ක්‍රිකට් ක්‍රීඩකයන් 08 ක් යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

ක්‍රිකට් ක්‍රීඩකයන් 08 ක් යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

21 January 2021 01:24 pm

පසුගියදා කොළඹදී පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනෙකු අසමත් වී ඇති බව දි අයිලයින්ඩ් පුවත්පත වාර්තා කරනවා. මෙම අට දෙනාගෙන් බහුතරයක් තරුණ ක්‍රීඩකයන් බවත් ජාතික කණ්ඩායමේ ස්ථිර සමාජිකයන් බවත් වාර්තා වේ.

ඉදිරියේදී දියත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් මෙම යෝග්‍යතා පරීක්ෂණය පවත්වා තිබෙනවා.

අසමත් වූ ක්‍රීඩකයන්ට අවසන් නිවේදන නිකුත් කර ඇති අතර ඔවුන්ට ලබන පෙබරවාරි 03 වැනිදා පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම අනිවාර්ය වේ. එම පරීක්ෂණයෙන්ද අසමත් වන ක්‍රීඩකයන්ට බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වනු ඇත.

කොදෙව් සංචාරයට ටෙස්ට් තරග 02 , එක්දින තරග 03 ක් සහ T20 තරග 03 ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව පසුගිය වසර කිහිපය පුරාම ගැටලු මතු වූ අතර ක්‍රීඩකයන් රැසක් නිරන්තරයෙන් ආබාධවලට ලක්විය. ටෙස්ට් තරග දෙකකින් සමන්විත පසුගිය පසුගිය දකුණු සංචාරය තුලදී ක්‍රීඩකයන් 10 කට ආසන්න පිරිසක් ආබාධවලට ලක් වූ අතර මෙය එම තරගාවලිය පරාජය වීමට ප්‍රබල බලපෑමක් එල්ල කළේය.

UN