ඉන්දියාවට ලෝඩ්ස්හි දොරටු විවර වෙමින්, තණතිල්ල ගැන ගැටලු ඉතිරි කරමින් දින දෙකෙන් අවසන් වූ ටෙස්ට් තරගය

ඉන්දියාවට ලෝඩ්ස්හි දොරටු විවර වෙමින්, තණතිල්ල ගැන ගැටලු ඉතිරි කරමින් දින දෙකෙන් අවසන් වූ ටෙස්ට් තරගය

26 February 2021 11:14 am

තරග හතරකින් සමන්විත ඉන්දු - එංගලන්ත ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය පෙරේදා (24) ආරම්භ වූයේ නැවත අලුතින් ඉදිකළ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීය. මෙම තරගයේ ප්‍රතිඵලය දෙරටටම තීරණාත්මක වූයේ නවසීලන්තය සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දොරටු විවර වන්නේ කාටද යන ගැටලුවට මෙම තරගය ජයග්‍රහණය අතිශය වැදගත් නිසාය.

ලෝඩ්ස්හි අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් එංගලන්තයට මෙම තරගය අනිවාර්යෙන් ජයගත යුතුව තිබූ අතර ඉන්දියාවට තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීම ප්‍රමාණවත් වී තිබිණි.

පෙරේදා ආරම්භ වූ දින පහක ටෙස්ට් තරගය ඊයේ දිනයේ අවසන් සැසියේදී නිමාවට පත් වූයේ දින දෙකක් තුළ තරගයේ ජය ඉන්දියාවට අත්පත් කර දෙමිනි. එපමණක් නොව ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා ඓතිහාසික ලෝඩ්ස් පිටියේ දොරටු විවර කර දෙමිනි.

මෙම තරගය වාර්තා පොත් අතරට එක් වන්නේ 1935 වසරින් පසුව පැවති ඉතා කෙටිම ටෙස්ට් තරගය ලෙසයි. තරගය අවසන් වීම සඳහා ගතවූයේ පන්දු වාර 140.2 ක් පමණි.

ඉන්දියාව දඟපන්දු යවන්නන් තිදෙනෙකු හා වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සමග තරගයට එක්වෙද්දී එංගලන්තය වේගපන්දු යවන්නන් තිදෙනෙකු හා එක් දඟපන්දු යවන්නෙකු සමග තරගයට එක්වීමට තීරණය කළ අතර එය ඔවුන්ට පරාජය සඳහා දැඩි බලපෑමක් එල්ල කළේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 112 ක් ලබාගත් අතර ඉන්දියාව පළමු ඉනිම සඳහා ලබා ගත්තේ ලකුණු 145 ක් පමණි. එංගලන්තය දෙවැනි ඉනිමේදී ලකුණු 81 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 49 කිසිදු කඩුල්ලක් ලබා නොදී වාර්තා කළ ඉන්දියාව කඩුලු 10 ක ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.

තරගය පරා බිඳවැටුණු කඩුලු 30 න් 28 ක්ම දඟපන්දු යවන්නන් විසින් බිඳහෙළූ අතර විශේෂත්වය වන්නේ එංගලන්ත නායක ජෝ රූට් ද සිය ටෙස්ට් දිවියේ මෙන්ම පළමු පෙළ දිවියේද හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 08 ට කඩුලු 05 ක් දවා ගැනීමයි. තරගය පුරා අක්ෂාර් පටෙල් කඩුලු 11 ක් බිඳහළූ අතර රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 07 ක් බිඳහෙළීය.

තරගය දින දෙකකින් අවසන් වීමත් සමග මෙම තරගය සඳහා භාවිතා කළ තණතීරුව පිළිබඳව විවේචන එල්ල වී තිබෙනවා. ජෝ රූට් තරගය අවසානයේදී ප්‍රකාශ කළේ තණතිල්ල නිවැරදිව අබෝධ කර ගැනීමට අසමත් වීම පරාජයට දැඩි බලපෑමක් එල්ල කළ බවයි. පළමු ඉනිමේදී ලකුණු 250 ක් පමණ ලබා ගැනීමට හැකිවනු ඇත යන්න තම කණ්ඩායමේ විශ්වාසය වූ බවත්, දඟපන්දු යවන්නන්ට මෙතරම් සහායක් ලැබෙනු ඇතැයි විශ්වාස නොකළ බැවින් එක් දඟපන්දු යවන්නෙකු සමග පමණක් ක්‍රීඩා කිරීමට තීරණය කළ බවත් ඔහු පවසා තිබෙනවා.

තරගය නැරඹීම සඳහා 40,000 කට අධික ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමිණ සිටියේ කෝලි, ඇන්ඩර්සන්, බ්‍රෝඩ්, අශ්වින්, ස්ටෝක්ස් දක්වන දක්ෂතා නැරඹීමට වුවද අවසානයේ ඔවුන්ට සිදු වූයේ තමා කඩුලු බිඳදමන ආකාරය නැරඹීමට බවද එංගලන්ත නායකයා පවසා තිබෙනවා.

තණතීරුව සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේද යන්න පිළිබඳව විමර්ශනය කළයුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් බවද ඔහු පවසනවා. තණතිලි සකස් කිරීමේදී සත්කාරක කණ්ඩායමට යම් වාසියක් අත්විය යුතු නමුත් ලොව දක්ෂතම වේගපන්දු යවන්නන් ක්‍රීඩා කරන තරගයක් සඳහා මීට වඩා සාධාරණ තනතීරුවක් ලබා දෙන්නේ නම් එය ක්‍රීඩාව පැත්තෙන් වඩාත් නිවැරදි වියහැකි බව ඔහු අවදාරණය කරනවා.

UN