සිකුරාදා හැන්දෑවක මාර්කෝනිගේ විස්මයට සවන් දෙමි

සිකුරාදා හැන්දෑවක මාර්කෝනිගේ විස්මයට සවන් දෙමි

2 March 2021 01:00 pm

සිකුරාදා හැන්දෑව මොන වගේද? කියන්න තරම් විශේෂයක් නැහැ! සිකුරාදා හැන්දෑවත් සතියෙ අනෙක් දවස් හයේ හැන්දෑවරු වගේම තමයි. උදේට නැගෙනහිරින් පායන ඉර හවසට බස්නාහිරින් බැහැල යනව. ඇත්තටම වෙන්නෙ ඉර එක තැන තියෙද්දි පෘතුවිය ඒ වටේ කැරකෙන එක වුණත් අපි කැමැතියි අරම හිතන්න. ටිකක් අපිට වාසිදායක විදියට! අහසෙ කුරුළු පේළි, පොළොවෙ මිනිස් පේළි. හති දමන ජීවිත. පණ ගැහෙන හීන. කොර ගහන කකුල්. බොර පාට ඇස්. හැම හැන්දෑවකට ම වගේ සිකුරාදා හැන්දෑවටත් පොදු ලක්ෂණ. ඒ වගේ සමහර හැන්දෑවරු ටිකක් අඳුරුයි. තවත් සමහර වරු තරමක් වෛවර්ණයි. මූලික වර්ණ තුන ඇතුළෙ රාමුගත වෙලා වුණත් හැන්දෑවකට පුළුවන් නොයෙක් පැහැ හැඩ ගන්න. ඒ අතරෙ පිටු පනහක සිකුරාදා හැන්දෑවක් තියෙනවා කියල අපි ඔබට යෝජනා කළොත්?

ගීත්මා මදනායක කියන යොවුන් කිවිඳිය 'සිකුරාදා හැන්දෑව' නමින් කවි ගොන්නක් මුද්‍රිත පිටු අතරට රැගෙන ඇවිත්. හිස් පිටු පෙරළෙන - පෙරළන මොහොතක කුමන තත්ත්වයක් යටතෙ හරි ලියැවෙන කවි පිටු කීපයක් අතරෙ සැරිසරන එක ආශ්වාදනීය කටයුත්තක්. ජීවන ලාලසාව දල්වන්නක්. ගීත්මා මෙන්න මෙහෙම ලියනව.

"වෙහෙසකර සැදෑවක
නුඹේ උවනත මැවෙයි
ඒ මතින් හවස් ඉර
රාස්සිගේ පැහැ එවයි
ඒ පැහැය මලානික
පෙම් කතාවක් ගොතයි
කවිය ලෙස ලියැවුණේ
එකී වචනම තමයි
කවි කියන්නෙත් කතාවකටයි
කාගේ හෝ සුව නොවුණ
කැළැල් රැඳි මතකෙටයි"

(මතකයක් - 09 පිටුව)

මේ අන්න අර වගේ හැන්දෑවක්. එහෙම හැන්දෑවක කවි කයක් ගොඩ නැඟෙන්නෙ කොහොමද කියල ඇය අපට පැහැදිලි කරනව. නිරායාසයෙන් කවිය ගොඩ නැඟෙන බව පෙනුණත් එක යෙදුමකින් ඇය කවියෙ වර්ණයට හානි කරගන්නව. ඒ තමයි 'රාස්සිගේ පැහැ' කියන සම්ප්‍රදායික යෙදුම. අපි පරම්පරා ගණනක් ඉර දකින්නෙ රාස්සි විදියට. අපට හිතෙන්නෙ නූතන පරම්පරාව දැන් එතැනින් එහාට අඩියක් තියන්න ඕනෙ. තියෙන දේවල් කඩල බිඳල අලුත් උපමා - රූපක පමණක් නෙවෙයි අලුත් යෙදුම් පවා නිපදවා ගන්න ඕනෙ. එතැන එහෙම වුණත් 'කවි කියන්නෙත් කතාවකටයි, සුව නොවුණ කැළැල් රැඳි මතකෙටයි, මලානික පෙම් කතාවක් ගොතයි' ආදී වදන් භාවිතය ඇතුළෙ ගීත්මා තමන්ගෙ කවීත්වය ප්‍රදර්ශනය කරනව. ඇගේ කවි වර්ණ ඒ වචන අතරින් මතුවෙලා පේනව. මේ කිවිඳිය දකින තවත් හැන්දෑවක්!

"නින්ද දිගු රැයක
මාර්කෝනිගේ විස්මයට
සවන් දෙමි
එහි එන සෝ ගීතයකට
නුඹේ නම අමුණමි
හිතාමතාම මිය ගිය
ප්‍රේමයට වත්කම් කියමි
ප්‍රචාරය වන ගීය
නොගැලපෙන අප කතාවට ගලපමි
හිතලුවකින් රූප රචනක් මවමි..."

(ගී හැන්දෑව - 10 පිටුව)

මේක කිවිඳියගෙ ප්‍රකාශනයෙ ප්‍රභල අවස්ථාවක් විදියට දකින්න පුළුවන්. තමන් ගුවන් විදුලිය අහන බව සෘජුව නොකියා 'මාර්කෝනිගේ විස්මයට සවන් දෙමි' කියන වචන කීපය භාවිතා කිරීම මඟින් ඇය ආරම්භයෙ දී ම ඒ ප්‍රභලත්වය ගොඩ නඟනවා. අන්න ඒ වගේ නවමු භාවිතාවන් තමයි අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු විය යුත්තෙ. තමන්ට ඒක කරන්න පුළුවන් කියල ගීත්මා මේ කවියෙන් අපට අවධාරණය කරනව. මේ තවත් කවියක්!

"විඩාබර ලෝකයම
එකම හුස්මට නිවෙන
බාර්වල පාටිවල
පීඩනය දිය කරන
මහන්සිය වැඩිකමට
අවන්හල් වෙත යනෙන
ෆේවරිට් මූවිස්
ටොරන්ට් බාගත කරන

ඒ වෙනත් අය

ඇසිපියන් පියන විට
උඹව මතකෙට නැඟෙන
ගිය නොගිය ආ පැමිණි
මාවත් හි ඔහෙ සරන
පරණ මෙමරියම යළි
හිත පුරා ශෙයා වෙන
දින දෙකකි එළැඹෙන
මට

සිකුරාදා හැන්දෑව"

(සිකුරාදා හැන්දෑව - 46 පිටුව)

ඒ තමයි පොතට නම දෙන කවිය. සාමාන්‍ය විරහ වේදනාත්මක ප්‍රකාශනයක් ඇතුළෙ වුණත් ඇය යම්කිසි අපූර්වත්වයක් මවනව. ඒ සඳහා ඇය අති නූතන ම වචන පවා කවිය ඇතුළට බය නැතුව අරගෙන එනව. ඒව ස්ථානගත කරනව. ඉතිං අපට පැහැදිලියි තව දුරටත් දියුණු සහ තියුණු කරගත හැකි - කරගත යුතු බුහුටු කවිත්වයක් මේ යොවුන් කාව්‍යක්කාරිය ඇතුළෙ පණ ගැහෙන වග. අනාගතයෙ ඇගේ කාව්‍ය භාවිතය කවිය ඇතුළෙ ඇයට හිමි තැන තීරණය කරයි.

"සඳුන් වනයක
බදින කරදිය මත්ස්‍ය වැන්න
අපේ මේ හමුවීම..."

(අමතකව යනු පිණිස - 39 පිටුව)

- කසුන් සමරතුංග