පුංචි පුංචි සටහන් - විමලනාත් වීරරත්න

පුංචි පුංචි සටහන් - විමලනාත් වීරරත්න

27 February 2021 04:45 pm

සාලිය පීරීස් කුමාරයා

නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරීස් ජයග‍්‍රහණයෙන් පසු තමා, ඡුන්දය දුන් නොදුන් නීතීඥ සංගමයේ සියලූ සාමාජිකයන්ගේ සභාපති බව කීවේය. නිලවරණ කාලයේ සිදුවීම් අමතක කර වැඩ කරමු යනුවෙන් ඔහු කළ ප‍්‍රකාශය තුළින් නායකයකුගේ නියම ලක්ෂණ දිස්වුණි. වත්මන් රජ්‍ය නායකයන් ධුරයට පත්වීමෙන් පසු කීවේ තමා පත්වූයේ සිංහල ඡුන්ද වලින් බවය. එය එසේම වුවත් ඔහු රටේ සියලූ පුරවැසියන්ගේ ජනාධිපති බවට පරිවර්තනය විය යුතුය. ජනපතිට පක්ෂයක් තිබුණත් අධික ලැදියාවත් පෙරදැරිව කටයුතු කිරීමට ගියහොත් සිදුවන්නේ පාර්ශ්වීය නායකයකු වීමටය. රටට අවශ්‍ය දේශපාලනය පුළුල් අරුතකින් අභ්‍යාස කරන නායකයෙකි. එසේ බලන විට සාලිය මතු කළේ දේශපාලන නායකයන් විසින් පෙරදැරි කර ගත යුතු වැදගත් අදහසකි.

2017 කාලයේ යූ.ආර්. ද සිල්වා නීතිඥ සංංගමයේ සභාපතිධුරය දැරූ සමයේ එක් අවස්ථවක ප‍්‍රකාශ කර තිබුණේ උසාවි වල නඩු අතිවිශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බැවින් නඩුවට අදාළ පුද්ගලයන් මෙම විෂය ක්ෂේත‍්‍රය තුළ මහත් පීඩාවනට ලක්වන බවය. එහෙත් ඔහුගේ කාලයේත් ගොඩ ගැසුණු නඩු විමසා අවසන් කරන කඩිනම්, ක‍්‍රමයක් අප දන්නා තරමින් සැකසුනේ නැත. නව සභාපති ලෙස සාලිය ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. එසේම ඔහු අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ කාර්යාලයේ (OMP) ප‍්‍රධානියා ලෙස පත්ව අසීරු කාරයභාරයකට උරදුන් නීතිඥවරයෙකි. වැඩ කිරීම සඳහා අවශ්‍ය දැනුම පමණක් නොව නිර්භීතභාවයත් ඇති පුද්ගලයකු ලෙස සාලිය පීරිස් මහතාට නීතීඥ සංගමය ඔස්සේ සමස්ත නීති ක්ෂේත‍්‍රයටම හා ඉන් පිළිසරණ පතන ජනතාවට ආලෝකයක් විය හැකි විභවයක් ඇත යන්න අපගේ විශ්වාසයයි.

ඉතිහාසයේ එන සාලිය කුමාරයාට රජකම ගැන අවධානයක් නොතිබුණි. ඔහු අවධානය යොමුකළේ ආදරය ගැනය. සාලිය පීරිස් නම්වූ සාලිය කුමාරයාත් තනතුරට වඩා මහජනයා හා විෂය කෙරෙහි ආදරයෙන් කටයුතු කරනු දැකීම අපගේ අපේක්ෂාවය.

තාත්තා කෙනෙක් නැති සමාජයක්

අනුර දිසානායක පාස්කු කොමිසමේ වාර්තාව ගැන වැදගත් මතයක් පළකර තිබුණි. ඔහු කීවේ සිදුවීම වළක්වා නොගැනීමේ වරදට මිස සිද්ධියට වගකිව යුතු වරදකරුවන් ගැන සොයා බැලීමක් කොමිසමේ වාර්තාවෙන් සිදුව නැති බවය. එමෙන්ම තවත් දෙයක් ඔහු කීවේය. එය නම් වඳ පෙති, වෛද්‍යවරුන් මව්වරුන් වඳ කිරීම, කාන්තා ඇඳුම්වල වඳ බෙහෙත් තැවරීම වැනි ප‍්‍රබන්ධයන් කළ පිරිස් ගැන වාර්තාවේ වගේ වගක් නැති බවය. එම දෙවැනි චෝදනාව ඍජුවම රාජපක්ෂ පාර්ශවයට එල්ල වන්නකි. ඉහත ප‍්‍රබන්ධ නිර්මාණය කළ පුද්ගලයන් හා ධාරාවන් තනිකරම මහින්ද රාජපක්ෂකට හා ගෝඨාභය රාජපක්ෂට සේවය කළ පිරිසය. අද පවා බොදුබල නායක හිමියන් කියන්නේ තමන් බලාපොරොත්තු වූ මිනිසා පුටුවේ සිටින බවය. ඒ ජනපති ගෝඨාභය ගැනය. අලූත්ගම, බේරුවල ප‍්‍රහාර මාලාව, දිගන ප‍්‍රහාර මාලාව, අනතුරුව මිනුවන්ගොඩ වැනි ප‍්‍රදේශවලටත් ව්‍යාප්ත වූ මුස්ලිමුන්ට එරෙහි ප‍්‍රහාරවල වගකීම ගන්නේ කවුද?. ඒවාට තනිකරම දේශපාලන ඉලක්ක තිබුණි. ඒවා, ළඟ ඇති වාසිය බලා ගත් තීරණවල ප‍්‍රතිඵල බව පෙනේ. කාදිනල් හිමි ඉල්ලන සාධාරණත්වය නොලැබෙන්නේ ද එහෙයිනි.

ලංකාව යනු පුත, දුර බලන්න ළඟ නොබලන්න යනුවෙන් කීමට තාත්තා කෙනෙක් නැති සමාජයකි. ඒ අනුව ඞී.එස්.සේනානායකගේ සිට බණ්ඩාරනායක දක්වාත් විජේවීරගේ හා ප‍්‍රභාකරන්ගේ සිට මහින්ද ,ගෝඨාභය දක්වාත් සෑම කොනෙකුම වැඩකර තිබෙන්නේ තාත්තෙක් නැති හුදෙකලාවකය. එවිට ඔවුන් කරනු ඇත්තේ තමන්ට තේරෙන ටිකය. හිතෙන දේවල්ය. ඉන්දියාවට නිදහසින් පසු සමාජ සංස්කෘතික දර්ශණයක් දුන් නායකයෙක් සිටියේය. හේ ගාන්ධිය. එම දර්ශනයට නූතනත්වය දී එය හින්දු වර්ධන වේගයෙන් මුදාගෙන නව ආර්ථික දර්ශනයක් ඊට ගැබ් කළ නායකයෙක් සිටියේය. හේ නේරුය. ලංකාව ඒ අතින් දුප්පත්ය. පියෙකු සිටියේද නැත. දුර නොබලා ළඟ බලා තීරණ ගන්නට සිදුවූයේ ඒ නිසාය. අදත් රට මුහුණපා ඇත්තේ දුර නොබැලීමේ එකී ව්‍යසනයට නොවේද?

ඉම්රාන් සහ අර්ජුන

මගේ මතකය අනුව ඉම්රාන් ඛාන් සහ අර්ජුන රණතුංග අතර ක‍්‍රීඩාපිටියේදී ඇතිවූ නොමනාපයක් තිබුණි. මේ දෙදෙනාම අධි අභිමානයක් ඇති මිනිස්සු වෙති. එය ශූර සහ අනම්‍ය ලෙස සටන්කරන නායකයකු වීමට අවශ්‍ය එක්තරා සාධකයකි.

පසුගියදා ඉම්රාන් පාකිස්තානු අග‍්‍රාමාත්‍යවරයා ලෙස ලංකාවේ කළ රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරය අතර තුර පැවති දෙසුමකදී කීවේ අර්ජුන ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ එකමුතුකම ඇතිකළ නායකයා බවය. ඉම්රාන් දැන් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා නොවේ. ඔහු සමස්ත පාකිස්ථානයම දේශපාලන හා සමාජමය වශයෙන් මෙහෙයවන්නාය. ඔහු වසර විසි ගණනක් මහත් කැපවීමක් කර රටේ නායකත්වයට පත්වූවේය. ඒ ගමන අතරතුර ඔහුට ඇතැම් විට ඉස්ලාම් අන්තවාදයට සහාය දුන් බවට ද චෝදනා එල්ල විය. ඉම්රාන් ප‍්‍රධාන වශයෙන් රටේ දුෂණය නැති කිරීම අරමුණු කරගත් බව කියයි. කවර ක‍්‍රමයක් තුළ වුවත් දුෂණය මුළුමනින් නැති කළ නොහැකි මුත් ප‍්‍රතිසංස්කරණ ඔස්සේ දුෂණය අවම කරගැනීමේ ඉඩ ප‍්‍රස්ථා තිබේ.

ඉම්රාන් පාකිස්ථානයේ අගමැතිවූ නිසා අර්ජුනටත් ලංකාවේ අගමැති හෝ ජනපති විය හැකි යැයි අප නොකියමු. එහෙත් අර්ජුනගේ නායකත්වයේ සවිශේෂී ලක්ෂණය සමඟ ඔහුට අදට වඩා ස්වාධීන පුද්ගලයෙකු වන්නට තිබුණි. අර්ජුනට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වැනි තනතුරකින් එහාට ලෝකයක් එක් කලෙක නොතිබුණි. ලොකුවට සිතුවහොත් පමණක් ලොකු අවකාශයක සැරිසරන්නට හැකිය.

ලාකාවේ බිහිවූ විශිෂ්ට ගණයේ විද්වතකු වන සුසිල් සිරිවර්ධන වරක් මා සමග කීවේ ඔහුු උපන් අගලවත්ත ගමේ තිබුණු රබර් යායවල් තමාගේ විශාල සීතිමට උපකාරී වූ බවය. ඒ කෙසේද යත් හැමවිටම දකින මහා උසැති රබර් හේඩාව යට කුඩා පැංචෙකු ලෙස ගමන්බිමන් යනවිට ඔහුට ඒ මහා ගස් තරම් උස යාමට ඇතිවූ කල්පනාව දැනුම් සාගරයෙහි කිමිදෙන්නට උපස්ථම්භක වී තිබේ. එනම් ජයග‍්‍රහණයට වැදගත් වන්නේ පළල් සිතීම බව කිවහැකිය. අර්ජුනටත් ශ‍්‍රීලනීපය හෝ එජාපය වැනි කුඩා ලෝකයක නතර නොවී ඉම්රාන්ගෙන් ඉගෙන ගන්නට තිබුණි. ඒ අගමැති කෙනෙක් වන්නටම නොවේ. ගැඔුරින් සිතා වැඩකරන මිනිසෙකු වන්නටය. මෙම සටහන ලියවෙන්නේම අර්ජුන ක‍්‍රිකට් පිටියේදී ඉම්රාන් හා අසමසම වූ පසුබිමතුළය.