මාලනී බුලත්සිංහල: ඇස් කූඩෙන් වතුර අදින්නට සපථ කළ ගැහැණිය

මාලනී බුලත්සිංහල: ඇස් කූඩෙන් වතුර අදින්නට සපථ කළ ගැහැණිය

29 March 2021 12:30 pm

 
මාලනී බුලත්සිංහල මියගියෙ 2001 මාර්තු 29 වෙනිදා. ඒ කියන්නෙ අදට හරියටම අවුරුදු 20 ක්. ඒක නිමිති කරගෙන මාලනී ගැන යමක් ලියන්න කියල අපේ ප්‍රධාන කර්තෘවරයා යෝජනා කළා. ඒක බොහොම කැමැත්තෙන් එකඟ වෙන්න පුළුවන් යෝජනාවක්. මං මාලනී ගැන කල්පනා කළා. ඇත්තටම කවුද මාලනී බුලත්සිංහල කියල කියන්නෙ?
 
අපේ ශ්‍රව්‍ය ස්වර සුසර කළ විශිෂ්ට ගණයෙ ගායිකාවක්. සංගීත ශිල්පිනියක්. ගුරුවරියක්. එච්.එම්. ජයවර්ධනගෙ ප්‍රිය බිරින්දෑ. කසුන් කල්හාරගෙ අම්ම. අපිට ඔහොම ලැයිස්තුවක් හදාගෙන යන්න පුළුවන්. ඔය හැමදෙයක්ම අස්සෙ මං නම් වැඩිපුරම ආස මාලනීගෙ ගීත ඇතුළෙ අදටත් ජීවත්වෙන ගැහැනු ආත්මයට. ඒකෙන් කියන්නෙ අනෙක් ගායිකාවන්ගෙ ගීතවල ඒක එහෙම නෑ කියන එක නෙවෙයි. තව කෙනෙක් අහන්න පුළුවන් ගෑනියෙක් කියන සින්දු ඇතුළෙ ගෑනු ආත්මය නැතුව වෙන මොකක් තියෙන්නද කියල. නැහැ, එහෙම නෙවෙයි. අපි ඒක මෙහෙම පැහැදිලි කරගමු.
 
පිරිමි අපි ගෑනුන්ට නානාප්‍රකාර පොරොන්දු දෙනවනෙ. ඉර, හඳ, තරු කඩාගෙන ගෙනත් දෙන්නම්, වැලි මිරිකල වතුර ගන්නම්, කටු තුඩු උඩ වුණත් සැතපෙන්නම් ඔය වගේ එක එක කතා. ඒ හැමදෙයක්ම බොහොම උපේක්ෂාවෙන් අහගෙන ඉඳපු ගැහැනු කටහඬක් පෙරළා අපෙන් මෙන්න මෙහෙම අහනවා.
 
"පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල් එයට නෙළා පිළිගන්වන්නම්"
 
 
මෙතැනදි එන තව ප්‍රශ්නයක් තියෙනව. ගීතයක වචනවල අර්ථය කියන්නෙ පද රචකයගෙ ප්‍රකාශනයනෙ. ඒකෙ ගෞරවය ගායකයාට හෝ ගායිකාවට දෙන්න පුළුවන්ද? හැබැයි මෙහෙමයි, තමන් ගායනා කරන්නෙ මොන ගීතයද කියන එක තීරණය කරන්නෙ ගායකයා හෝ ගායිකාවනෙ. එහෙම නැති අයත් ඇති. හැබැයි සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙමයි. එතකොට ඔවුන් තෝරගන්නෙ තමන්ගෙ අදහස්, මතවාදවලට අදාළ ගීත. ඒ කියන්නෙ ඒ ගීතවල අර්ථය ඔවුන්ගේත් ප්‍රකාශනය වෙනව. මෙතැන මාලනීත් එහෙමයි. හැබැයි අපි ඒකෙ නිසි ගෞරවය පද රචකයාට විතරක් නෙවෙයි සංගීත නිර්මාපකයාටත් දෙන්න ඕනෙ.
 
"බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත් මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත යළි උපදිමි ඒ පියුමෙන් මං"
 
අර කප්පරක් පොරොන්දු දෙන ගොඩක් පිරිමින්ගෙ පසුකාලීන හැසිරීම ඇය ඉතාම උත්ප්‍රාසයෙන් සහ උපහාසයෙන් ප්‍රශ්න කරනව. ඒ ප්‍රශ්න කරන කටහඬ හරිම සන්සුන්. තරහක් ගෑවිලාවත් නෑ. හැබැයි හරිම ගැඹුරුයි. බරයි. අන්න ඒ වගේ ස්ත්‍රී ආත්මවලට මං බොහොම කැමතියි. මේ ඒකට තවත් උදාහරණයක්.
 
"මලින් උපන් මල් පත්තිනි දේවී කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ඔබේ මඟුල් දවසේ"
 
 
පෙම්වතා තමන්ගෙ පාරිශුද්ධත්වය ප්‍රශ්න කරල යන්න ගියාම නහයෙන් අඬනවා වෙනුවට මෙහෙම යෝජනාවකින් දමල අරින ගෑනියෙක් කියන්නෙ නියම මොරාල් හදවතක් සහිත ආත්මයක්. මාලනී හඬ දෙන්නෙ අන්න එහෙම ගැහැනු ආත්ම පෞරුෂයකට. හැබැයි 'මා එක්කලා අමනාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර' වගේ සින්දුවකදි ඇගේ හඬ වර නැගෙන්නෙ ඊට වඩා වෙනස් විදියකට.
 
"හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒදැයි බලමින් ඉඳිමු"
 
 
මෙතැන ඉන්නෙ තමන්ගෙ දුවත් එක්ක තනිවුණ ගැහැනියක්. හැබැයි එතැනදිත් ඇය බොහොම සුබවාදීයි. බලාපොරොත්තු සහගතයි. මෙන්න මේ විදියට මාලනීගෙ ගීතාවලිය ඇතුළෙ ඇය විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් ගැහැනු ආත්මය වර නගනවා. විටෙක ඇය සම්ප්‍රදායික මවක්.
 
"කොන්ඩෙ බැඳල අපේ පුතා කොළඹ ඉඳන්
ගමට ඇවිත් හරි වෙනස් වෙලා
ගමන බිමන කතාව දැන් හරි අමුතු වෙලා"
 
තව විටෙක ඇය සැමියාට යටහත් පහත බිරිඳක්.
 
"මළ පොතේ අකුරු බෑ කී මිනිහා
ඉංගිරීසි පත්තරයක්
මුල ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා
කොහෙන් ඉගෙන ගත්තද මන්දා"
 
 
මෙහෙම බහුවිධ අර්ථ පරාස, බහුවිධ ස්වර පරාසවල ගායනා කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසා වෙන්න ඇති භෞතිකව මියගිහින් අවුරුදු විස්සකට පස්සෙත් ඇය තාමත් අපි අතරෙ ජීවත් වෙන්නෙ. ඇගේ සමස්ත සංගීත ජීවිතය ගැන වෙනමම, පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. මේක එහෙම ශාස්ත්‍රීය වෑයමක් නෙවෙයි. මට උවමනා කරේ ඇය අපෙන් සමුඅරන් අවුරුදු 20ක් පිරෙන අද දවසෙ මට දැනුණු පොඩි තැනකින් ඇයව ටිකකට අල්ලගන්න. අල්ලගෙන පරණ මතක අස්සෙ පොඩ්ඩක් හක්කලං ගහන්න. ඒව කවදාවත් මැකිල යන මතක නෙවෙයි. ඒ මතකවලටත්, ඒ කදිම රහටත් බොහොමයක් ස්තුතියි මැතිණිය !
 
- සිහින විමුක්ති රණවීර