පාස්කු කොමිසම:කුලියාපිටිය කලහය මැද දයාසිරි කළ දේ

පාස්කු කොමිසම:කුලියාපිටිය කලහය මැද දයාසිරි කළ දේ

4 December 2020 09:46 pm

පාස්කු ප්‍රහාරයෙන් පසු  පසුගිය වසරේ කුලියාපිටිය ප්‍රදේශයේ ආශ්‍රිතව ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනකු  පොලිස් ඇප මත නිදහස් කිරිමට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මැදිහත් වු බව අද (04) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන  ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

එම අවස්ථාව වන විට හෙට්ටිපොල පොලිස් ස්ථානය ආශ්‍රිතව රැස්වී සිටි දෙදහසකට ආසන්න පිරිසක් කලහකාරි ලෙස හැසිරීම හමුවේ එම තත්ත්වය සමතයකට පත් කිරිමට දයාසිරි ජයසේකර මහතා මැදිහත් වු බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න පෙරේරා මහතා සදහන් කළේය.

එම අවස්ථාවේ දී හෙට්ටිපොල පොලිස් ස්ථානයේ රදවා සිටි එම  සැකකරුවන් හය දෙනා පොලිස් ඇප ලැබා දිම සදහා ඔවුන් සම්බන්ධ පරික්ෂණ ක්‍රියාත්මක කරනු ලැබු බීංගිරිය පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට එම කලහකාරී පිරිස බාධා එල්ල කල බවත්  එහිදි දයාසිරි ජයසේකර මහතා මැදිහත්ව පුද්ගලික වාහනයක් උපයෝගී කර ගනිමින් අදාල සැකකරුවන් හය දෙනා බිංගිරිය පොලිසි වෙත ප්‍රවාහනය කරන ලද බවත් සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න පෙරේරා මහතා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

එලෙස අත්තඩංගුවට ගත් සැකකරුවන් පොලිස් නිල වාහනයකින් ප්‍රවාහනය නොකර පුද්ගලික වාහනයක් උපයෝගී කර ගනිමින් එලෙස ප්‍රවාහනය කළ හැකිද යන්න විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදෙමින් සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න පෙරේරා මහතා කියා සිටියේ, එලෙස හැකියාවක් නොමැති වුවත් එම අවස්ථාවේ උද්ගත වු තවත් මත එම තිරණය ගත් බවයි.

මෙ අතර අදාළ සිදුවීම සිදු වන විට නාමල් කුමාර නැමැත්තා ද හෙට්ටිපොල පොලිස් ස්ථානයට පැමිණ ස්ථානාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බව එහි ස්ථානාධිපතිවරයා තමන්ට දැනුවත් කළ බව සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේය.

එමෙන්ම පසුගිය වසරේ මැයි මස 12 දින කුලියාපිටිය නගරයේ වෙළෙඳසැල් කිහිපයකට අලාභහානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හතර දෙනෙකු ප්‍රකාශ සටහන් කරගැනීමකින් හෝ තොරව එදිනම මුදාහැර ඇති බවද ඊයේ  කොමිසම හමුවේ අනාවරණය විය..

එවකට කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක, නදීර සම්පත් මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඒ  බව කියා සිටියේය.

ASK