මොරාල් එක !

මොරාල් එක !

24 January 2021 02:00 pm

ලංකාවෙ කොල්ලො හාරසීයකට කිට්ටු වෙන්ඩ ගහලාය. මැතිව්ස් සෙන්චරියක් දමලාය. මේක නං මොකක් හරි වෙන්ඩ පුළුවන් බව ඊයේ යාළුවෙක්ගේ තාත්තා කිව්වේය . හෙට පොඩි උන් ටීවී එකෙන් එහෙ මෙහෙ වෙත්දී මැච් එකට හොට දාන්නට ඕනෑය. ඩයලොග් එවුන් මේ පාර ඕක මොකේ පෙන්නනවාද දන්නේ නැත. අවුරුදු ගාණකින් 99 ගානේ ගෙවා ඇක්ටිව් කරගත් චැනල් වල ඕක යන්නේ නැත්තං චැනල් අයිවලට දමා (ඒකෙද දන්නෙත් නෑ වෙන එකකද දන්නෙත් නෑ) ඒකේ සුදු තිරයේ දිස්වන අංකය මතක තියාගෙන ආයෙත් 99 ක් ගෙවා අහවල් ඉස්පෝට් චැනල් එක සක්කිරීය කරගෙන පොඩ්ඩක් හොට දමා බලන්නට ඕනෑය.

අසූව දශකයේ ඉපදුන පරම්පරාවේ කොල්ලන් වූ අපි අමුම අමු ක්‍රිකට් පිස්සෝ වීමු. ඉස්කෝලේ තාප්පෙන් පැන මැච් බැලීමට ගිය, පොකට් රේඩියෝ කනේ තබාගෙන පාරේ ඉන්නා කොල්ලන්ගෙන් ස්කෝ එක ඇසූ, සිංගර් ප්‍රදර්ශනාගාර වල ටීවී වලින් යන එන ගමන් මැච් බැලූ, ඒවාද නැත්නම් පාරට පෙනෙන්නට පාර අයිනේ ගෙදරක සාලයක තිබූ ටීවී එකෙන් හෝ මැච් එක බැලූ , චොකලට් එකේ ක්‍රිකටර්ස්ලාගේ ස්ටිකර් එකතු කළ ක්‍රිකට් උන්මාදයෙන් පිරි යුගයක කොළු කාලය ගෙවූ අපි පත්තරය විකිණෙන්නට නම් එහි අතිරේකය තුළටක්‍රිකට් ක්‍රීඩකයකුගේ පෝස්ටරයක් දැමියයුතු අවධියක ජීවත් වීමු. පාසලේ උප විදුහල්පති වරයා ගේ ක්‍රිකට් ලෝලීත්වය නිසා ඔහුගේ කාමරයේ ටීවී එකෙන් මැච් එක බැලීමට ඉන්ටවල් එකට එතැන පොදිගැසෙනා මතකයන් අපට තිබුණේය. ඉංගිරීසි අකුරක් බැරි නමුදු ගුවන්විදුලි විස්තර විචාරයේ සියල්ල තේරුම් ගෙන 'අන්න අරූ හයක් ගැහුවා, අන්න ඒ පාර කෙළවුනා, අවුට්' ලෙසින් ප්‍රති විස්තර විචාරයක් දෙන තරමේ දැනුමක් ඇතිවන මට්ටමට ක්‍රිකට් පිස්සුවක් අපේ සීයාටද තිබුනේය. ටීවී එකෙන් මැච් එක බලත්දී ත්‍රිල් එක මදි නිසා රේඩියෝ එකේ කමෙන්ට්‍රියද දමාගැනීමේ ගැම්මක් තිබූ කාලයක් අපට තිබුණේය. ටීවී රේඩියෝවල සද්දය වැඩි වී හයක් හතරක් විකට් එකක් යන බව දැනගෙන හොද්ද හැඳිගාමින් සිට පොල් කටු හැන්දද අතේ රැගෙන රී ප්ලේ එක බලන්නට සාලයට වඩිනා අම්මලා අපට සිටියේය.  මේ කිසිවක් බොරු නොවන වග අපේ පරම්පරාවේ එවුන් දන්නවාය. කොටිම්ම ඒ කාලයේ ක්‍රිකට් බැලුවේ/ ඇහුවේ නැත්තේ ගෙදර ඉන්න බල්ලා පමණක් බව සැබෑය.

ඒ කාලේ ක්‍රිකට් ගහපු එවුනුත් එසේමයැ. ඕපනර්ලා නොගැසුවොත් වන්ඩවුන් ඇදගෙන යන වග අපි දන්නවාය. කීපයක්ම ෆේල් උනොත් උපුල් චන්දන, ධර්මසේන හෝ ෆෝම් වන බව අපි දන්නවාය.සනත්ලා අරවින්දලා විකට් එකේ ඉන්නා මිනිත්තුවක් ගාණේ ස්කෝ බෝඩ් එක බඹර චක්කරයක් මෙන් කැරකෙන බව අපි දන්නවාය . වාස්ගේ පලවෙනි ඕවරයේ දෙකේ එකෙක්ගේ දෙන්නෙක්ගේ පොලු ගැලවෙන බව අපි දන්නවාය. කොටින්ම ප්‍රතිවාදියාගේ බැට් එකේ වැදී බෝලය උඩ යන විටම එය අල්ලන්නට එකෙක් ඉන්නා බව අපි දන්නවා ය. ඒක හයක් වූවොත් ඕකා උඩ ගහනව කියන්නෙ තව බෝලෙකින් දෙකකින් ගෙඩිය අහු වෙන බව දේව භාෂිතයක් මෙන් අපට ශුවර්ය.

කාලය එන්න එන්නම වෙනස් වත්දී අපි සාත්තර කාරයෝ, කටවහ කාරයෝ බවට අපි අපවම පත්කර ගත්තෙමු. මුන්ගේ නොහැකියාවන්ට අපිම හූණියමක් ලෙසින් සලකන්නට ගත්තෙමු. අපේ එවුන් බැට් කරනාවිට 'මං බැලුවොත් විකට් යනවා' කියා මැච් හොරෙන් බලන්නට පටන් ගත්තෙමු. අපේ එවුන්ට අම්බානක වදින විට ටීවී එක නොපෙනෙන මානයේ සිට හොරෙන් සද්දය අසාගෙන සිට විකට් එකක් ගිය බව ඇසුනු විට රී ප්ලේ එක බලන්නට ගතිමු. කොටිම්ම අපි 'රී ප්ලේකාරයන්' වීමු. සමරිකාරයන් වීමු. මුන්ගේ නොහැකියාව අපේ වරදක් කොටගනිමින් අපි කටවහකාරයන්, වස්තිකාරයන් වීමට ගතිමු. එසේම ටික කලකින් ඉක්බිති එයද නවතා දමා සීරීස් එකක මැච් එකක් දිනාගෙන එන විට 'පරණ අහවල් තැන අමාරුව' නිසාවට එබිකම් කර බැලීමට පුරුදු වීමු.

තමන්ගේ එකාගේ අගයන්නට දෙයක් නොමැති කල අපි මැදහත් රසිකයෝ වීමු. කොටිම්ම දැන් අපි ඉන්ටනැෂනල් රසිකයෝ වෙමු. එපේ උන් අගයන්නට දෙයක් නැති කල වෙන රටක එකෙක්ගේවත් බැටින් බෝලිං බලනවා ඇරෙන්නට අහවල් දෙයක් කොරන්නද ? අයිපීඑල්, ඒපීඑල්, මේපීඑල් එකක මිසක් මුන්ගේ මොක බලන්නද ? මැච් එකක් දිනූ පසු බඩු මිල වැඩි කරන, මැච් එක දාට කොටි කෑම්ප් එකකට හෝ ඩිෆෙන්ස් ලයින් එකකට ගහන මට්ටමක ක්‍රිකට් උන්මාදයක් තිබු රටක ක්‍රිකට් වලට අද සිදුව ඇති විපත.

අද අපේ ඉන්නෙ ක්‍රිකට් ෆෑන්ස්ලා නොවේය.  සියල්ලෝ විචාරකයෝය. තේරීම් කමිටුවල සභාපතිකම්වලට සුදුස්සෝය. ඒ මට්ටමට අදාල සැබෑ තනතුරුවල එවුං උන්ගේ ඩියුටිය කරනවාය. අද ලංකාවේ ක්‍රිකට් රසිකත්වය කියන්නෙ ක්‍රිකට් ගහන එවුන්ට බණින එකටය. උන්ගේ ඇදේ හොයන එකටය. ඒ තරමටම ක්‍රිකටර්ලා උන්ගෙ ඩියුටිය කොරනවාය. ක්‍රිකට් ගහනවා ඇරෙන්නට උන් අනිත් හැම එකම කොරනවාය. ඒ කාලයේද ඕවා තිබුනේය. අරවින්දලා ජයසූරියලාගේ ඒ පන්නයේ හරඹ කිසිවකු ප්‍රශ්න කලේ නැත. මොකද කිවහොත් උන් ක්‍රිකට් හරියට ගැහුවෝය.

රටක් ජාතියක් වශයෙන් ඉදිරියට යන්නට මොරාල් එකක් අවශ්‍යය. ඒ මොරාල් එකට ඕනෑම දෙයක් සිදු කල හැකි බව ඉතිහාසයද පෙන්වා දී ඇත. ක්‍රීඩාව යනු ඒ මොරාල් එක අප් කරනා ඛාණ්ඩයේ පෙරමුණේ සිටින්නක් ය. නෙල්සන් මැන්ඩේලා ජනපති වූ පසු රග්බි ක්‍රීඩාව හරහා රටේ කළු සුදු එකමුතුව ඇති කලේ ය. අපටත් ක්‍රිකට් එවන් මොරාල් සපයන කාරණාවක් වී තිබුණේය. ඊට පස්සේ යුද්ධය දින්නට පසු අපිට හමුදා මොරාල් එක ආවේය. ඒ මොරාල් එක රාජපක්ෂ මොරාල් එක බවට පෙරළුනේය. ඊටත් පසු කාලීනව ගෝඨා මොරාල් එක ආවේය . කොටිම්ම මරණ දැන්වීමක් ගහගන්නට බෝක්කුවක ඉඩක් තිබුණේ නැත. ඒ තරමටම ඒවායෙ චිත්‍ර ඇන්දේ අර මොරාල් එක නිසාය. දැන් කිසි මොරාල් එකක් නැත. පවිතරාට කොවිඩ් හැදුනාට පසු ධම්මික පැණි මොරාල් එකටද කෙළවිලාම ගියේය. කිරිකට් මොරාල් එක තවමත් අපි හැම එකාගේම ඇතුලෙන් තිබෙනවාය. හාවා හඳ දකින්නැහේ මොකෙක් හෝ හිපාටුවෙක් සෙන්චරියක් දාපු දාට අවදි වන්නේ මේ ඒකය. හරියට මේ කිරිකට් මෙව්වා එක පරිපාලනය හරියට සිදු කොට හරිහමන් ටීම් එකක් ගස්සවා හැමදාම මැච් දිනන මට්ටමට ගෙනාවොත් ජනතාවගේ මොරාල් නැග්ගවිය හැක. ඊට පසු ඕනෑ නම් බඩු මිල වැඩි කල හැකිය. නැගෙනහිර බැරිනං බටහිර පරියන්තය විකිණුවත් අපේ උන් ඉන්නේ මොරාල් එකෙන්ය. මික් කියන්නේ නැත. මේවා ගැන මහ එවුන්ට උපදෙස් දෙන්නට වත් එකෙක් නැති හැටි පුදුමය.

 - සජිත් නලින්ද රණසිංහ