විත අස පත 16 - පාසලක්, පන්තියක්, පිහාටු පෑනක් සහ පරණ කතාවක්

විත අස පත 16 - පාසලක්, පන්තියක්, පිහාටු පෑනක් සහ පරණ කතාවක්

29 March 2021 10:04 am

මාතර රාහුල විද්‍යාලයේ 8 - H පන්තියේ ඉගෙනුම ලබමින් සිටී කාලයේ මට ප්‍රියන්ත නමින් පන්ති සගයෙකු සිටියේය. මා අද මෙන් ම එදාත් බෙහෙවින් කුලෑටි, මුළුගැන්වෙනසුළු, මෙලෝ රහක් නැති අයෙකු විය. නමුත් ප්‍රියන්ත එසේ නොවීය. ඔහු බොහොම ක්‍රියාශීලී ය. ප්‍රබෝධමත් ය. කට වාචාල ය. ගුරුවරුන් සමඟ එකටෙක කියයි. ළමයි එක්ක රණ්ඩුවට යයි. අමුතු කතන්දර හදයි. ගුරු අණට යටත් සුවච කීකරු ගෝලයන් රොත්තක් පිරුණු පන්ති කාමරයක ප්‍රියන්ත යනු එදවසට අනුව සිටි කදිම, බුහුටි රැඩිකලයෙකු බව මට දැන් සිතෙයි. අපේ පන්තියට 'වඳ පුංචි අම්මා' යන නාම කාය හඳුන්වා දුන්නේත්, හාපුරා කියා මුලින් ම පන්තියට වැල පත්තරයක් අරගෙන ආවේත් ප්‍රියන්ත ය. නමුත් දැන් ඒවායේ නිධාන කතා මෙතැන ලියන්නට නොහැකි ය.

ප්‍රියන්ත එක දවසක් පන්තියට පෑනක් රැගෙන ආවේය. එය අපූරු පෑනකි. සාමාන්‍ය පෑනකට හිමි අංගෝපාංග අතුරින් එහි තිබුණේ පෑන් බටයත්, තුඩත් පමණකි. ඉතිරි සියල්ල ම ප්‍රියන්තමය සැරසිලි ය. පෑන් බටේ ඉහළ කෙළවරේ ලොකු පිහාටුවක් ගසා එය පාට කීපයකින් පින්තාරු කරලා ය. බටේ බඳ වටා මට දැන් හරියට ම මතක නැති, නමුත් කඩදාසි වැනි යමක් විය යුතු කිසිවකින් ලස්සන සැරසිල්ලකි. තව තවත් සුකුරුත්තන් කීපයකි. ඒක හරියට පිල් විදහා නටන මොණරෙකු වගේ ය. අපේ ප්ලාස්ටික් සෙබඩ පෑන් අතර ඒ මොණර පෑන වෙසෙසින් ම කැපී පෙනුණි.

උදෑසන කාලඡේදයක් සඳහා චිත්‍ර ගුරුවරිය අපේ පන්තියට පැමිණියාය. පාඩම කරගෙන යන අතරතුර ප්‍රියන්තගේ පෑන ඇගේ ඇස ගැටිණ. "ෂා, බොහොම අපූරු පෑනක්නෙ. ප්‍රියන්තමද මේක හැදුවෙ? හරිම ලස්සනයි" වැනි ප්‍රකාශයක් ඇගේ මුවින් පිට වුණා මට මතක ය. පෑන අතට ගත් ඈ එය එහෙට මෙහෙට හරවා තවදුරටත් පරික්ෂා කර බැලුවාය. ඒ මොහොතේ ප්‍රියන්තගේ ඇස් ආඩම්බරයෙන් සහ සතුටින් දිලිසුණ ආකාරය මට දැනුදු සිහියට නගා ගන්නට හැකිය. චිත්‍ර කාලඡේදය නිමාවට පත් විය. විවේක කාලයෙන් පසු එළැඹුණේ ගණිතය කාලඡේදයයි. ඒ සඳහා ගණිතය ගුරුවරයා අපේ පන්ති කාමරයට පැමිණියේය.

පාඩම අතරතුර ඔහුගේ අවධානය ද ප්‍රියන්තගේ පෑන වෙත යොමු විය. "මේ මොකද්ද මේ?" කියමින් ඔහු ප්‍රියන්ත වෙත ලං විය. ප්‍රියන්තගේ ඇස් ඒ වන විටත් තිබුණේ චිත්‍ර ගුරුවරිය විසින් ඉපැද්දූ අභිමානයෙන් දිදුලමිනි. නමුත් ඊළඟ මොහොතේ ගණිතය ගුරුවරයාගෙන් එල්ල වූ වචන වතුර ප්‍රහාරය හමුවේ ඒ දීප්තියේ ගිනි දැල් සැණෙකින් නිවී ගියේය. "මේ මොන විකාරයක්ද? ඇයි තමුසෙට අනිත් ළමයි වගේ නිකං පෑනකින් ලියන්න බැරිද? ඉස්කෝලයක් වුණාම විනයක් තියෙන්න ඕනෙ. තමුසෙලට ඕනෙ ඕනෙ දේවල් කරන්න දෙන්න බෑ. කෝ මෙහෙට දෙනව ඔය පෑන" පිහාටු පෑන අතට ගත් ඔහු කේන්තියෙන් පන්තියෙන් නික්ම ගියේය.

අපි සැවොම තෘෂ්ණිම්භූත වී බලා සිටියෙමු. ඒ ඇසිල්ලෙහි ප්‍රියන්තගේ මුහුණෙහි වූයේ හැඟීම් විරහිත මොනාලිසා බැල්මක් බව ටක්කෙට ම සහතික ය. මඳ වේලාවකට පසු ගණිතය ගුරුවරයා පෙරළා පන්තියට පැමිණියේය. නමුත් ඔහු අත ප්‍රියන්තගේ පෑන තිබුණේ නැත. "පෑන කෝ?" කියා ඔහුගෙන් අසන්නට තරම් ශක්තියක් එදා ඒ පන්ති කාමරය තුළ සිටී අප කිසිවෙකුට තිබුණේ ද නැත. අදටත් පාසලක ශිෂ්‍යයෙකුට එබඳු ප්‍රශ්නයක් අහන්නට ඇති ඉඩ කෙබඳුදැයි මම හරියට ම නොදනිමි. වෙනදා හැමදේට ම කට ගහගෙන යන ප්‍රියන්ත ද නිශ්ශබ්දව ම හුන්නේය. කාලඡේදය නිමවා ගුරුවරයා නික්ම ගියේය. පිහාටු පෑනට සිදුවූයේ කුමක්දැයි අප අදටත් දන්නේ නැත. දැනුත්, මේ මොහොතේ දී ත් පන්ති කාමර තුළ ඒ වගේ මොන තරම් දේවල් අතුරුදන් වනවා ඇද්ද?

- කසුන් සමරතුංග