පාස්කු කොමිසම කියන්නේ අතිරේක කාරණයක් අපි දැනටමත් ප්‍රහාරයට සම්බන්ධ 32ක් හඳුනා ගෙන ඉන්නේ - මහජන ආරක්ෂක ඇමති

පාස්කු කොමිසම කියන්නේ අතිරේක කාරණයක් අපි දැනටමත් ප්‍රහාරයට සම්බන්ධ 32ක් හඳුනා ගෙන ඉන්නේ - මහජන ආරක්ෂක ඇමති

6 March 2021 09:01 am

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වලදී කොමිසම යනු අතිරේක දෙයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේය.

කොළඹදී පැවති අමාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලුම විමර්ශන කටයුතු නිම කර ඊට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයින්  32ක්  සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව මනුෂ්‍ය ඝාතන හා කුමන්ත්‍රණ කිරීම යටතේ නඩු පැවරීමට ලිපි ගොනු 08 භාර දී ඇති බවයි වීරසේකර මහතා සඳහන් කළේ. 

මේ වන විට  ඉතා හොඳ ප්‍රබල සාක්ෂි ඇති හෙයින් එම ප්‍රහාරයට සම්බන්ධ සියලුම පුද්ගලයින් අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

මෙහිදී සාරා නමැත්තිය මෙරටින් පැන ගොස් තිබෙනවාද ? සහ එහි නවතම තොරතුරු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසන මාධ්‍යවේදියෙකු විමසීමක් කරන ලදී. 

''සාරා පන ගියාද කියල අපි දන්නේ නැහැ. පැන ගියා කියලා බොරුවට පණිවුඩය යවලා, වෙන තැනක ඉන්නවා ද? නැතිනම් මිය ගියාද? කියන්න දන්නේ නෑ. නමුත් ඒ ගැන පරීක්ෂණ පවත්වමින් තිබෙනවා'' යනුවෙන් සරත් වීරසේකර මහතා ඊට පිළිතුරු ලෙස ලබා දුන්නේය.