දියාගෝ මැරඩෝනා - පෝලා දපෙනා සහ කාචගත නිමේෂයක සමාජීය හරස්කඩක්

දියාගෝ මැරඩෝනා - පෝලා දපෙනා සහ කාචගත නිමේෂයක සමාජීය හරස්කඩක්

4 December 2020 02:53 pm


මෙම ඡායාරූපය අප උපුටාගන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය සහෘදයාගේ ෆේස්බුක් පිටුවෙනි. මේ සමඟ ඔහු එතැන ලියා ඇති කෙටි සටහන නිසැක ව ම අපේ අවධානය යොමු විය යුත්තකි. මෙතැන සිදුවීම් දෙකකි. පළමුවැන්න ශෝකය ප්‍රකාශ කිරීමක් වන අතර එසේ සොව පළ කෙරෙන්නේ පසුගිය දිනෙක මෙලොවින් සමුගත් සුප්‍රකට ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා වෙනුවෙනි. දෙපයින් නැගී සිටින ක්‍රීඩිකාවෝ දස දෙනෙක් ඔහු වෙනුවෙන් විනාඩියක නිහඬතාවයකින් සිය ශෝකය පළ කරති. දෙවැන්න විරෝධය ප්‍රකාශය කිරීමකි; අර ශෝක ප්‍රකාශයට එදිරි විරෝධ ප්‍රකාශනයකි. අනෙක් පස හැරී බිම හිඳගෙන සිටින ගැහැනිය එසේ සිය විරෝධතාව ප්‍රකාශ කරන්නී ය. ඒ ඇයි? ඇය මෙසේ කියයි.

"එයාව මේ විදියට සමරන්න යනව කියල දැනගත්ත ගමන් මං තීරණය කෙරුවා ස්ත්‍රී දූෂකයෙක්, ළමා අපචාරකයෙක්, අපයෝජකයෙක් වෙනුවෙන් මං විනාඩියක නිශ්ශබ්දතාවක් රකින්නේ නෑ කියලා... මැරඩෝනා විස්මිත ක්‍රීඩකයෙක්. ඒත් පුද්ගලයෙක් හැටියට එයා එහෙම හොඳ කෙනෙක් නෙවෙයි... වින්දිතයා වෙනුවට අපචාරකයා තෝරාගැනීමත්, ඔහුට ගෞරව ප්‍රණාම දැක්වීමත් මගේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඉතින් ඒක කරන්න මට බැරිවුණා."

වෘත්තියෙන් ගුරුවරියක වන විසිහතර හැවිරිදි පෝලා දපෙනා ස්පාඤ්ඤයේ පාපන්දු ක්‍රීඩිකාවක් ලෙස ද කටයුතු කරන්නී ය. පසුගිය දිනෙක එරට, ඇය ද සහභාගී වූ අන්තර් සමාජ පාපන්දු තරගයක් ආරම්භයේ දී මේ දෙසිදුවීම් සිදුවිය. සිය කණ්ඩායමේ ත්, ප්‍රතිවාදී කණ්ඩායමේ ත් ක්‍රීඩිකාවන් මැරඩෝනා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයකට පෙළ ගැසෙද්දී පෝලා දපෙනා ඊට එරෙහි ව යමින් අනෙක් පස හැරී බිම ඉඳ ගත්තා ය. එහි ප්‍රථිපලය නාමික සහ නිර්නාමික මරණ තර්ජන බව දැන් දැනගන්නට ලැබෙයි. නමුත් ඇය නොබිය ව සිය මතය සහ ක්‍රියාව වෙනුවෙන් පෙනී සිටින්නී ය.

නේක වර්ණ තරු එළි යට සැඟවුණ කලු කුහර ගැන බොහෝදෙනා නොදන්නවා නොවේ. නමුත් එවැනි කලු කුහර පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමට ත්, ඊට එරෙහි ව හඬක් නැගීමටත් තරම් සමාජ නිර්භීතභාවයක් ඇත්තේ කීයෙන් කී දෙනාට ද? එබැවින් මේ තරුණ ගැහැනිය සිය ක්‍රීඩා දිවිය පමණක් නොව සාමාන්‍ය එදිනෙදා ජීවිතය ද අනතුරේ හෙළා ගනිමින් දැක්වූ විරෝධතාවයට ත්, ඇගේ නිර්භීතභාවයට ත් අපේ නිසැක ආචාරය හිමිවිය යුතුය. එකී ආචාරය මේ කුඩා දූපතේ සිට යුරෝපා මහාද්වීපය වෙත පාකර හරිමින් අපි නැවතත් මේ ඡායාරූපය දෙස අපේ අවධානය යොමු කරමු.

ප්‍රශ්න කීපයකි. මෙතැන පෝලා දපෙනා දෙපස සිටින ඇගේ සහෝදර ක්‍රීඩිකාවන් දෙදෙනා සිනාසෙන්නේ ඇයට ද? නැතිනම් පෙරදා එක් ව නැරඹු විකට චිත්‍රපටයක ජවනිකා සිහි වී ඔවුහු සිනාසෙන්නෝ ද? තවත් ක්‍රීඩිකාවක් දෑතින් මුහුණ වසා සිටින්නේ ඇයි? අව් රශ්මියෙන් ආරක්ෂා වීමට ද? නැතිනම් මේ කාචගත වන නිමේෂයෙන් ගැලවෙන්නට ද? කීපදෙනෙක් බිම බලාගෙන සිටිති. ඔවුන් සැබවින් ම මැරඩෝනා ගැන ශෝකවනවා වන්නට පුළුවන. තවත් සමහරු අහක බලාගෙන සිටිති. තුෂ්නිම්භූත මුහුණු ය; හැඟීම් විරහිත ලකුණු ය. මේ ක්ෂණික නිමේෂයේ අපට සිතාගත හැකි-නොහැකි හේතූන් කීපයක් හෝ බොහොමයක් නිසා ඔවුහු විවිධ ඉරියව්වලින් පසුවෙති. නමුත් සංකේතාත්මක ව ගෙන බැලූ විට මේ ඡායාරූපය අපේ රට ද ඇතුළත් සමස්ථ ලෝකයේ බහුතරය සහ සුළුතරය අතර වෙනස කදිමට ප්‍රතිබිම්බනය කරන අපූරු කැඩපතක් නොවේ ද?

අනුපාතය දහයට එකකි. දහය, අපට මතුපිටින් පෙන්වන ජයප්‍රිය, හුදු, පහසු මතය වෙනුවෙනි. එසේ ජීවත්වීම ඉතා පහසු ය. ප්‍රශ්න අවම ය. එක, ඒ ජනප්‍රිය මතය විනිවිද දකින යටිපෙළ ඇත්ත වෙනුවෙනි. එසේ ජීවත්වීම අපහසු ය. අතිශය දුෂ්කර ය. දෙපස හිඳිනා උන් අර තනි එකාට සිනාසෙති. ඉන් මෙල්ල කරගත නොහැකි වුවහොත් පසුව බැණ වදිති. තව සමහරු මුහුණු වසාගෙන හෝ බිම බලාගෙන නොදැක්කා සේ හිඳිති. තවත් උන් ඇත්තට ම අහක බලාගෙන ය. උපහාසයෙන් පිරුණ හෝ කෝපයෙන් රතු වුණ හෝ ඇත්තට ම තුෂ්නිම්භූත වූ මුහුණු ය; ඉතින් හැඟීම් විරහිත ලකුණු ය. එනයින් ගෙන බලන විට මේ වෛවර්ණ ලෙස කාචගත වී තිබෙන්නේ අප මේ ගත කරන නරුම මොහොතෙහි ම අඳුරු හරස්කඩක් බව නිගමනය කිරීම වරදක් ද?

පෝලා දපෙනාගේ අනාගතය කුමක් වනු ඇද්දැයි අපි දැනට නොදනිමු. නමුත් මුළු මහත් ලෝකයක අනාගතය මේ ගෙවී යන නිශ්චිත - තීරණාත්මක මොහොතේ අප ඉදිරියේ ගල් ගැසී ඇත. ඇතැම් විටෙක මනුෂ්‍යත්වය වෙනුවෙන් නිර්භය ව පෙනී සිටීම, වසංගතයක් සුව කළ හැකි එන්නතක් සොයා ගන්නවාටත් වඩා අපහසු විය හැකිය. නමුත් අප එය කළ යුතුය; කළ හැකිය. ඇස් නිලංකාර කරවන ආලෝකයට දැපනෙ නොවැටී සත්‍යය - සොබාදහම සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින පෝලා දපෙනෙලා රටට - අපට සහ හෙටට වැඩිපුර අවැසි වන්නේ එබැවිනි.

(ඡායාරූපය, තොරතුරු මුලාශ්‍ර සහ පෝලා දපෙනාගේ ප්‍රකාශ උපුටාගැනීම : මාධ්‍යවේදී සනත් බාලසූරියගේ ෆේස්බුක් ගිණුමෙන් සහ අන්තර්ජාලයෙන්.)

- කසුන් සමරතුංග