චලනය වෙනුවට මරණය - මහේෂ් හපුගොඩ

චලනය වෙනුවට මරණය - මහේෂ් හපුගොඩ

17 January 2021 12:55 pm

රටක ඡන්දවලින් සියයට පනහකට වැඩියෙන් ගන්න පත චරිතවල ප්‍රොෆයිල් එක විනාඩියෙන් සකබර්ග්ල ට්විටර්ල මකල දානවා. සමහර විට තාවකාලිකව. සමහර විට සදහටම.

ජනතාව කියන ග්‍රීකයෝ කට්ටිය එයාලගේ කැමැත්ත කඩදාසි පෙට්ටියක් අස්සට ගිහිල්ල කාටත් නොපෙනෙන්න කඩදාසි කොලේක ලකුණු කරනවා. ඒ ජනතාවම ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකට ගිහිල්ල තවත් විදියකට එයාලගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. දෙකේම ඉන්නේ එකම මිනිස්සු.

ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකේ අයිතිකාරයා අර ග්‍රීකයින්ගේ නායකයා වාෂ්ප කරලා දානවා. එක පැත්තකින් මිනිස්සු ද්‍රව්‍යමය ඡන්දයක් පෙට්ටියකට දානවා. ඒ ද්‍රව්‍යමය ඡන්දේ ප්‍රතිඵලය සකබර්ග් මාම එයාගේ අයිතියක් කර ගන්නවා. එයා එයාගේ දේපළට කැමති දෙයක් කරනවා. අපි එයාගේ කැමැත්තට ඉද දීල කරබා ගන්නවා.

අද පුද්ගලික දේපළ කියන්නේ නිකම් බිම් කඩක්, ගෙයක් දොරක්, ඒක අස්සේ ඉන්න ගෑනියක් වගේ දෙයක් නෙවෙයි. අද දේපළ කියන්නේ ඩිජිටල් ඉන්ටර්ෆේස් එකක්. අර ස්ථිතික දේවල්වලට වඩා ප්‍රභල ද්‍රවශීල දෙයක්. ඒ කියන්නේ අනන්‍යතාව කියන එක ඉඩම් ගෙවල් යාන වාහන එක්ක නෙවෙයි බැඳිලා තියෙන්නේ (ඒවා සම්පුර්ණයෙන් අහෝසි වෙලා නැහැ තමයි) ඊට වඩා ප්‍රභල අනන්‍යතා පෙළඹුම් එක්ක අවකාශය වෙනස් වෙලා. අනන්‍යතා කිව්වට ඒවා ද්‍රවශීල අනන්‍යතා (liquid identities). මොහොතින් මොහොත වෙනස් වෙන ඒවා. සල්ලි දියවෙලා බිට්කොයින් එනවා. චීනයට වඩා ජැක් මා කැපිල පේනවා.

ඒ කියන්නේ අර ස්ථිතික දේ වාෂ්ප වෙලා ටික වෙලාවකින් නව අනන්‍යතාවක් ඉන්ටර්ෆේස් එකට එනවා. උදේ ඡන්දෙ දුන්නේ ට්‍රම්ප් මාමට උනාට හවස් වෙනකොට ඒ ඡන්දදායකයා මිෂෙල් ඔබාමාට ලයික් එකක් දානවා. ඉස්සර නම් කරන්නේ ශ්‍රී ලංකා එකට ඡන්දෙ දාල ඇවිත් කිතුල් කොළ කපල යූඑන්පීකාරයන්ගේ ගෙවල්වලට දාන එක. එයාල හැමදාම තරහකාරයෝ වෙන එක. අද ඒ අනන්‍යතා ලික්විඩ් වෙලා. දියාරු වෙලා. ඝන බව නැතිවෙලා. වාෂ්ප වෙලා. එකට ටැපලිලා.

සකබර්ග් මාම අල්ලලා තියෙන්නේ නියම නිලය. ද්‍රවශීල ඩිජිටල් තාරුණ්‍යය. ඩිජිටල් මනුෂ්‍යත්වය. ඩිජිටල් කාලය සහ අවකාශය (digital time and space). ඩිජිටල් සංචලතාව (digital mobility). අද ජීවන ලෝකය දිහා බලල 'කාලය විසින් අවකාශය අහෝසි කරනු ඇත' (time will annihilate space) කියල පරණම පරණ මාක්ස් කිව්ව කතාව සිග්මන් බවුමන් නැවත සනාථ කරනවා (කාලය විසින් අවකාශය ද්‍රවශීල කරනු ඇත - time will liquidate space). 

සකබර්ග් මාම එයාගේ ඉන්ටෆේස් එකෙන් (අවකාශය) අපිව ඕනෑම මොහොතක (කාලය) එළියට දැම්මොත් අපි මොකද කරන්නේ කියල ඔයාල හිතල තියනවද ? ගොඩක් අයට පිස්සු හැදෙයි. කෑ කොස්සන් ගහ ගහ පාරේ දුවන්න ගනියි. ආතතිය වැඩිවෙයි. සාංකාව උත්සන්න වෙයි. විප්ලවයක් සිදුවෙයි. අනේ සාදු !

අපිට අප පවත්නා කාලයට වඩා වේගයෙන් වන චලනය දරා ගන්න අමාරු වෙයි.

'අප හඹා යමින් සිටින්නේ කුමක්ද කියා අප දන්නේ නැති මොහොතක් දැන් උදාවෙලා. සිටිය යුත්තේ කොතනද නැත්තේ කොතනද දන්නේ නැති මොහොතක් දැන් උදාවෙලා. කුමකින් කැඩී වෙන්විය යුතුද කුමක් හා එකතු විය යුතුද දන්නේ නැති මොහොතක් උදාවෙලා. පාලකයින් කවුද පාලිතයින් කවුද වෙන් කර ගන්න බැරි මොහොතක් උදාවෙලා. කොටින්ම කිව්වොත් රස්තියාදුකාරයා සහ සංචාරකයා අතර වෙනස සොයන්න බැරි මොහොතකට අද අප ලංවෙලා...' 
(Liquid Modernity, පිටුව 151)

'චලනයේ වේගය කොතරම්ද යත් එය කාලය ඉක්මවා යමින් පවතී' කියල අන්තිමට සිග්මන් බවුමන් එයාගේ පොතේ කියනවා. චලනය සහ කාලය අතර ආතතිය තේරුම් ගන්න පුළුවන් මම දන්නා හොඳම චිත්‍රපටය The Great Gatsby. ඔහුගේ මතකය ඇය ළඟ නතර වෙද්දී ඇය ලෝකයත් එක්ක වේගයෙන් චලනය වෙලා.

චලනය නවතින්නේ මරණයෙන් විතරයි. ගැට්ස්බි දැන සිටියේ ඇය ගැන පමණයි. කාලය ගතවුණා කියා ඔහු දැන සිටියේ නැහැ. ඒත් ඔහුටත් නොදැනී කාලය ඉගිල්ලිලා. ඇයත් එක්ක ලෝකය ගොඩක් වේගයෙන් චලනය වෙලා. 

ඩේසි හැර වෙනත් ආදර වස්තුවක් වෙතට චලනය වෙනවා කියන එක එයා දැන සිටියේ නැහැ. ඒ කියන්නේ මෙලන්කොලියාවෙන් ගැලවෙන්න එයා ඒ වෙනකොට ෆ්‍රොයිඩ් කියවලා තිබ්බේ නැහැ. වාසනාවට... චලනය වෙන්න දන්නේ නැති නිසාම ඔහු චලනය වෙනුවට මරණය තෝරා ගත්තා. ඔව් මරණය. ඒ නිසා චලනය නොදන්න ගැට්ස්බි තමයි නූතන සාහිත්‍යයේ රැඩිකල්ම මිනිසා. 

ට්‍රම්ප් එල්ලිලා ඉන්න ට්‍රයි කරද්දී ගැට්ස්බි යන්නම යනවා.