදිය ගැන අප වෙනම කතාකල යුතුය. ඒගැන අපට මත් එදා ප්‍රශ්න නොතිබුණා නොවේ. ඒත් සමාජයක ඇති අසාධාරණය නැති කිරීම සඳහා සටන් වැදීම, ඒ සඳහා ඉදිරිපත් වීම, ඒ සඳහා දිවි නොතකා කැපවීම, මම අදටත් දකින්නේ උසස් ක්‍රියාවක් ලෙසිනි. ඒ මිනිස් සංහතියේ සහ සභ්‍යත්වයේ වර්ධනයේ සහ දියුණුවේ ගමන්මඟ අද වන තුරු රඳා පවතින්නේ එසේ කැපවීමෙන් නැගිටි මිනිසුන්ගේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙසින් නිසාවෙනි.

අද වනවිට මට ලෝකයේ විවිධ රටවල් වල විමුක්ති ව්‍යාපාර සමග සහයෝගයෙන් කටයුතු කිරීම සහ ඒවා සමග අදහස් හුවමාරු කර ගැනීම තුළින් එදා හිටියාට වඩා දැනුම් සම්භාරයක් එක්වී තිබේ. ලොව කොතැනක වුවත් වැදගත්ම කාරණය වෙන්නේ සමාජ අසාධාරණයට විරුද්ධව, නොබියව සටන් වදින්නට ඉදිරිපත් වීමයි. ලොව ඉදිරියට ගෙනයන්නේ එසේ සටන් වදින මිනිසුන් වෙති. අදටත් මට ලංකාවේ උතුරේත් දකුණේත් දෙකේම අසාධාරණයට එරෙහිව ඉදිරිපත්වෙන සෑම කෙනෙක් ගැනම තිබෙන්නේ ගෞරවයකි. නමුත් එයින් මට ඒ අයට විවේචනයක් නැතැයි කියා මං අදහස් නොකරමි.

අපිට එදා “කජුකිරි කල්ලිය” “සී.අයි.ඒ.කෙමනක්” වැනි අපහාස නොකර හරි විවේචනයක් දෙන කෙනෙක් හිටියා නම් සමහරවිට අපිට සමහර වැරදි හදාගන්න ඉඩ තිබුණි.
 
අනිත් කාරණය තමයි මට අදටත් අපි ගැන තියෙන විවේචනය. මෙතනදි මම අදහස් කරන්නේ අපි යනුවෙන් 1971 දී ජනතා පෙරමුණ සහ එහි සාමාජිකත්වය. බොහෝ දේවල් පිළිබඳ උඩින් පතින් දැනුම තිබුනා උවත් නිදහස් මිනිසුන් ලෙස සිතීමට හැකි මිනිසුන් බිහිකිරීමට අප සංවිධාන විසින් ක්‍රියාදාමයන් සකස් කර නොතිබීම. මෙය දිගින් දිගටම ගමන් කිරීම හේතුවෙන් විශාල හානි දේශපාලන ව්‍යාපාරයට වාගේම අපේ සමාජයටත් සිදුව තිබේ. විවෘත මිනිසුන් බිහි කිරිම යනු ප්‍රජාතාන්ත්‍රික මිනිසුන් බිහිකිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදී නොවුන සමාජයකට, ප්‍රජාතන්ත්‍රවාදී නොවුන මිනිසුන්ට ඉන් එපිට ගිය ඉදිරිගාමී සමාජයක් බිහිකල නොහැකි බව මගේ වැටහීමයි.

ලංකා සමාජය විවෘත සමාජයක් නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මිනිසුන්ගෙන් හීන සමාජයකි. රට එදා තිබූ තත්ත්වයටත් වඩා ඇහුරුණු මානසික මට්ටමක, සීමිත සීමාවන් ඇතුළත හිරවුන සමාජයක් අද පවතින බව මගේ වැටහීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් බිහි නොකල සමාජයක විමුක්තියක් ඇතිවීම සිදු නොවන දෙයකි. යම් කිසි දේශපාලන ව්‍යාපාරයක් රටෙහි බලය ලබාගත්තා වුවද, එම දේශපාලන ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන්ගෙන් සමන්විත ව්‍යාපාරයක් නොවන්නේනම් එතැන බිහිවන්නේ ඒකාධිපති අත්තනෝමතික පාලනයක් හෝ වැඩවසම් පාලනයක් පමණි. දේශපාලන ව්‍යාපාර තුළ ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් ගොඩනැගී නැත්නම්, විවිද අදහස් සහ මතවාදයන්ට එම දේශපාලන ව්‍යාපාර තුළ ඉඩ නැති වෙන්නේ නම්, එම ව්‍යාපාරය මෙන්ම එහි සාමාජිකත්වය දියුණුවක් නොලබනු ඇත. “සෑම විටම නිදහස යනු වෙනස්ව හිතන අයට තම මතය දැරීමට ඇති නිදහසයි” කියා එදා රෝසා ලක්සම්බර්ග් පැවසුවේ එනිසාවෙනි.
 
බොහෝ විට මට හිතෙන්නේ ලංකා සමාජය වැඩවසම් මානසික බැමිතුල හිරවී සිටින සමාජයක් බවයි. මේ හේතුවෙන් දේසපාලන පක්ෂවල නායකයන් කෙරෙහි සාමාජිකත්වයට ඇත්තේ අන්ද බක්තියකි. ඒ නිසා ඔවුන් තම නායකයන් අන්දානුකරනයෙන් අනුගමනය කරති. ඔවුන්ගේ ඕනෑම වරදක් සාදාරනය කරති. මෙය අඩු වැඩි වසයෙන් සෑම පක්ෂයකටම, වමේ පක්ෂ ඇතුලුව, පොදුය. තත්වය එසේ හෙයින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් තහවුරු සමාජයක් සඳහා අපට ඇත්තේ දුර ගමනකි.

එදා 1971 අප්‍රියල් නැගිටීමෙන් පසු හිරගෙවල හිරවී සිටි අපත් අද ලංකා සමාජත් අතර විසාල සමාන කමක් ඇතැයි මගේ වැටහීමයි. එදා අසාර්තක සටනකින් පසුව අප එම වැරදි වලින් ඉගෙනගෙන නැවත එම වැරැද්ද නොවීමට වග බලාගැනීමට අසමත්වීම, මගහැරීම සහ උවමනාවක් නොවීය. ඒ අපි අපේ වැරදි දැකිමට අකමැති වීම නිසාවෙනි. අපි අපේ වරද අන් අයමත පැටවීමට උත්සාහ කලෙමු. අපේවරද අපි මාඕ සේතුංලා හෝ වෙන අය මත පැටවූයෙමු. වැරදි නිවැරදි කර ගැනීමක් ගැන සිතීම පවා ප්‍රතික්සේප කලෙමු. එහි වන්දිය ඉන්පසු පරම්පරාවට පොලී සමග ‌ගෙවීමට සිදුවිය. 

අද ලංකා සමාජ දේසපාලනයද එදා අපේ හරස් කඩක් වැනිය. අප රටතුල ඇති දේසපාලනයේදී තමන්, දේසපාලන බලධාරීන්, කරන වැරදි ඔවුන් ලෝකයේ අන් මිනිසුන්මත පටවන්නට උත්සාහ කරමින්, පටවමින් තමන්වත් රටත් රවටමින් සිටී. තමන්ගේ සෑම වරදක්ම විදේස තුමන්ත්‍රන න්‍යායක් තුල හිරකර දමයි. නමුත් වරද ඇත්තේ තමන් ලඟ හෙයින් ඒ සඳහා මුලුරටකටම ඉදිරියේ වන්දි ගෙවීමට සිදුවනු නියතය.

දේශපාලන හේතූන් නිසාවෙන් ම රට තුල ජිවත් වීමෙන් මගේ ජීවිතයට හානියක් වීමෙන් වැළකීම මුල් කරගෙන එදා මා රට හැර යන්නේ ජාත්‍යන්තර දේශපාලනයෙන් යම්කිසි වැඩ කොටසක් ඉගෙනගෙන වසර 5 ක් වැනි කාලයකදී රටතුල තත්වයන් හොඳවනවිට නැවත ලංකාවට යන බලාපොරොත්තුව මුල් කර ගෙනයි. නමුත් ඒ තත්වය තවතවත් බැරෑරුම් වූ අතර එදාමා සමග ගුවන් තොටට පැමිනි දේසපාලන මිතුරන් ගනනාවකටම දේසපාලන හේතූන් නිසාවෙන්ම ජීවිතද අහිමි විය. එදාසිට අද වන තුරු වසර හතළිහකට වැඩි කාලයක් ගත වී ගොස් ඇති අතර මගේ පිටුවහල් ජීවිතය අද දක්වාම ගත වී ඇත්තේ දේශපාලන ක්‍රියාදාමයන් මුල් කරගෙනයි.  තවත් අපට ඉතුරුව ඇත්තේ අප ජීවිතවල ඉතා කෙටි කාලයක් බව මම හොඳින් දනිමි. එදා 1968දී එම අරගලකාරී දේශපාලනයට එක් වන මම ඒ සඳහා ඉදිරිපත් වන්නේ අසාධාරණය නැති කිරීමත්, සාධාරණ සමාජයක් ගොඩනඟා ගැනීමේ අරමුණ මුල් කරගෙනත්ය. මම අද දකින ආකාරයට එදා තිබූ ප්‍රශ්න එදාටත් වඩා වැඩි ප්‍රමාණයක් අද වන විට ලංකා සමාජය තුළ මුල් බැස ඇත. එසේනම් එදා මා එයට විරුද්ධ වූවා මෙන්ම අදද මට එයට එරෙහිව කටයුතු කිරීම සිදුව තිබේ.

යටපත් කිරීම සැබෑවක් ව ඇති ඕනෑම සමාජයක එයට එරෙහිව නැගී සිටීමට මිනිසාට ඇත්තේ අනිවාර්ය අයිතියක් බව මම විශ්වාස කරමි.