58 වසරක පාලිත පෙරේරා මතක

58 වසරක පාලිත පෙරේරා මතක

5 March 2021 11:56 pm

ගුවන් විදුලි ක්‍රිකට් විස්තර ප්‍රකාශය කියන්නෙ වෙනමම අධ්‍යනයක් කරන්න වටින හරි රසවත් කලාපයක්. රූපවාහිනිය ලංකාවෙ ජනප්‍රිය වෙන්න කලින් අපි ලයිව් ක්‍රිකට් අප්ඩේට්ස් ගත්තෙ ගුවන් විදුලියෙන්. ගුවන් විදුලිය කියන්නෙ ශ්‍රව්‍ය මාධ්‍යක්නෙ. ඉතිං ඒකෙන් ක්‍රිකට් නෙවෙයි වෙන මොන දෙයක වුණත් විස්තර ප්‍රකාශයක් කරනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි. ශ්‍රාවකයගෙ ඔලුවෙ දෘශ්‍ය රූප මැවෙන විදියට වැඩේ දෙන්න ඕනෙ. ඒක ක්‍රිකට් පැත්තට කරකවල අරං බැලුවම වැඩේ තවත් අමාරුයි. "ඔව්, දැවැන්ත හයේ පහරක්. අහ්, නෑ, නෑ, උඩ පන්දුව රැකගත්තා. දැවී යාමක්" වර්ගයෙ විස්තර ප්‍රකාශත් අපි රේඩියෝ එකෙන් අහල තියෙනව. ඒ වගේම ඔය විස්තර ප්‍රකාශ අතරෙ ඒ කාලෙ ගිය ඇඩ්වලත් තිබුණෙ වෙනමම රහක් කියල දැන් මතක් කරල බලද්දි හිතෙනව. උදාහරණයක් විදියට මෙහෙම බලමු.

"පන්දු වාර 37ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 191ක් ලබා සිටිනවා. තත්ත්වය එසේ තිබිය දී අපි නැවත ප්‍රධාන පාලක මැදිරිය සමඟ සම්බන්ධ වෙනවා."

නිවේදකයා එහෙම කියපු ගමන් ඇඩ් එක පටන් ගන්නව.

"ආවා... ආවා... ආවා... ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සඳ කුමාරියක් ආවා !"

එතකොටම පසුබිමෙන් සින්දුව ප්ලේ වෙනව.

"සඳ කුමරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ පැතිරෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා..."

"අහවල් ලේබලයෙන් දැන් වෙළඳ පොළේ" කියල ඇඩ් එක ඉවර වෙනව. ආපහු නිවේදකයා වැඩේ අතට ගන්නව. "ඔව් ක්‍රීඩාලෝලී හිතවතුනි, මේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 වන කඩුල්ලත් බිඳ වැටුණා. ඒ අනුව දැන් මුළු ලකුණු පුවරුව..." ඔන්න ඔහොම මාරුවෙන් මාරුවට වැඩේ යනව. ඒක අතුරු කතාවක්. හැබැයි ආතල්නේ !

ඉතිං කොහොම හරි, ඒ දවස්වල රේඩියෝ එකෙන් අපේ කනටම ක්‍රිකට් බෙදපු විස්තර ප්‍රකාශකයො අතරෙ කැපී පෙනුණ දෙන්නෙක් හිටිය. ඒ තමයි පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ. ඒ දෙන්නා අතරිනුත් ජ්‍යෙෂ්ඨයා වෙන්නෙ පාලිත පෙරේරා. පහුගිය මාර්තු 02දට පාලිත පෙරේරාගෙ ක්‍රිකට් විස්තර ප්‍රකාශක දිවියට අවුරුදු 58ක් සම්පූර්ණ වුණා. ඒ බව දැනගන්න ලැබුණෙ එදා ඔහුම සයිබර්ගත කරල තිබුණ පණිවිඩයකින්. ඒකෙ ඔහු මෙන්න මෙහෙම කියල තිබුණ.

"ප්‍රිය හිතවතුනි,

අද මාර්තු මාසේ 02 වැනිදා ! අදට අවුරුදු 58 කට පෙර, එනම් 1963 මාර්තු මාසයේ 02 වැනිදා හා 03 වැනිදා, කොළඹ වනාතමුල්ලේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාමය ක්‍රිකට් තරගයේ ප්‍රථම පන්දුවේ සිට අවසන් පන්දුව තෙක් අඛණ්ඩව සජීව සිංහ⁣ල විස්තර ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකා ගුවන් විදුලි මාධ්‍ය හරහා ක්‍රිකට් විස්තර විචාරය හඳුන්වා දෙන්නට ලැබීමට තරම් භාග්‍යවත් වූවෙමි. ඒ අනුව මගේ ක්‍රිකට් විස්තර ප්‍රකාශ දිවියට අදට අවුරුදු 58ක් පිරෙනවා ! අද මට ඇත්තේ ඒ පිළිබඳ නිරහංකාර සැනසීමක් පමණි. ඒ වූ දිගු ඉතිහාස කාලයක සිට මගේ හඬට සවන් දෙමින් ඔබ යම් සතුටක් වින්දා නම්, ඒ සැමට මම බෙහෙවින්ම කෘතවෙීදී වන බව කියන්නෙමි. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා යැයි ප්‍රාර්ථනා කරමි. ස්තුතියි !

මේ හිතවත්,
පාලිත පෙරේරා"

(උපුටාගැනීම : ආදි නාලන්දීය ජනසන්නිවේදන ඒකකයෙනි)

මේ කෙටි සටහන කියෙව්වට පස්සෙ අපේ පාලිත මතකය අවදි වුණා. ඇත්තටම පාලිත පෙරේරා කියන්නෙ ලංකාවෙ ක්‍රිකට් විස්තර විචාරය ඇතුළෙ සැලකියයුතු සලකුණක් තියපු මිනිහෙක්. එක්තරා පැලැන්තියකට පමණක් සීමාවෙලා තිබුණ ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය ජනතාව අතරට අරගෙන යන්න ඔහුත් ඇතුළු තවත් ගුවන් විදුලි විස්තර ප්‍රකාශකයන් කීප දෙනෙකුගෙන් සෑහෙන්න මැදිහත්වීමක් ලැබුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ වචන සිංහලට පෙරළන්න මුල් පියවර තිව්වෙ කරුණාරත්න අබේසේකර. ඒක තව දුරටත් ඉදිරියට අරගෙන ගියේ පාලිත පෙරේරලා, ප්‍රේමසර ඈපාසිංහලා තමයි. නිපන්දුව, නොඉඳුල් පන්දු වාරය ආදී වචන බිහිවෙලා තියෙන්නෙ එහෙමයි. ඒ කාලෙ සමහරු මේ වැඩේට මේ කට්ටියට හිනාවෙලත් තියෙනව. ඔහොම ගියොත් සිලිපොයින්ට්වලට මෝඩ තැන, ෂෝර්ට්ලෙග්වලට කොට කකුල, ෆයින්ලෙග්වලට හොඳ කකුල කියලත් කියයි කියල. හැබැයි අදටත් ඔවුන් බිහි කරපු එහෙම වචන බොහොමයක් අපි පාවිච්චි කරනව. පාලිත පෙරේරා කියන්නෙ ඒ කටයුත්තෙ පුරෝගාමියෙක්. ගමට ක්‍රිකට් යන්න ඒවායින් බලපෑමක් වුණේ නෑ කියන්න බෑ.

ගුවන් විදුලිය හරහා ඔහුගේ මැදිහත්වීම ඉතාම සුවිශේෂීයි. හැබැයි ඔහු එතැනින් විතරක් නතර වුණේ නැහැ. රූපවාහිනිය ආවට පස්සෙ ඒ හරහාත් තමන්ගෙ වැඩ පෙන්නුව. රූපවාහිනියෙන් ක්‍රිකට් තරගයක් විකාශය වෙන්න කලින් තියෙන, අර සාමාන්‍ය ව්‍යවහාරයෙන් අපි කියන 'ක්‍රිකට් බණ' වැඩසටහන් මෙහෙයවපු පාලිත පෙරේරා දිහා අපි බලන් හිටියෙ හරිම ආසාවෙන්. ඔහුගෙ තියුණු කටහඬ, ආකර්ෂණීය ඉදිරිපත් කිරීම සහ ක්‍රිකට් පිළිබඳ පැතිරුණ දැනුම අපිව විස්මයට පත් කළා.

ඇත්තටම පාලිත පෙරේරා කියන්නෙ හුදු ක්‍රිකට් විස්තර ප්‍රකාශකයෙක් පමණක් නෙවෙයි. ඔහු ක්‍රිකට්වලට විතරක් ලඝු කරන එක ඔහුට කරන අසාධාරණයක්. ඔහු විශිෂ්ට නිවේදකයෙක්, ගුවන් විදුලි ශිල්පියෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් සහ දැනුම් සම්භාරයක්. ඒ වගේම තමන් කරන වැඩේට අවංකවම කැපවෙලා වැඩ කරන මිනිහෙක්. අපිට මතකයි ඔහු වරක් පුවත්පතක සංවාදයකදී කියල තිබුණා සජීවී තරග ප්‍රචාරයක් කරනවා නම් තමා ක්‍රීඩා පිටියටම ගිහින් ඒක කරනවා මිසක් ටීවී එක දිහා බලාගෙන කරන්න නම් කැමැත්තක් නැහැ කියල. එහෙම ආපු අවස්ථා ඔහු ප්‍රතික්ෂේප කළ බවත් සඳහන් කරල තිබුණ. ඒක තමයි ඔහුගෙ කොලිටිය !

අවුරුදු 58ක් කියන්නෙ ලේසි පහසු කාලයක් නෙවෙයි. ඉතිං ඒ සමස්ත කාලය වෙනුවෙන් අපිට කිසි බයක් සැකක් නැතුව කට ඇරල 'බොහොම ස්තුතියි මහත්මයා' කියල පාලිත පෙරේරාට කියන්න පුළුවන්.

- SVR