හුදකලාවේ අමාත්‍ය ....

හුදකලාවේ අමාත්‍ය ....

26 February 2021 09:12 am

ලොව මුල්වරට මිනිස් හුදකලාව ගැන සැළකිලිමත් වීම පිණිස 'හුදකලාව පිළිබද අමාත්‍යවරයෙක්' (Minister of Loneliness) ජපානය නම් කර තිබෙනවා. කෝවිඩ් 19 සමග මතුවී ඇති අතිශයින් දුක්ඛිත මිනිස් ඉරණමක් වන හුදකලාභාවය විසින් දිනෙන් දින මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලිගනිමින් තිබෙන අවස්ථාවකයි ජපන් අගමැතිවරයා මේ තීරණය ගෙන තිබෙන්නේ. 

ජපන් අගමැති යොෂිඩා සුගා විසින් ටෙට්ශුෂි සුකමොටෝ මෙම විෂය පථය සඳහා නම් කරන මොහොත වන විටත් ඔහු ජපානයේ කේන්ද්‍රීය සමාජ ප්‍රශ්නයක් වන අඩු උපත් සංඛ්‍යාව ගැන සොයාබලමින් සිටිනු ලැබ තිබෙනවා. නිසි කළට විවාහ සිදුනොවීම, විවාහය ගැන ඇති සෘණ ආකල්පය, රැකියාවේ ස්වභාවය, මනුෂ්‍ය සම්බන්දතා ගැන ඇති ආකල්පය, අධ්‍යාපනය, විදෙස් ගත වීම, බටහිරකරණය, සමාජයෙන් පසුබෑම (social withdrawal) වැනි කරුණු ගණනාවක් මේ සඳහා ජපානය තුළ බලපා තිබෙනවා. තරුණ මෙන්ම වයස්ගත ජපන් ජනතාව අතරත් මේ හුදකලාව නිසා ඇතිවන විෂාදය සහ ඒ හේතුවෙන් සියදිවි නසාගැනීම ඉතා උග්‍ර අතට හැරෙමින් තිබෙනවා. 

නූතන ජපන් සහ ජපන් සම්භවයක් ඇති ලෝ ප්‍රකට ලේඛකයින් වන කශුවෝ ඉෂිගුරෝ, හිරුයුකි ඉත්සුකි, සයකා මුරාටා මෙන්ම හරුකි මුරකමිගේ කෘතිවල මේ නූතන ජපන් හුදකලාව ගැඹුරින් දක්නට ලැබෙනවා. මෙයින් මිනිස් හුදකලාව ගැන ජපානයේ මෙන්ම ගෝලීයව ද ජනප්‍රිය රචකයෙක් වන හිරුයුකි ඉත්සුකි (Hiroyuki Itsuki) පවසන්නේ හුදකලාව යනු අප නිර්භීත ලෙස වැළඳගත යුතු තත්වයක් බවයි. 

බෞද්ධ පදනමක් සහිතව ලේඛනයේ යෙදෙන ජපානය තුල අතිශයින් ජනප්‍රිය ඉත්සුකිගේ 'තරිකි' (Tricycle) කෘතිය තුල මතුපිට හුදකලා බවට යටින් පවතින මිනිස් සාංදෘෂ්ටික බව ඔහු චිත්‍රණය කරනවා. කාලය ගැන තැකීමක් නොකර ඔබ ගමන් කරන්නේ නම් හුදකලාව යනු අතික්‍රමණය කල හැකි දෙයක් බව ඔහුගේ අදහසයි. ඒ අනුව හුදකලාව යනු 'නූතන' යමක් නොවන බව ඔහු අදහස් කරනවා. නූතන බවට පෙර පටන් මිනිසා හුදකලාව අත්විඳිමින් ඇති අතර බොහෝ විට ඔහුට එය ජයගැනීමට නොහැකි වූ බව ඉත්සුකි පවසනවා.  

ජපන් ප්‍රබන්ධ චරිත අතර හුදකලා, නිර්ලිංගික, ප්‍රතිචාර නොදක්වන, දවසේ වැඩි කාලයක් රැකියාවේ යෙදෙන, නිවසට කොටුවීමට ආශා කරන (hikkikomori) පෞරුෂ බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. ඔවුන් මේ හුදකලාව රෝග ලක්ෂණයක් ලෙස විඳින අවස්ථා කොතෙකුත් දකින්නට පුළුවන්. මෙය එක්තරා 'ගල්ගැසුණු විශාදයක්' ලෙස ඇතැමුන් හඳුන්වනවා (frozen state of depression). 

නමුත් අද වනවිට සමාජ ප්‍රශ්නයක් වී ඇත්තේ මේ හුදකලා සොම්බි චරිත සියදිවි නසා ගැනීමට පෙළඹීමයි. එයිනුත් විශේෂයෙන් ස්ත්‍රීන් තුළ මේ හුදකලා බව සහ සියදිවි නසා ගැනීම ඉතාම ඉහල තත්වයක් ගෙන තිබීම තුල ජපන් රජය මේ ගැන වැඩි සැළකිල්ලක් දැක්වීමට තීරණය කර තිබෙනවා. 

අද කෝවිඩ් නිසා වඩාත් එළිදරව් වන කරුණ වන්නේ කෝවිඩ් වලට වඩා සමාජය දේහය තුළ පැතිරී පවතින හුදකලා බවයි. කෝවිඩ් වලට පෙර යම් තරමකට හෝ මිනිස් ආශ්‍රයක් පැවතියේ නම් එම ආශ්‍රය පවා මෙම වසංගතය නිසා මිනිසාගෙන් දුරස් වීම මෙම නව සියදිවි නසා ගැනීම් වල හේතුවයි. 

හුදකලා බව තුරන් කරගැනීම පිණිස නවීන උපදේශන සේවා (counselling) පැවතියත් කෝවිඩ් තත්වය නිසා ඒවා පවා සිදුවන්නේ ජාලගත ක්‍රමයට වීම නිසා මිනිස් විගලිත බව (alienation) තව තවත් වර්ධනය වීමට හේතුවක්. 

මීට පෙර බ්‍රිතාන්‍යය තුල පවා මෙම මිනිස් හුදකලාව හේතුවෙන් අමාත්‍ය වගකීමක් වෙන් වුවද සෘජුවම 'හුදකලා වසංගතය' (epidemic of loneliness) වෙනුවෙන් අමාත්‍ය ධූරයක් වෙන්වුණේ ජපානය තුළ වීම පෙරදිග අර්ථයෙන් සුවිශේෂ තත්වයක්.    

එන්නත් ගහල කෝවිඩ් ඉවර කර ගත්තත් පැමිණෙන තවත් සකලවිධ වසංගත වලින් නම් අපිට ගැලවිල්ලක් නැහැ කියල වෙලාවකට හිතෙනවා. ඒ කොහොම වුනත් හුදකලාව උත්කර්ෂයට නඟමින් හිරුයුකි මෙහෙම කියනවා, 

''ඔබේ හැඩහුරුකම මා නොදන්නා බැවින්, හැම හැඩහුරුකමකටම මා ආදරය කරමි. හැම හැඩහුරුකමක් විසින්ම මා ඇතුළත පුරවා දමන බැවින් හැම තැනකම ඔබ ජීවත් වනු මට දැනේ. හැම තැනකම ඔබ ජීවත් වන බව මට වැටහෙන බැවින් මා ද හැම තැනකම ජීවත් වේ....'' (හිරුයුකි ඉත්සුකි)

- මහේෂ් හපුගොඩ