නැගෙනහිර ජැටිය ගැන අද පැවති සාකච්ජාවත් අසාර්ථකයි

නැගෙනහිර ජැටිය ගැන අද පැවති සාකච්ජාවත් අසාර්ථකයි

16 January 2021 08:06 pm

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වීමත් සමඟ ඊට එරෙහිව නැගෙනනිර ජැටිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ වන විට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වරාය වෘත්තීය සමිති 23ක් එක්ව කටයුතු කරමින් සිටියි. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් පසුගිය 13 දා ජනාධිපතිවරයා සහ  මෙම වෘත්තීය සමිති නියෝජිතයින්  අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවති නමුත් එය ආසාර්ථක එකක් බවයි වෘත්තීය සමිති මාධ්‍යයට ප්‍රකාශ කළේ. 

මෙම උද්ගතව තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එදින කැබිනට් අනුකමිටුවක්ද පත්  කෙරුණි. 

අද (16) දිනයේදීද මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන්  එම කැබිනට් අනුකමිටුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ දී සාකච්ජාවක් පැවති අතර අද එම සාකච්ජාවද අසාර්ථක බවයි වෘත්තීය සමිති පවසන්නේ. 

මෙහිදී  මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා සඳහන් කළේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප්‍රොජෙක්ට් කොමිටියක් පත්කර ඇති අතර එයට 51% සහ 49% අතර රාමුව තුළ සිඅලු කටයුතු සිදුවිය යුතු බවට දැනුම් දී ඇති බවයි. 

''අපිට ඕනේ 100%ක්. හැබැයි ඒ 100%ක් කියන්නේ අන්තවාදී විදිහට නෙවෙයි. ආණ්ඩු පෙරළන්න,ආයතනය කඩන්වට්ටන වැඩ නෙවෙයි.''යනුවෙන්ද  
සුමනරත්න මහතා කියා සිටියේය. 

ඒ අනුව ලබන සිකුරාදා දින වන විට මේ සම්බන්ධ වෘත්තීය සමිති යෝජනා ලබා දෙන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති අතර එය භාර දෙන්නේ නිකම්ම නිකම් වරාය වෘත්තීය සමිති නොව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව ලෙස එම යෝජනා භාර දෙන බවයි ඔහු පැවසුවේ. 

එම යෝජනා මාලාව කැබිනට් අනුකමිටුවට මෙන්ම ජනාධිපතිවරයා වෙතද භාර දීමට නියමිතය. 

මෙම නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණේ වරාය විකිණීමක් සිදුනොවන නමුත් සංවර්ධනය සඳහා ව්‍යාපාරික උපායමාර්ග අනුගමනය කරන බවයි.

කෙසේවෙතත් මෙම කාරණය මුල්කරගෙන ආණ්ඩුවට සහය දැක්වූ ඇතැම් පාර්ශව ද දන ආණ්ඩුව විවේචනය කරමින් පසුවෙන ආකාරයද දැකගත හැකිය. 

විකිණීම වෙනුවට ආයෝජනය වැනි වචන යොදා ජනතාව රැවටීමට ලක් නොකරන ලෙස මෙම විරුද්ධ පාර්ශව රජයට බලකර සිටියි. 

ASK