දික්වැල්ල නොම්මර හය ගස්සනවා කියන්නෙ රවී කරුණානායකට මුදල් ඇමතිකම දුන්නා වගේ !

දික්වැල්ල නොම්මර හය ගස්සනවා කියන්නෙ රවී කරුණානායකට මුදල් ඇමතිකම දුන්නා වගේ !

19 January 2021 01:08 pm

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නැවතත් දැවැන්ත පරාජයක් අත් කරගෙන තිබේ. කොවිඩ් වසංගතයෙන් පසුව ඔවුන් මුහුණ දුන් ටෙස්ට් තරග තුනම පරාජයට පත්විය. ඊයේ අත්කර ගත් පරාජය එංගලන්තය හමුවේ පිට පිට ලැබූ පස්වැනි ටෙස්ට් තරග පරාජයයි. සිය මව්බිමේදී පිට පිට ලැබූ සිව්වැනි පරාජයයි.

මෙම තරගය පරාජයට පත්වීමත් සමගම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වගකීම් විරහිතභාවය සම්බන්ධයෙන් විශේෂයෙන් පිතිකරුවන්ගේ වගකීම් විරහිතභාවය සම්බන්ධයෙන් නැවතත් කතාබහට ලක්ව තිබේ.

ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පළමු ඉනිමේදී රිවර්ස්වීප් පහරක් එල්ල කරමින් දැවීයාම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබෙනවා. එය පාසල් ක්‍රීඩකයෙකු හෝ සිදු නොකරන වැරැද්දක් ලෙසයි සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පවා හඳුන්වන්නේ.

කණ්ඩායමේ කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ලට දිගින් දිගටම අවස්ථාව ලබා දුන්නද ඔහු තවමත් නවක පිතිකරුවෙකුගේ මට්ටමට හෝ වගකීමෙන් ක්‍රීඩා නොකරයි. මේ වනවිට ටෙස්ට් තරග 40 ක අත්දැකීම් සහිත දික්වැල්ල කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් එක් අයෙකු වන අතර කෙසේ නමුත් ඔහුට තවමත් ටෙස්ට් ශතකයක් වාර්තා කර ගැනීමට නොහැකි වී තිබේ. ඉනිම 72 කදී ඔහු ලකුණු 2064 ක් වාර්තා කරගෙන තිබෙන්නේ 30.35 ක සාමාන්‍යයක් සහිතවයි. ඊට අන්තර්ගත වී ඇත්තේ අර්ධ ශතක 15 ක් පමණි.

දික්වැල්ල කඩුලු රැකීමෙන් පිතිකරණයට වඩා ඉදිරියෙන් සිටියද තීරණාත්මක අවස්ථාවලදී පහසු උඩපන්දු අතහැරීම ඔහු දිගින් දිගටම සිදු කරමින් සිටී.

එසේ තිබියදී ඔහු කණ්ඩායමේ අංක 06 ක්‍රීඩකයා ලෙස පන්දුවට පහරදීම විමතිය දනවන්නක් වන්නේ මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ එම ස්ථානයේ ක්‍රීඩාකළ ක්‍රීඩකයන් පිළිබඳව සැලකීමේදීය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේදී හෂාන් තිලකරත්න එම ස්ථානයේ ක්‍රීඩා කළ අතර ඉන් අනතුරුව තිලාන් සමරවීර අංක 06 ක්‍රීඩකයා ලෙස කටයුතු කළේය.

දි අයිලන්ඩ් පුවත්පතේ ලිපියක් පළ කරන ක්‍රීඩා මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටීන් පවසන්නේ දික්වැල්ල නොම්මර හය ක්‍රීඩකයා ලෙස යොදා ගැනීම හරියට රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයා ලෙස පත් කිරීම හා සමාන බවයි. ඔහු පවසන්නේ අංක හය ක්‍රීඩකයා ලෙස දික්වැල්ල යොදා ගැනීම සමස්ත කණ්ඩායමම අවදානමට ලක් කිරීමක් බවයි. එම ස්ථානයට රොෂේන් සිල්වා වැනි ස්ථාවර ඉනිමක් ගොඩනැගිය හැකි විශේෂඥ ටෙස්ට් පිතිකරුවකු යොදා ගැනීමට බළධාරීන් කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ පිතිකරණ දුර්වලතා වසා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩකයන් හෝ බාග පන්දු යවන්නන් භාවිතා කිරීමද විවේචනය කරන රෙක්ස් ක්ලෙමන්ටීන් පවසන්නේ ශ්‍රී ලංකා පුහුණුකරුවන්ට හා බළධාරීන්ට ටෙස්ට් හා සීමිත ඕවර් තරග පිළිබඳව හෝ අවබෝධයක් නොමැති බව මෙවැනි තේරීම් හරහා පැහැදිල වන බවයි. සුදු බෝලයෙන් දස්කම් දක්වන වනිඳු, දසුන් වැනි තුන් ඉරියව් ක්‍රීඩකයන් රතු පන්දුව සඳහා යොදා ගැනීම ඔවුන්ටද සිදු කරන අසාධාරණයකි. ටෙස්ට් ක්‍රිකට් යනු කුමක්දැයි හඳුනාගෙන ඒ සඳහා ගැලපෙන විශේෂඥ පිතිකරුවන් හා පන්දු යවන්නන් නිර්මාණය කරගත යුතු බවද රෙක්ස් ක්ලෙමන්ටීන් පවසනවා.

UN