දුප්පත් නිසා කන්දට හිමි නැහැ පාද !

දුප්පත් නිසා කන්දට හිමි නැහැ පාද !

10 February 2021 12:33 pm

ඉලක්ෂ ජයවර්ධන ගමේ සිට කොළඹ පැමිණියෙකි. අප බොහෝ දෙනෙකු එබඳු ය. දැන් අගනුවර මුල් ඇදගෙන සිටින බොහෝ මිනිස් ගස් - වැල්වල මූලික බීජ  ඉතිහාසය, ගමේ සිට සමාජ - දේශපාලන - ආර්ථික සුළඟින් මේ ගෙන්දගං පොළොව වෙත ගසාගෙන ආ කතාන්දරවලින් සුසැදි ය. එසේ පැමිණෙන බොහෝ මානවයෝ බෙල්ල සුදු කොළඹ කාක්කන් ගැවසෙන මේ කුඩා බිම්කඩේ ජීවත්වීම සඳහා විවිධ අරගලවල නිරත වෙති. ඉන් බොහෝ අරගල භෞතික ය. තව ටිකක් ඉගෙනගන්න, රස්සාවක් හොයාගන්න, ලැබුණු රස්සාවෙන් ඉහළට යන්න, ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, පොඩි කාර් එකක් මිලට ගන්න, දරුවන් පාසැලකට දමන්න ආදී ලෙස තමා සහ අනෙකා සමඟ කරන භෞතික අරගල අටෝරාසියකි. ඒ අතරතුර තවත් සමහරු අධ්‍යාත්මික අරගලවල නිරත වෙති. එන්න උවමනාවට ආවාට ඔවුන්ට ගම අමතක කළ නොහැකි ය. සිහිනෙනුත් පෙනෙන්නේ පුංචි කාලෙ කුඹුරෙ - ඇලේ - දොළේ සෙල්ලම් කළ ආකාරය ය. අතීතකාමී මතක ය. නිවාඩුවක් ලද විගස ගමට ය. ඉලක්ෂ ජයවර්ධන නම් මානවයාට ද අඩු - වැඩි වශයෙන් මේ අරගල පොදු ය.

කවුරු කොහොම මොන විදියට අරගලය කළත් බොහෝ විට අවසාන ප්‍රතිඵලය සංතෘප්තියට වඩා අතෘප්තියට බර වෙයි. කොළඹ වීදි දිගේ වරුවක් සංචාරය කළහොත් ඔබට ඒ කතාව ඔප්පු කරන්නට උවමනා නිදර්ශන උවමනාවටත් වඩා සොයාගන්නට අපහසු නැත. අන්න ඒ අතෘප්තිය - නැතිනම් ඇතැම් විට සංතෘප්තිය - මෝචනය කර ගැනීමට මිනිස්සු විවිධ දේ කරති. මුඩුක්කුවක සිට පාර්ලිමේන්තුව දක්වා නොයෙක් පරාසවල සැරිසරති. බොහෝ මංවල ඇවිදිති. එවැනි කොළොම්පුර කතන්දර බොහොමයකි. එවැන්නන් බහුතරයක් අතර අර ඉලක්ෂ ජයවර්ධන නම් තරුණයා සිය හැගීම් මුදාහැරීමේ සාහිත්‍යමය සොරොව්ව ලෙස කවිය තෝරාගෙන තිබේ. 'කඩා වැටෙනා තරුවක්' නමින් ඔහු එකී හැගීම් ප්‍රවාහය මුද්‍රිත පත් අතරට රැගෙන විත් සිටියි. ඒ අනූව ගමේ සිට නගරයට පැමිණි ඉලක්ෂ ගේ භෞතික සහ අධ්‍යාත්මික අරගලයෙහි ඇතැම් ප්‍රතිඵල දැන් පෙරළිය හැකි පිටු ලෙසින් අප ඉදිරියේ ඇත. අප කළ යුත්තේ සීරුවෙන් ඒ පිටු තෝරා බේරා ගැනීමයි.

"ගල් තලාවට මෙහා පුංචි කඳු පේළියේ
පහළ වෙල් යාය මැද මල් පිපුණ වීදියේ
එහා කෙළවර තිබුණ පාසලේ බිත්තියේ
අපි දෙන්න කොටපු නම් තියෙනවද බිත්තියේ...

...මළ හිරුත් ඉකිගසන සොවින් වැලි මාවතේ
අන්තිමට නුඹ දුටුවෙ ඇඳන් මල් චීත්තේ
එදා ටවුමට ගිහින් හොයාගත් මීවිතේ
හිස් වෙච්ච තැන් තාම එහෙමමයි ජීවිතේ"

(ඇත්තමයි කොතැනහරි වැරදිලා තියෙනවා - 11 පිටුව)

අප ඉහතින් සඳහන් කළ කාරණය මේ කවි උපුටනය හරහා පැහැදිලි කරගත හැකිය. ඉලක්ෂ මේ කවිය අවසන් කරන්නේ සම්ප්‍රදායික දේව්දාස්මය ප්‍රකාශයකින් බව ඇත්තකි. නමුත් ගම ගැන අතීත කාමයත්, කවියා දැන් මුහුණ දෙන නාගරික අතෘප්තකරභාවයත් මේ කවිය තුළ මනා ලෙස ගැබ්වී තිබේ. මල් චීත්තය සහ මීවිත යන එකිනෙකට තරමක් දුරස් වචන දෙක එකට ඝට්ටනය කිරීම මඟින් ඔහු මවන මිහිර අපූරු ය. 'කඩා වැටෙනා තරුවක්' හි බොහෝ අක්ෂර අතර අන්තර්ගත ගුණය මෙයයි. මේ ඒ සඳහා තවත් එක නිදර්ශනයකි.

"...සැන්දෑ අහස පිළියෙල කළ ප්‍රිය සාද
මං බෑ කියා කොපමණ මඟ හැරියාද
දන්නෑ වගේ මිහිදුම වහපන් දෑස
දුප්පත් නිසා කන්දට හිමි නැහැ පාද..."

(දායාද - 17 පිටුව)

මේ කවිය පළමු උපුටනයට වඩා කාව්‍යාත්මක අතින් ද සෑහෙන්න තරම් ඉදිරියෙන් ස්ථානගත වෙයි. කවියක තාක්ෂණයත්, ලාලිත්‍යත් කදිමට එකට මුහු කරන්නට ඉලක්ෂ මෙතැන දී වග බලා ගනියි. එවිට ඔහුට පිට දමන්නට ඇති හැගුම් සමුදාය එළියට පතිත වන්නේ වඩා සියුම්ව සහ සීරුවෙනි. ඒ සියල්ල සිදුවන්නේ අර ගමට ද අහිමි, නගරය ද හිමි නැතැයි සිතෙන තරුණයා ගේ ජීවන විලාසය අප ඉදිරියේ කාව්‍යාත්මක චිත්‍රයක් සේ පින්තාරු කරමිනි. මේ එකී චිත්‍රයේ තවත් පින්සල් පහරවල් දෙකකි.

"පොලොස් ගෙඩියක් ඔතා කිරි එරුණ කඩදහියෙ
ඉරුණු පන් මල්ලෙ ඇති ලුණු එක්ක යට අඩියෙ
පුතේ කාපන් ඒක තම්බගෙන පොඩි හැළියෙ
කියූ හැටි තාත්තා අද ඇහුණ හිමිදිරියෙ..."

(කොළඹටත් හොඳටෝම වහිනවා - 49 පිටුව)

"ඉඳහිට තුටින් මා ගම පිය නඟන දින
මහවැව ඉවුරෙ වංගුව පසු කරන තැන
නොසිඳෙන පිපාසාවකි මට දැනෙන විට
ආයෙත් හැරෙමි විමසමි ඔබ සිටිනවාද..."

(පාර මතකයි ගමට යන්නට - 64 පිටුව)

අනාගතය සඳහා බලාපොරොත්තු තබාගත හැකි කවියෙක් මේ අකුරු අතර හිඳ අපට ආමන්ත්‍රණය කරන බව පැහැදිලි ය. ඒ ආමන්ත්‍රණය වඩාත් තියුණු කරවනු වස් අප ඉලක්ෂට මෙසේ ද කියමු. ඔහු මූලික වශයෙන් සයිබර් අවකාශය වැඩ බිම කරගෙන බිහිවූ කවියෙකි. සයිබරයට අප කවියක් යොමු කරන්නේ දින කීපයකට නැතිනම් ඇතැම් විට සති කීපයකට වතාවකි. එවිට ඒ නිර්මාණ වෙන වෙනම ගෙන රස විඳින්නට කියවන්නෙකුට අවස්ථාව ලැබෙයි. නමුත් ඒ සියල්ල පොතක් ලෙස එකට කැටි කරගෙන කියවද්දී ඇතැම් තැන්වල ඒකාකාරී බවක් දැනෙයි. ඉලක්ෂ ගේ පොතට ද අදාළ එය පොදුවේ සයිබර ලියන්නන් වෙත බලපාන තත්ත්වයක් වග පෙනෙන්නට තිබෙයි. එසේම ඇතැම්හු ඉල්ලුමට සැපයීම ලබා දෙන්නට ගොස් සිය රිද්මය අහිමි කර ගනිති. මෙබඳු පොදු ගැටළු ගැන ඉලක්ෂ ජයවර්ධන ගේ පුද්ගලික අවධානය යොමුවීම ඔහුගේ අනාගත කාව්‍ය භාවිතයට වැදගත් වනවා ඇත.

"නියං කාලෙට හිඳෙන වැව ළඟ
නෙළුම් මල් නොපිපුණත් තනියට
අන්න එතැනයි මම උපන් තැන
ඔබත් උදයක ඇවිත් යනු මැන..."

(ඔබ සොයන තැන - 67 පිටුව)

- කසුන් සමරතුංග