මේ වසර අවසන් වීමට පෙර රටටම විදුලිය - අගමැතිගෙන් පොරොන්දුවක්

මේ වසර අවසන් වීමට පෙර රටටම විදුලිය - අගමැතිගෙන් පොරොන්දුවක්

5 March 2021 09:00 pm

මේ වසර අවසන් වනවිට මෙරට විදුලිය ලබාදීමේ වැඩපිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෙරවළපිටියේ ඉදිවන ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350 ක් එක්වන මෙම විදුලි බලාගාරයේ පළමු අදියරේ කටයුතු මාස 21 ක් තුළ නිමා කිරීමට නියමිතය. එම අදියරේදී මෙගාවොට් 220 ක්ද තවත් මාස 12 ක් තුළ අවසන් වන මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේදී මෙගාවොට් 130 ක්ද ජාතික විදුලිබල පද්ධතියට එක්වීමට නියමිතය.

වත්මන් රජය බලයට පත්වූ වහාම ගෝලීය කොරෝනා වසංගතයට මුහුණදීමට සිදු වූ බවත් කෙසේ නමුත් ඇතැම් බලවත් හා ධනවත් රටවලටත් වඩා හොඳින් එම වසංගතය කළමනාකරණය කර ගැනීමට සමත් වූ බවත් අගමැතිවරයා පවසනවා. තමා ජනාධිපතිවරයා ලෙස සිදුකළ සංවර්ධන කටයුතු පසුගිය වසර 05 ක කාලය තුළ සම්පූර්ණයෙන් ඇණහිට තිබූ බවත්, කෙසේ නමුත් නැවතත් එම සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

බොහෝ රටවල් අද සංවර්ධනය පිළිබඳ තීන්දු ගන්නේ බලශක්තියට ප්‍රමුඛතාවය ලබාදෙමින් බවත්, ඒ අනුව ඉදිරියේදී මුහුණදීමට සිදුවන ජල අර්බුදය ගැන සලකා බලා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට කටයුතු කළ බවත් අගමැතිවරයා පවසනවා. එදා එම ව්‍යාපෘතිය දියත් කරද්දී විවිධ චෝදනා එල්ල වූ නමුත් අද වනවිට රටේ බහුතරයකට විදුලිය ලබාදීම එම බලාගාරය හරහා සිදුවන බව රාජපක්ෂ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

අපි එතනින් නැවතුණේ නෑ. සුළං බලාගාර, තාප බලාගාර සහ පසුගියදා විවෘත කළ ඝණ අපද්‍රව්‍ය බලාගාරය වගේම සූර්ය ශක්තිය මගින්ද දේශය බලගන්වන වැඩ පිළිවෙල දියත්කළා. ජනතාවට අඩු වියදමින් විදුලිය ලබා දීමටයි අපි මේ හැමදේම කරන්නේ. ‍

ලෝකයේ පවතින ඉහළම තාක්ෂණය යොදාගෙන අද සිට ඉදිවන්නේ මෙගාවොට් 350 ක ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරයයි. මේක මේ රටේ බලශක්ති නිෂ්පාදනයේ යෝධ පිම්මක්.

අපි හැමවිටම ලංකාවේ බලශක්ති නිපදවීම් සඳහා නව ක්‍රමවලට ගියා. ප්‍රථම ගල් අඟුරු බලාගාරය, ප්‍රථම තාප බලාගාරය, ප්‍රථම සුළං බලාගාරය, ඒ විතරක් නෙවෙයි පසුගියදා අපි විවෘත කළේ ප්‍රථම ඝණ අපද්‍රව්‍ය බලාගාරයයි.

මේ වන විට අපි අපේ විදුලිබල පද්ධතිය පෝෂණය කරමින් සිටිනවා. අද මේ බලාගාරය අරඹන්නෙත් ලංකාවේ ප්‍රථම ද්‍රව වායු (LNG) බලාගාරය ලෙසයි. අපි ප්‍රථමයා වුණේ වැඩවලින් මිස කථාවෙන් නොවෙයි. අපේ රජයන් පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්නයි. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකයි අපිට බලය දෙන්නේ.

මේ  බලාගාරය මාස 21 ක් වැනි කාලයක් තුළ පළමු අදියර නිමා කරන බව විදුලිබල අමාත්‍යංශය මා සමග පැවසුවා. පළමු අදියරේදි මෙගා වොට් 220 ක් එමගින් නිපදවීමට අපේක්ෂා කරනවා.

නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ අතිදක්ෂ දේශීය ඉංජිනේරුවන් ගැන විශ්වාසය තියල ඔවුන්ට සම්පූර්ණ වගකීම පැවරුවොත් එය ඉටු කරන්න පුළුවන්. දෙවන අදියර වසරකින් අවසන් කරනවා. දෙවන අදියර මගින් මෙගා වොට් 130 ක් නිපදවීමට අපේක්ෂා කරනවා. ඉදිරි වසර 4 තුළ මෙරට බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණයෙන් සපයන්න අපි කටයුතු කරනවා.

අද කෙරවලපිටියේ ඉදිකිරීම් අරඹන පරිසර හිතකාමී ස්වභාවික ද්‍රව වායු (LNG)  විදුලි බලාගාරය මෙරට විදුලි ඉල්ලුමෙන් 13% ක් සම්පූර්ණ කරනවා. මේක තමයි රටක දියුණුව කියන්නේ. අපි සංවර්ධනයේදී ජාතික ප්‍රමුඛ අවශ්‍යතා හඳුනාගත යුතුයි. එහෙම නැතුව එක එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතා මත ජාතික වැඩපිළිවලක් ගොඩනගන්න බෑ.

අපි රට බාරගෙන කෙටි කාලයකින් විදුලි බලාගාර 03 ක් ජාතියට දායාද කරල ඉවරයි. වැඩ ආරම්භ කරල අතරමග නවතා දමපු, කිසිවක් දේශපාලන පටු පරමාර්ථයෙන් නවත්වන්නේ නෑ. ඒ සියල්ල ඊටත් වඩා හොඳින් කඩිනමින් අවසන් කිරීම අපේ දැක්ම වෙලා තියෙන්නේ. විදුලිබිල අඩු කරමින් ජනතා සහනය ලබාදීමට මේ මගින් හැකි වෙනවා. වේගවත් සංවර්ධනයේ නියමුවා බලශක්තිය බව ලෝකය ඉදිරියේ අද ඔප්පු කරල හමාරයි. අඛණ්ඩ විදුලි සැපයුම රජයක වගකීමක් ලෙස මම දකිනවා.

UN