උපාධි කඩේට අවුරුදු සීයයි

උපාධි කඩේට අවුරුදු සීයයි

20 January 2021 07:00 pm

1921 විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවනු ලැබුයේ එවකට රාජකීය විදුහල පිහිටා තිබූ ගොඩනැගිලිවල. අදත් කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනංශයට ඇතුල් වන තැන සවි කර ඇති ඵලකයේ ඒ බව සඳහන් වෙනවා. විශ්වවිද්‍යාල ආයතනය පිළිබඳ අදහස ඉංගිරිසි ආණ්ඩුව අනුමත කිරීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය වුණේ රාජකීය විදුහල වසා දමා විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවීමටයි. එහෙත් පසුව ඩෝර්න්හොස්ට් ප්‍රමුඛ රාජකීය විදුහලේ ආදි සිසුන් එයට විරුද්ධ වීමෙන් පසු විදුහල එම ඉඩමේම උතුරට ගෙන ගොස් පැරණි ගොඩනැගිල්ලේ විශ්වවිද්‍යාල ආයතනය 1921 ජනවාරි විසි එක්වැනි දින ආරම්භ කර තියෙනවා. අදත් කොළඹ විශ්වවිද්‍යාලයේ සැම්සන් බංගලාව නමින් හැඳින්නේනේ එදා රාජකීය විදුහලේ වැඩ බලන විදුහල්පති වූ සැම්සන් මහතාගේ නිල නිවසයි.

මේ  සිද්ධියෙන් කියැවෙන්නේ කුමක් දැයි පැහැදිලි නැහැ. ඉංගිරිසින් ලංකාවට දුන්නේ පාසලක් වැනි විශ්වවිද්‍යාල ආයතනයක් ද? කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආයතනය අද වචනවලින් කියනවා නම් උපාධි කඩයක් පමණක් වුණා. එහි කෙරුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහි බාහිර උපාධි සඳහා සිසුන්ට ඉගැන්වීමයි. අද බාහිර උපාධි කඩවලින් කෙරෙන කාර්යය එදා විශ්වවිද්‍යාල ආයතනයෙන් සිද්ධ වුණා.  ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රදානය කෙරුණේ නිල වශයෙන් බාහිර උපාධි ද යන්න මෙහි දී අදාළ නැහැ.

ඉංගිරිසින් ලංකාවට එවැනි ආයතනයක්, උපාධි කඩයක්, ප්‍රදානය කෙළේ ඇයි ද යන්න තරමක ප්‍රශ්නයක්. ලංකාව ඉංගිරිසින්ගේ පරමාදර්ශී යටත්විජිතය වුණා. 1814 පටන් මෙරට පාසල් පද්ධතිය විසින් බිහි කෙරී තිබුණේ හීනතාමානයෙන් පිරි පිරිසක්. පාසල් ඉංගිරිසි පාසල් වශයෙන් හා ස්වභාෂා පාසල් යනුවෙන් බෙදී තිබුණා. පාසල ඉංගිරිසින්ට අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීමේ ආයතන පමණක් වුණා. ඉංගිරිසි පාසල්වල ඉගෙන ගත් අයට ඉහළ යැයි සම්මත රැකියා ලැබුණා. එහෙත් ඉහළ ම රැකියා ලැබුණේ නැහැ. ඒ ඉහළ ම රැකියා ඉංගිරිසින්ට පමණක් සීමා වුණා. 1833 කෝල්බෘක් - කැමරන් කොමිසමේ නිර්දේශ අනුව රාජකාරි ක්‍රමය අහෝසි කර රැකියා හා අධ්‍යාපනය අතර සම්බන්ධයක් ඇති කෙරුණා. ඉංගිරිසි ආර්ථික, අධිකරණ, පරිපාලන, මූල්‍ය ව්‍යුහයකට පදනම දැමුණා.

ඉංගිරිසි පාසල් ස්වභාෂා පාසල්වලට වඩා උසස් වුණා. ඉංගිරිසි පාසල් අතරත් වර්ගීකරණයක් ඇති වුණා. ඇංග්ලිකන් පාසල්වලට ඉහළ ම තැන හිමි වුණා. 1835 දී හිල් ස්ට්‍රීට් ඇකඩමිය (පසුව කොළඹ ඇකඩමිය, කොළඹ ඇකඩමිය හා රැජින විද්‍යාලය) නමින් ඇරඹුණු රාජකීය විදුහල ආණ්ඩුවේ පාසලක් වුණත් ආණ්ඩුව ඇංග්ලිකන් වුණා. ඉංගිරිසි පාසල් එංගලන්තයේ ප්‍රසිද්ධ පාසල් (Public Schools) නමින් හැඳින්වෙන පාසල් අනුකරණය කළා. රාජකීය විදුහල ලංකාවේ ඊටන් විදුහල ලෙස හැඳින්වුණා. රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය ලංකාවේ හැරෝ ඊටන් තරඟය වුණා. පාසල්වලින් උච්චතාමානය හා හීනතාමානය ඇති කෙරුණා. ඒ දෙක එක ම කාසියේ දෙපැත්ත. කාටත් ඉංගිරිසි ආයතන පාසල් සමග සංසන්දනයේ දී තිබුණේ හීනතාමානයක්. සිංහලයන් ඉංගිරිසින් මෙන් ඉංගිරිසිය උච්චාරණය කරන්න උත්සාහ ගත්තා. අප ඉන්දියයන්ගේ ඉංගිරිසි උච්චාරණයටත් හිනහවුණා. සිංහලයන් තරම් ඉංගිරිසින් අනුකරණය කිරීමට තැත් කළ අය නැහැ.

මේ සංකල්ප හා ආකල්ප අදත් තියෙනවා. අපට අවශ්‍ය ලංකාවේ අහවලා වෙන්න ලංකාවේ අහවල් ආයතනය කරන්න මිසක් ලංකාවේ ආයතන හදන්න නො වෙයි. ඉංගිරිසි පාසල් එංගලන්තයේ පාසල් අනුකරණය කළ අතර ස්වභාෂා පාසල් ඉංගිරිසි පාසල් අනුකරණය කළා. පාසල්වල විෂය නිර්දේෂ සකස්කෙරුණේ ඉංගිරිසින් විසින්. ඉංගිරිසි ප්‍රභූ පාසල්වල විදුහල්පතිවරුන් එංගලන්තයෙන් ආනයනය කෙරුණු අය. බෞද්ධ විද්‍යාලයක් යැයි කියන ආනන්ද විදුහලේ ප්‍රථම විදුහල්පති වුණෙ ලෙඩ්බීටර් නම් ඉංගිරිසි ජාතිකයෙක්. ඔහු ක්‍රිස්තියානි පූජකවරයකු ද වුණා.

විශ්වවිද්‍යාල ආයතනයෙහි ප්‍රථම විදුහල්පති වූයේ මාර්ස්. ඔහුට කීවේ විදුහල්පති මිස උපකුලපති නො වෙයි. අද මාර්ස් නමින් පේරාදෙණියේ ශාලාවක් තියෙනවා. විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවීමට පෙර 1870දී මෙරට බටහිර වෛද්‍ය විදුහල පිහිටුවනු ලැබුවා. අප අර සුපුරුදු අනුකාරක ආඩම්බරයෙන් එය ආසියාවේ දෙවැනියට පැරණි බටහිර වෛද්‍ය විදහල ලෙස හඳුන්වනවා.  ඉන් පසු කාර්මික විද්‍යාලයත් නීති විද්‍යාලයත් පිහිටුවනු ලැබුවා. විශ්වවිද්‍යාල ආයතනයට කලින් මේ වෘත්තීය විදුහල් පිහිටුවීමෙන් ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ කුමක් ද? ඔවුන් ශාස්ත්‍රවලට වඩා ශිල්පවලට ලංකාවේ තැනක් දුන්නා. එයට හේතුව ඔවුන්ට ශිල්පීන් වඩාත් අවශ්‍ය වීම ද එසේත් නැත්නම් සිංහලයන් ශිල්පවලට වඩා දක්‍ෂ වීම ද ඒ දෙකම ද යන්න පැහැදිලි නැහැ. පසුව 1942 දී වෛද්‍ය විදුහල ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කෙරුණා. නීති විද්‍යාලය එලෙස ම තිබිය දී ලංකා විශ්වවිද්‍යාලයෙහි නීති අධ්‍යනංශයක් පිහිටුවනු ලැබුවා. කාර්මික විදුහලත් එලෙස තිබිය දී ලංකා විශ්වවිද්‍යාලයෙහි වෙන ම ඉංජිනේරු පීඨයක් ඇති කෙරුණා.

අදත් මෙරට ප්‍රමුඛතාව ඇත්තේ වෛද්‍ය ඉංජිනේරු හා නීති වෘත්තීන්ට මිස ශාස්ත්‍රඥයන්ට හරි විද්‍යාඥයන්ට හරි නො වෙයි. උසස් පෙළ පරීක්‍ෂණයෙන් වැඩි ලකුණු ගන්නා ශිෂ්‍යයන් ඇතුළත් වන්නේ ඒ පීඨවලට. අඩු ලකුණු ඇති අය විද්‍යාව හා ශාස්ත්‍ර හැදෑරීමට යනවා. මේ ධුරාවලිය අද අන්තයට ගොස්. අඩුම ලකුණු ලබන අය දේශීය වෛද්‍ය පීඨවලට ඇතුළත් වෙනවා. මේ ධුරාවලිය නිසා අද ඇති වී තිබෙන සමාජයීය ප්‍රශ්න වෙන ම සාකච්ඡා කරන්න ඕන.

විශ්වවිද්‍යාල ආයතනයහි විද්‍යා ශාස්ත්‍ර හා පෙරදිග අධ්‍යයන පීඨ තිබුණා. පරිපාලනය අදත් කොලේජ් හවුස් නම් වූ පැරණි රෙජිනා වලව්වේ සිට කෙරුණා. මේ වලව්ව සුප්‍රසිද්ධ චාල්ස් සොයිසාගේ පුත් හෙන්රි ආතර් සොයිසා විසින් 1912 දී තම භාර්යාව වූ රෙජිනා පෙරේරා නමින් පිහිටුවන ලද්දක්. ශාස්ත්‍ර හා විද්‍යා පීඨ තර්ස්ටන් පාරේ (කුමාරතුංග මුනිදාස මාවතේ) අනෙක් පැත්තේ පැරණි රාජකීය විදුහල් ගොඩනැගිලිවල පැවතුණා. පෙරදිග අධ්‍යයන පීඨය රැජන පාරේ නිවසක පවත්වාගෙන ගියා.

පෙරදිග අධ්‍යයන පීඨයේ ඉගැන් වූ විෂය ගැන තිබුණේ එතරම් සුහද හැඟීමක් නො වෙයි. මේ විෂය ඉගෙන ගත් සිසුන් හරමානිස්ලා වුණා. අනෙක් සිසුන් කුල්ටන් වුණා. කුල්ටා යන්න කුල්ටූර් යන්නෙන් බිඳුණු එකක්. එය සංස්කෘතියට ජර්මන් බසින් කියන නම කියා කියනවා. හරමානිස්ලාගේ ස්ත්‍රී ලිංගික පදය කුමක් ද කියා දන්නේ නැහැ. කෙසේ වුණත් එකල හරමානිස්ලා මෙන් ම කුල්ටන් ද පැමිණියේ එක ම පාසල්වලින්.

පෙරදිග අධ්‍යයනය හරමානිස් වූයේ නිකම් ම නො වෙයි. ප්‍රභූ පාසල්වල සිංහල ඉගැන්වූ ගුරුවරයා ගමයා වුණා. සිංහල පාලි සංස්කෘත වැනි විෂයන්ට පමණක් නොව බෞද්ධ සංස්කෘතියටත් හිමි වූයේ උසස් තැනක් නො වෙයි. අපට අපේ දේ ගැන අපේ දැනුම ගැන පහත් ව හිතන්න පාසල්වල පුරුදු කෙරුණා. කලක් කොළඹ නිවෙස්වල මෙහෙකාර සේවයට පැමිණි අය නම මොකක් වුණත් හැඳින්වුණේ බණ්ඩල හැටියට. හරමානිස් යන්න ද මේ ආකල්පය ම නිසා නිර්මාණය කරන ලද්දක්. හරමානිස් යන්න හර්මන් නම් ජර්මන් නමකින් බිඳී එන්නක්. එය ලන්දේසි හා ඉංගිරිසි භාෂාවලත් යෙදෙනවා. සිංහලට ලන්දේසි උච්චාරණය සමග ලන්දේසින්ගෙන් ලැබෙන්න ඇති කියා හිතනවා. එය හරමානිස් වෙලා. අඩු තරමෙන් සිංහල ගැමියන්ට ලන්දේසි නම සිංහල සංස්කෘතියට හරමානිස් ලෙස අවශෝෂණය කරන්න පුළුවන් වෙලා තියෙනවා.

පසු කලෙක හරමානිස් තත්වයෙන් තවත් පහත් කර හරා කළා. හරා යන්න පසුව විෂය සම්බන්ධව නොව ඉංගිරිසි අනුකරණය සම්බන්ධව තීරණය වුණා. ඉංගිරිසි ආකල්ප, සිරිත් විරිත්, උච්චාරණය නැති අය හරාලා වුණා. මෙය අපේ දේ පහත් කිරීම සමග සම්බන්ධයි. සේන තෝරදෙණිය කියනවා සරච්චන්ද්‍රගේ මනමේ පෙරදිග අධ්‍යයන පීඨයේ හරාලාට යම්කිසි ආකාරයකට හීනතාමානය අඩුකර ගැනීමට ආධාර වුණා කියලා. එහෙම වුණා කියා හිතන්න බැහැ. එයට හේතුව ඊනියා කුල්ටන් ද ඉංගිරිසි සංස්කෘතිය ඉදිරියේ හරාලා වීමයි.

ලංකා විශ්වවිද්‍යාලයෙන් මූලික වශයෙන් කෙරුණේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඉදිරියේ දණගැසීමයි. ඊනියා විද්‍යා හා තාක්‍ෂණ පීඨ ගැන කියන්න දෙයක් නැහැ. ඔවුන් බටහිර විද්‍යාව හා තාක්‍ෂණය ලංකාවේ ප්‍රචලිත කරන්නන්, ඒජන්තයන්. ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට එහි කේන්ද්‍රයට කිසිම එකතු කිරීමක් කෙරී නැහැ. පරිධියේ ඇති සුළු ප්‍රශ්න විසඳන එක හැරුණා ම ඔවුන්ගේ ඊනියා පර්යේෂණවලින් නිර්මාණාත්මක දෙයක් කෙරී නැහැ. ශාස්ත්‍ර පීඨවල තත්වයේත් වෙනසක් නැහැ. ඔවුන් මූලික වශයෙන් කරන්නේ ඊනියා කරුණු එකතු කිරීම්. ඔවුන් අතින් නිර්මාණය වී ඇති සංකල්පයක් ප්‍රවාදයක් නම් කරන්න. බටහිර ඇසින් කියන  කතන්දර පුනරුච්චාරණය කිරීමක් පමණක් ඔවුන් අතින් සිදු වෙනවා. අපේ දැනුම් නූතනත්ව ආකෘතියකට අච්චුවකට දැමීමට නම් ඔවුන් කටයුතු කරනවා. බුදුදහම තාර්කික කරන්න හදන්නේ නිවන වචනයෙන් විස්තර කරන්න හදන්නේත් ක්‍රිස්තියානි නූතනත්වයට බුදුදහම යට කිරීමට.       

විශ්වවිද්‍යාල ආයතනයෙන් ඇරඹි අද විශ්වවිද්‍යාල නමින් හැඳින්වෙන ආයතන වැඩිම වුණොත් උගන්වන ආයතන පමණයි. ඒ උගන්වන්නේ බටහිර දැනුම. අපේ දැනුමත් ඉගැන්වෙන්නේ බටහිර අච්චුවට දාල. විද්‍යොදය විශ්වවිද්‍යාලය ආරම්භ කළ කාලයෙ ජ්‍යොතිෂය ඉගැන්නුවා. පස්සෙ ඒක අත්හැරල දැම්ම. විශ්වවිද්‍යාලයකට ජ්‍යොතිෂය උගන්වන එක හරි නැතිව ඇති. මා කොළඹ විශ්වවිිද්‍යාලෙ ඉන්න කාලෙ බටහිර තාරකා විද්‍යාව කියල පාඨමාලාවක් තිබුණ. පහුගිය දා ශිෂ්‍යයෙක් කතා කරල කිවුව මගේ දේශනවලට සහභාගි වීමෙන් ජ්‍යොතිෂය ඉගෙන ගන්න ආශාවක් ඇති වුණා කියල. ඒක එහෙම නම් මට සතුටු වෙන්න පුළුවන්. ඔය ඊනියා කළු කුහරයක් (black hole) ඇතුළට යන අංශුවකට මොකද වෙන්නෙ. ඒක පණු හිලකින් (worm hole) මතු වෙනවා ද? විකාර.

විශ්වවිද්‍යාල ආයතනයෙන් හරි ලංකා විශ්වවිද්‍යාලයෙන් හරි නිදහස් සටනට සේවයක් වෙලා තියෙනවා ද? 1921 සිට 1947 දක්වා ඔය ආයතනවලින් ඉගෙන ගත් අය නිදහස වෙනුවෙන් සටන් කරල තියෙනවා ද? අපේ පාසල් පද්ධතියෙන් බිහිවුණු අය නිදහස වෙනුවෙන් සටන් කරල තියෙනවා ද? ඔවුන් අර ඩොමීනියන් නිදහස ඇති කියපු අය. 1972 වන තුරු ඉංගිරිසි රජු අපෙත් රජු. අප ඒ ගැන ආඩම්බර වුණා. අප ජනරජයක් වුණෙ 1972 මැයි 22. ඒත් අප ඒ දිනය සමරන්නෙ නැහැ. තාමත් සමරන්නෙ අර ඩොමීනියන් නිදහස ලැබූ දවස. ඔය තමයි අපේ සමස්ත අධ්‍යාපනයෙ සංකේතය. 

- Kalaya