ෆින්ලන්ත සතුට සහ පිංලන්ත අපි

ෆින්ලන්ත සතුට සහ පිංලන්ත අපි

24 March 2021 12:00 pm

ෆින්ලන්තය යනු උතුරු යුරෝපයේ පිහිටි රටකි. බටහිරින් ස්වීඩනයට ද, උතුරින් නෝර්වේට ද, නැගෙනහිරින් රුසියාවට ද, දකුණින් එස්කෝනියාවට ද මායිම් වන එහි අගනුවර හෙල්සින්කි නම් වේ. වර්ග කිලෝමීටර 338424ක් පමණ වන විශාල රටකි. එය වර්ගඵලයෙන් යුරෝපයේ 8 වන විශාලතම රාජ්‍ය බව කියනු ලැබේ.

පිංලන්තය යනු දූපතකි. එය ඉන්දියානු අර්ධද්වීපයට මඳක් පහළට වන්නට පිහිටා ඇත. නිල නාමය ශ්‍රී ලංකාව නම් වුව ද බොහෝ රට වැසියන් එය හඳුන්වන්නේ පුණ්‍ය භූමියක් හෙවත් පිං ලන්තයක් ලෙස ය. නිතර වර නැගෙන වසර 2500කට අධික අභිමානවත් අතීතයක් ද, නූපන් දරුවන් පවා ණයකාරයන් බවට පත් කරන ලද ආශ්චර්යමත් වර්තමානයක් ද එයට හිමි ය.

ෆින්ලන්තය ලෝකයේ ප්‍රීතිමත් ම රට බව මෑතක දී දැනගන්නට ලැබිණ. එක්සත් ජාතීන්ගේ සංගමයේ අනුග්‍රාහකත්වයෙන් පළ කරන World Happiness Report නම් වාර්තාව ඒ බව එළිකර තිබිණ. ඒ අනුව ෆින්ලන්ත වැසියෝ මෙලොව ජීවත් වන ප්‍රීතිමත් ම පුරවැසියන් බවට පත් වෙති.

පිංලන්තය ඒ ලැයිස්තුවේ 20 වන තැන සිටියි. හෝව්, හෝව් පොඩ්ඩක් ඉන්න. හැබැයි එය ලැයිස්තුවේ මුල සිට බලන විට හමුවන 20 වන තැන නොවේ. පිංලන්තය සිටින්නේ ලැයිස්තුවේ අග සිට බලන විට හමුවන 20 වන තැන ය. එනම් සමීක්ෂණය සඳහා යොදාගත් රටවල් 149ක් අතරින් එයට 129 වන තැන හිමි වී තිබේ. නමුත් ඒ ගැන පිංලන්ත වැසියන් සිටින්නේ සතුටින්ද කණගාටුවෙන්ද කියා හරියට ම කියන්නට නොහැකි ය. බොහෝ විට ඒ ගැන කිසිදු තැකීමක් නැතුවා වන්නට ද පුළුවන.

ෆින්ලන්තය ලෝකයේ ප්‍රීතිමත් ම රට වනවා පමණක් නොවේ. එය ලෝකයේ දියුණු ම අධ්‍යාපන පද්ධතිය සහිත රට ද වේ. එහි ළමුන්ට 'ගෙදර වැඩ' නැත. පොත් කඳු ගොඩ ගැසුණු විෂය නිර්දේශ නැත. ළමුන්ගේ පමණක් නොව මව්පියන්ගේ ද ඇඟ කිලිපොළා යන විභාග නැත. ඇත්තේ උසස් පෙළ පන්තිවල ළමුන් සඳහා වසරවසානයේ පවත්වන එක් විභාගයක් පමණි ය. සියලු දෙනාට ම දොස්තරවරු සහ ඉංජිනේරුවන් වීමේ සිහින නැත. ඒ වෙනුවට වයස අවුරුදු 14,15 පමණ වන විට තමන්ගේ දක්ෂතා සහ හැකියා දැන හැඳින තමන්ට අවැසි අනාගත මඟක් තෝරාගැනීමේ නිදහස ළමයින්ට ඇත. ඒ සඳහා නිසි ගමන් මාර්ගය පෙන්වන ගුරුවරුන් සහ අධ්‍යාපන ක්‍රමයක් ඇත. එය නවීන දැනුමෙන් සහ යාවත්කාලීන බවෙන් සන්නද්ධ ය. කොටින් ම ළමයින්ට 'ආතතිය' නැත. 'සතුට' ඇත.

අන්න ඒකට පිංලන්තයේ අධ්‍යාපන ක්‍රමය බලන්නට වටිනවා ය. සති විභාග ය. මාසික විභාග ය. වාර විභාග ය. අවුරුදු විභාග ය. ශිෂ්‍යත්වය ය. සාපෙළ ය. උපෙළ ය. දක්ෂතා නැත්නම් හැකියා මොන කජ්ජ තිබුණත් වැඩක් නැත. ඒ විභාගවලට උපරිම ලකුණු ගන්නට ඕනෑ ය. නැත්නම් ඒ ළමයා මොට්ටයෙකි. ගොං වහන්සේ කෙනෙකි. කොන්ද හතරට පහට නවන පොත් කඳු පිරුණු පාසල් බෑග් ය. විෂය නිර්දේශ ය. වේවැල අතින් ගත් ගුරුවරු ය. දොස්තර - ඉංජිනේරු සිහිනයට පමණක් ළමයි දක්කන මව්පියන් ය. ටයි ගැටයට හිරවුණු ළපටි ගෙල ය. කුරුවල් කෙරෙන මොළ ය. විභාග අසමත් වුවහොත් මරාගෙන කන සනුහරේ ය. ඉතින් එහි ළමයින්ට 'සතුට' නැත. 'ආතතිය' පමණක් ඇත.

ෆින්ලන්තය ලෝකයේ ප්‍රීතිමත් ම රට වීම පුදුමයක් නොවේ. ලෝකයේ බොහෝ දේවල් වෙනස් වන්නේ අධ්‍යාපනයෙනි. අධ්‍යාපනය යනු විභාග සමත්වීම හෝ කට පාඩම් කිරීම පමණක් නොවේ. 90 දශකය මුල සිදුකළ විශිෂ්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රථිපල අද ෆින්ලන්තය භුක්ති විඳිමින් සිටියි. එයට තවත් සමාජ - දේශපාලන - සංස්කෘතික කාරණා එකතු වූ පසු සමස්ත චිත්‍රය මනා පැහැයකින් යුතුව දිදුලයි.

පිං ලන්තයකැයි අප සිතන - කියන ශ්‍රී ලංකාවේ ප්‍රථිපලය ද පුදුමයක් නොවේ. පුදුමය මෙහෙම හෝ දේවල් ඉතිරි වී තිබෙන එක ය. මේ අක්‍රමවත් අධ්‍යාපන රටාවට තව බොහෝ සමාජ - දේශපාලන - සංස්කෘතික - ආගමික කාරණා එකතු වූ පසු මැවෙන්නේ එක ම මඩ ගොහොරුවකි. ඒ මඩ ගොහොරුවේ කර වටක් ගිලුණු පසුව ද පුරවැසියන්ට ඒ ගැන වගේ වගක් නැත. ඉතින් ලබන සැරේ ප්‍රථිපල ගැන ද මේ දැන් ම කල් තියා උපකල්පනය කරන්නට හැකිය.

රටක් වෙනස් කළ හැක්කේ අධ්‍යාපනයෙනි. ඒ නිසි අත්තිවාරම වැටුණු පසු ඉතිරි අවැසි බිත්ති සහ වහළ කදිමට ගොඩනංවා ගැනීම අපහසු කාරණයක් නොවේ. 'ෆින්ලන්ත සතුට' මේ මොහොතේ 'පිංලන්ත අපට' කියා දෙන වැදගත් ම පාඩම එයයි.

- සිහින විමුක්ති රණවීර