කිසිම රටකට වෙලා නැති හිංසාවක් අපිට මේ වෙන්නේ, මා.හි.කොමිසම සැරසෙන්නේ අපිව යුධ අධිකරණයට අරන් යන්න - ප්‍රතිභා මහානාමහේවා

කිසිම රටකට වෙලා නැති හිංසාවක් අපිට මේ වෙන්නේ, මා.හි.කොමිසම සැරසෙන්නේ අපිව යුධ අධිකරණයට අරන් යන්න - ප්‍රතිභා මහානාමහේවා

22 February 2021 08:43 am

අද ජිනීවා හිදී ඇරඹෙන 46 වෙනි මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මත කර ගැනීම වළක්වා ගැනීමට සාමාජික රටවල් 47 සහය ලබා ගැනීම සඳහා රටක් ලෙස ශක්තිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුව ඇති අතර අපගේ පාර්ශවයෙන් යුද්ධයේදී සිදු වූ ද සම්බන්ධයෙන් කීමට බොහෝ දේ ඇති හෙයින් ඒවා නිවැරදි ලෙස සන්නිවේදනය කළ යුතුව ඇති බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා  පැවසුවේය.

ඒ අද (220 කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී ඉදිරි වසර 10ක් සඳහා හෝ ශක්තිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර  සාමාජික රටවල් 47 සහය ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බවයි   ප්‍රතිභා මහානාමහේවා මහතා කියාසිටියේ. 

මේ වන විටත් මානව හිමිකම් කොමිසමේ හැසිරීම තේරුම් ගත හැකි අතර  මහ කොමසාරිස්වරියගේ වාර්තාව පදනම් කරගෙන සම අනුග්‍රහය දක්වන රටවල් 06 එකතු වී තවත් වාර්තාවක් මානව හිමිකම කොමසාරිස් කාර්යාලයේ ලේකම් කාර්යාලය වෙත භාර  දීමට නියමිත හෙයින් මේ  සැරසෙන්නේ ශ්‍රී ලංකාව තුළ යුධ අපරාධ සිදුව ඇති බවට තහවුරු කිරීමට යැයි හෙතෙම සඳහන් කරන ලදී. 

එම නිසා ශ්‍රී ලංකාවේ පාර්ශවයන්ද ශක්තිමත් බලපෑමක් සිදුකළ යුතු බවත් විශේෂයෙන් මෙහිදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ රට සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිටිය යුතු බවයි ඔහු අවධාරණය කළේ. 

අපගේ රණ විරුවන් වෙනුවෙන් හඬ නැගිය යුතු වන අතර රණ විරුවන් බේරා ගැනීමට සියලුම දෙනා එකහෙළා කතා කළ යුතු බව ඔහු සඳහන් කළේය. 

ජිනීවා මානව හිමිකම් කොමිසමත් ඊට සහය දක්වන බටහිර රටවල් සූදානම් වන්නේ ශ්‍රී ලංකාව තුළ යුධ අපරාධ සිදුව ඇති බවත් එමඟින් ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවට අපව රැගෙන යාම බවත් මහානාමහේවා මහතා පෙන්වාදුන්නේය. 

''යුද්ධය අවසන් වෙලා වසර 12ක් තිස්සේ දැන් මේ ප්‍රශ්නය ඇදගෙන ඇවිත් තියෙනවා. 13 වැනි වසරටත් මෙය රැගෙන යනවා වෙනුවට එය පරාජය කිරීමට සියලු දෙනා  එකතු වීම වැදගත්. ලංකාවේ තත්ත්වය ගැන හොද පොතක් තියනවා LTTE එකේ තමිලිනී ලියපු. ඒ පොතේ තියෙනවා ඇත්ත තත්ත්වය.
කේ.පී. ඉන්නවා. ඔහුගෙන්  අහන්න පුළුවන් සිද්ධ වුණු දේවල්. ඒවගේම තමයි දේශප්‍රේමී සංවිධාන රැසක් ශ්‍රී ලංකාව අගය කරලා වාර්තා යවල තිබුණත් ඔවුන් ඒවා ගණන් ගන්නෙවත් නැහැ. ලෝකයේ කිසිම රටකට වෙලා නැති හිංසාවක් අපිට මේ වෙන්නේ. බටහිර රටවල් සම්පූර්ණ අසත්‍ය තොරතුරු දෙන්නේ.ත්‍රස්තවාදයට තිත තිබ්බ කුඩාම සහ ලෝකයේ එකම රට අපි. එම නිසා අපි සම්බන්ධයෙන් විදේශ රටවලට විවිධ න්‍යාය පත්‍ර තිබෙනවා. එක පැත්තකින් අපිව දැන් ඉන්දියාවත් හිරකරමින් සිටිනවා. තවත් දෙයක් තමයි ලංකාවේ පිහිටීම. විදෙස් රටවල් ලංකාව ගැන ඇහැ ගහගෙන ඉන්නේ. ප්‍රශ්න තියෙන, කැරලි තියෙන රටක් බවට පත්කරන්නයි ඔවුන්ට වුවමනාව. ඒ නිසා අපේ පැත්තෙන් අපි හරියට තොරතුරු සන්න්නිවේදනය කරන්න ඕනේ. මේක හරියට ජන්දයක් වගේ. අපි සමත් වෙන්න ඕනේ රටවල් 47සහය ගන්න. ඇතැම් රටවල් දැනටමත් අපිට සහය දක්වලා තිබෙනවා.''

මෙහිදී අපගේ විදේශ කටයුතු අමාත්‍යාංශයට විශාල වගකීමක් පැවරෙන අතර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් හි තානාපතිවරු වෙන වෙනම හමු වී මේ ගැන දැනුවත් කිරීම වැදගත් බවත් නමුත් අපගේ පාර්ශවයෙන් නිවැරදිව තොරතුරු සන්නිවේදනය නොවන බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. 

ජිනීවා මානව හිමිකම් කොමිසම විශ්වාස කරමින්  ඉන්නේ දෙමළ ඩයස්පෝරාව වැනි රාජ්‍ය නොවන සංවිධාන පවසන දේවල් වන හෙයින් එය පරාජය කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට විශාල වැඩකොටසක් ඇති බව ඔහු පෙන්වාදුන්නේය. 

මේ ප්‍රශ්නය රට වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය කරේ තියාගෙන යා යුතු වුවත් අප වෙනුවෙන් එය කරමින් හිඳින්නේ චීනය හා කියුබාව බවද හෙතෙම වැඩිදුරටත් පවසන ලදි.

ASK