සිගරට් ගන්න DS ට ලංකා බැංකුව ණය දෙන්නේ රට වටේම බැංකුවලට පොලු තබා තිබියදී!

සිගරට් ගන්න DS ට ලංකා බැංකුව ණය දෙන්නේ රට වටේම බැංකුවලට පොලු තබා තිබියදී!

20 January 2021 06:08 pm

අයවැයෙන් සිගරට් මිල වැඩිවෙතැයි යන බලාපොරොත්තුවෙන් එම වැඩි වන මිලේ වාසිය ලබා ගැනීමට සිගරට් තොග රැස්කිරීම සඳහා ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට ලංකා බැංකුව විසින් රු.මිලියන 2100 ක ණයක් ලබා දී ඇත්තේ රට වටේම තිබෙන බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය ගෙවීම පැහැර  හැර ඇති පසුබිමක බව වාර්තා වෙයි. 

අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ ඩී.එස් ගුණසේකර පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස සමගම මැදුරේ ලියාපදිංචි මෙම සමාගම බැංකු සහ බැංකු නොවන මුල්‍ය ආයතන වලින් ණය පහසුකම් 251ක් ලබාගෙන ඇති අතර එය රුපියල් වලින් දැක්වෙන්නේ බිලියන 2.4ක් ලෙසය. 

මෙම ණය වලින් රු.බිලියන 2ක් ගෙවීමට තිබෙන අතර ණය ගිවිසුම් 38 නොගෙවා පැහැර හැර ඇති ඒවා වෙයි. තවත් ණය ගිවිසුම් 35ක් දින 90 ඉක්මවා ඇති අක්‍රීය  ණය ගණයේ ඒවායි. 

තවත් ගිවිසුම් 31ක් ණය ප්‍රතිව්‍යුහගතකිරීමට (reschedule) ලක්කර තිබේ. ණය ගිවිසුම් 103ක් ණය සහන යටතේ ලබා ගත් ඒවාය. 

සිගරට් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවේ කටුවන ශාඛාව හරහා මිලියන 2100ක් අනුමත වන විටත් ඊට පෙර ලබා ගත් ණය ගිවිසුම් 06ක් කල් පසු වී ඇත. 

ඒ වන විටත්  බෙලිඅත්ත සහ වීරකැටිය ලංකා බැංකු ශාඛාවලින් ලබා ගෙන ඇති ණය දින 90 ඉකුත් වූ කල්පිරුණු ණය ලෙසයි දැක්වෙන්නේ. 

එමෙන්ම පිටකෝට්ටේ සෙලාන් බැංකුවේ, පෑන් ඒෂියා නුගේගොඩ ශාඛාවේ,කැකිරාව කොමර්ෂල් බැංකු ශාඛාවේ සහ සෙංකඩගල සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් යන ආයතනවලින් මෙකී සමාගම ලබා ගෙන ඇති ණයද කල් පසු වී තිබේ.

මෙලෙස අසාදු ලේඛනගත (Black list) ගණුදෙනුකරුවෙකුට බැංකුවකින් යළි යළිත් මෙලෙස ණය ලබා දීමම පුදුමය දනවන කාරණයකි.

සාමාන්‍ය ව්‍යවහාරයේ නම් එක් ණය වාරිකයක් දෙකක් ගෙවා ගැනීමට නොහැකි වන තත්ත්වයකම බැංකුව ගනුදෙනුකරු ගැන බැංකුව පසුවන්නේ දෙගිඩියාවකිනි. එමෙන්ම මාස තුන ඉක්මවා ගිය පසු බැංකුවකින් ණයක් ගැනීමට නොඉහැකි වන පරිදි ණය ගත් තැනැත්තාත් ඇපකරුවනුත් ක්‍රිබ් එකට යනවා බැංකු ක්‍රමවේදයක ඒ කිසිවක් මෙකී සමාගමට අදාළ නොවීමද අරුමයකි.  

එහෙත් ඒ සියලු බලපෑම්වලින් තොරව සිගරට් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුව රු මිලියන 2100ක ණයක් ලබා දී තිබේ.

එපමණක් නොව එම ණය ලබා දී ඇත්තේද මහා පරිමාණයෙන් ගණුදෙනු සිදුකරන සාමාන්‍යයෙන් හොඳම ගණුදෙනුකරුවන් සඳහා ණය ලබා දෙන LIBO (London Interbank Offered) +1% පහසුකම යටතේය. 

මෙකි ගුණසේකර සමාගම විසින් ලබා ගත් එම ණය සම්බන්ධයෙන් සියලු තොරතුරු පවතින අතර ඒවා දත්ත ආරක්ෂණ පනත යටතේ ප්‍රසිද්ධ කිරීමේ අවසරයක් නොමැති නමුත් ඕනෑම මොහොතක අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවද මෙහිදී සටහන් කර තබමු.

 සබැඳි පුවත්: 
ලංකා බැංකුවේ සිගරට් ණයට විරුද්ධ වූ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඉවත් කළාද? ඉවත් වුණාද?