පළමුව අපේ හිස සොයා ගනිමු !

පළමුව අපේ හිස සොයා ගනිමු !

8 March 2021 09:40 am

මේ දිනවල අන් සියළු දේට වඩා වැදගත්ව ඇත්තේ හිස පිළිබඳ පැණයයි. පොලිසිය සහ නාවුක හමුදාව හිස සොයා කැළණි ගඟේ කිමිදෙයි. බුත්තල යයි. හංවැල්ල පීරයි. ඒ අතරේ අපේ ජන මාධ්ය කියනා ලියනප්පුලා සහ පත්තර මුදලාලිලා හිසට තිබූ අනියම් සම්බන්ධතා හාරා අවුස්සා බලන නූතන ෂර්ලොක් හෝම්ස්ලා වී සිටිති. විරූපවාහිණී නාළිකාවන්ගේ උනන්දුවද එපරිදිමය. මරා දැමුණ කතගේ හිස සොයා නොගෙන එක මොහොතක් හෝ සිටින්නට බැරි හැඩකි. සෑම දිනක්ම ඇරඹෙන්නේ මේ තීරණාත්මක පැණයෙනි. 'හිස හමුවීද?"

මිනීමරුවාගේ ලියුම අපේ කුප්ප පරිකල්පනය අවදි කරන්නට ඇවැසි ගිනි පුළිඟුව සකසා තිබේ. එහෙයින් සෑම කෙනකුටම උපරිම සදාචාරවාදියෙක්, උපාසකයෙක්, තාපසයෙක් සහ අත්තනඇට හේරත් කෙනෙක් වීමට අධිවේගී මාවතක් කපා දී තිබේ. අපේ දවසේ ප්රශ්ණය වී ඇත්තේ මරලා ගෙල කැපුවේද ගෙල කපලා මැරුවේද යන්නයි. මරු සිරා නමින් පරසිදු සිරිපාලගේ මරණයෙන් පසුව ඇන්ටන් ජෝන්ස් ඇසූ පැණය පරිදිමය. 'එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ?" කාන්තා කලවය සහ ටයරය අතර වාණිජ පාලම් සදනා ඇඩ්වටයිසිං සමාජයකට කාන්තාවට සරම උස්සා පෙන්වීමට ගමන් බෑගයක් හමුව තිබේ. ඇතැම් කාන්තාවෝ පවා ගමන් බෑග විහිළුවට සිනාසෙති. ඇත්ත තමයි ඒයි කියති. 

මෙහි ඇති උත්ප්රාසය වනුයේ කාන්තාවගේ හිස සොයා ඇවිදින්නේද කවන්ධයන්ම වීමයි. හිස අහිමි සමාජයක් වීමයි. එහෙයින් සමාජයක් වශයෙන් අප සියල්ලටම පළමුව සොයාගත යුතුව ඇත්තේ අප විහින් ගලවා වල දැමූ අපේම හිසයි. එය සොයාගන්නා තුරුම අපට සමාජයක් ලෙස කවන්ධ ආත්මයෙන් මිදෙන්නට නොහැකිය. එහෙයින් කාන්තාවගේ හිස සෙවීම පසෙක තබා අපි අපිටම මෙසේ බල කරගනිමු.

පළමුව අපේ හිස සොයා ගනිමු.

- චූලානන්ද සමරනායක