මැකෝ චැප්ටර් ක්ලෝස්, හෙට ඉඳන් ක්‍රිකට් ගැන කතා කරමු ! - මහින්ද‍ දේශප්‍රිය (Video)

මැකෝ චැප්ටර් ක්ලෝස්, හෙට ඉඳන් ක්‍රිකට් ගැන කතා කරමු ! - මහින්ද‍ දේශප්‍රිය (Video)

4 December 2020 07:00 pm

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද‍ දේශප්‍රිය මහතා පවසන්නේ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස තමන් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණෙන අවසන් දිනය අද (04) වියහැකි බවයි. ඔහු මේ බව සඳහන් කළේ SL VLOG යූටියුබ් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමිනි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස තමන් ලබාදෙන අවසන් සාකච්ඡාවද මෙය වියහැකි බවයි දේශප්‍රිය මහතා සඳහන් කළේ.

මැතිවරණ නිළධාරියෙකු ලෙස මැතිවරණ රාජකාරිවලින් ඉවත් වුවද, මැතිවරණ සමග පවතින සම්බන්ධය ඉදිරියටද පවතිනු ඇති බව සභාපතිවරයා පවසනවා. හිටපු මැතිවරණ නිළධාරීන්ගෙන් සමන්විත 'ලංකා මැතිවරණ වෘත්තිකයන්ගේ සංගමය' හරහා තවදුරටත් මැතිවරණ ක්‍රියාවලිය හා සම්බන්ධව කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

SL VLOG සභාපතිවරයාගෙන් විමසා සිටියේ මැතිවණ රාජකාරිවලින් ඉවත් වන බැවින් ඉදිරියේදී ක්‍රිකට් සම්බන්ධයෙන් හෝ කතාබහ කිරීමට හැකියාව ලැබෙන්නේද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ලේවලටම කාවැදී ඇති දෙයක් බවයි. දැනට ක්‍රියාත්මක ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහාද තම ගම් ප්‍රදේශය වන අම්බලන්ගොඩ ප්‍රදේශය නියෝජනය කරමින් සැළකිය යුතු ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා කරන බවද දේශප්‍රිය මහතා පවසනවා.

20 වැනි සංශෝධනය යටතේ ස්ථාපිත කරන, සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ කොමිසම සඳහා මේ වනවිටත් සමාජිකයන් නම්කර ඇති අතර සභාපතිවරයා ලෙස නම්කර තිබෙන්නේ නිමල් පුංචිහේවා මහතායි.

UN