ලේ නොබිව් විව්

ලේ නොබිව් විව්

25 March 2021 01:30 pm

විව් කියන කෙටි නමින් හඳුන්වපු විවියන් රිචඩ්ස් කියන දැවැන්තයා 70,80 දශකවල ක්ලයිව් ලොයිඩ් ගේ අපරාජිත කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයෙක්. ඩෙනිස් ලිලී, ජෙෆ් තොම්ප්සන් ආදී අධිවේගී පන්දු යවන්නන් ඉදිරියේ පවා ආරක්ෂක හිස් වැසුමක් නැතිව පිත්ත හසුරුවන්න 'ගටක්' තිබුණු ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රීඩා කරන කාලෙ එක වරක් ක්‍රිකට් ලෝකෙ කට කතාවක් පැතිරුණා විව් සහ නායක ක්ලයිව් ලොයිඩ් අතරෙ ගැටුමක් ඇති වෙලා දෙන්න ඉන්නෙ නොහොඳින් කියල. මේ කාලෙ තමයි දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමට ලක් වෙලා තිබුණ කාලෙ. ඒ කාලෙ ඔවුන් විදෙස් ක්‍රීඩකයන්ට මුදල් ගෙවල තමන්ගේ රටට ගෙන්වාගෙන ක්‍රීඩා කරවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටියා.

එක දවසක් විව්ට අසනීප තත්ත්වයක් නිසා තරගයකට ක්‍රීඩා කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් කතාව ගිහින් තියෙන්නේ ක්ලයිව් ලොයිඩ්, විව්ව කණ්ඩායමෙන් ඉවත් කළා කියලා. ඔන්න කල දුටු කළ වල ඉහගන්න කල්පනා කරපු දකුණු අප්‍රිකාවෙන් විව්ට දුරකථන ඇමතුමක් එනවා. ආරාධනාව මොකද්ද? ඇවිත් සල්ලිවලට දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරන්න කියන එක. නමුත් විව් සිනාමුසු මුහුණින් කෙලින් ම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නෙවෙයි පස්සෙ කලෙක ඔහු මාධ්‍ය හමුවෙ මේ සිද්ධිය අනාවරණය කරල හරි අපූරු ප්‍රකාශයකුත් කරනවා. ඒ ප්‍රකාශය මෙන්න මේකයි.

"ලේ තැවරුණු මුදල් වෙනුවෙන් මම කිසි දිනෙක ක්‍රීඩා කරන්නේ නැහැ !"

ආරක්ෂක හිස් වැසුමක් පැළඳුවෙ නැතත් විව් ක්‍රීඩා පිටියෙදි වගේම ඉන් එළියෙදිත් තමන්ට එල්ල වුණු බවුන්සර් පන්දුවලට කොන්ද කෙලින් තියාගෙන මුහුණ දුන්නෙ එහෙමයි.

 KS