පසුගිය ආණ්ඩුව මේ ආර්ථිකය කියන වාහනය ගෙනිහින් හප්පලා දාලා, අපෙන් අහනවා වාහනේට දැන් මොකද කරන්නෙ කියලා ! - අජිත් නිවාඩ් කබ්රාල්

පසුගිය ආණ්ඩුව මේ ආර්ථිකය කියන වාහනය ගෙනිහින් හප්පලා දාලා, අපෙන් අහනවා වාහනේට දැන් මොකද කරන්නෙ කියලා ! - අජිත් නිවාඩ් කබ්රාල්

3 December 2020 10:30 pm

ඊයේ දිනයේ (02) අයවැය විවාදයට එක් වෙමින් මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එසේ සඳහන් කළේය. 

නමුත් තමන් මේ ප්‍රශ්නයෙන් පැන නොයන බවත්, ප්‍රශ්නයට පිළිතුරු තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ කොටස් 6 කින් යුක්ත දීර්ඝ ප්‍රශ්නයේ සෑම කොටසකටම මෙහිදී පිළිතුරු ලබාදීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය. එම කොටස් වූයේ,  

1. මේ ණය ආපසු ගෙවා ගත හැකි වේද?

2. බදු ආදායම ලෙස එම මුදල් එකතු කර ගත හැකිද?

3. ෆිච්, මූඩීස් ආයතන සහ ශ්‍රී ලංකා රජය අතර මතගැටුම පිළිබඳ ප්‍රකාශය

4. විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ ගැටළුව

‘‘ගරු විපක්ෂ නායක තුමනි, මා හිතනවා ඔබතුමා හොඳින්ම දන්නවා ඔබ සිටිය පසුගිය ආණ්ඩුව සමයේ විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම කොයි තරම් අපහසු වුණාද කියන කාරණය. වෝක්ස්වැගන් කර්මාන්තශාලාව, ඩොලර් බිලියන 3 ක පිරිපහදුව, වත්තල රෙස්ටොරන්ට් හිමිකරුවෙකු විසින් ඉදි කරන්නට ගිය ලෝකයේ උසම ගොඩනැගිල්ල... වගේ ඇතැම් වීරක්‍රියා සිදුකරන්නට පසුගිය ආණ්ඩුව උත්සාහ කළ අවස්ථා තිබුණා. නමුත් සිදුවුණේ කුමක්ද කියා ඔබතුමා දන්නවා.‘‘

5. ණය/දළ දේශීය නිෂ්පාදිත අනුපාතය සමග කටයුතු කිරීමේ ක්‍රමෝපායන්

‘‘අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය වැඩි වී තිබෙනවා. ඒ පිළිබඳ අප කරන්නට බලාපොරොත්තු වන දේ පිළිබඳ විපක්ෂ නායකවරයා විමසනවා. එතැනදී අපි එතුමාට මතක් කර දිය යුත්තේ අපි 2006 දි රජය භාරගන්න විට අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය තිබුණෙ 91%ක් හැටියට.. නමුත් අවුරුදු 9 ක් ඇතුළත දිගින් දිගටම දැවැන්ත සංවර්ධනයක් කරන අතරවාරයේ වුණත් 2014 වන විට 70% දක්වා මෙය අඩු කර ගන්නට අපට පුළුවන් වුණා.‘‘

නමුත් 2015-2019 කාලය තුළ පැවති, විපක්ෂනායකවරයා එදා ඉහළ මට්ටමේ ඇමතිවරයෙක් වශයෙන් සිටි එක්සත් ජාතික පක්ෂ රජය යටතේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය 86% දක්වා වැඩි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

මෙම ප්‍රශ්න එවකට පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවලදී යොමු කළ යුතුව තිබූ ඒවා බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. 

6. ණය ශ්‍රේණි පහත හෙළීමට හේතු

මෙය අයෝජකයන්ගේ ආකර්ෂණය සඳහා බලපාන සංවේදී ප්‍රශ්නයක් බව පෙන්වා දුන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, මේ සඳහා තාක්ෂණික පිළිතුරක් ද ලබාදෙන බව පැවසුවේය. අනතුරුව විපක්ෂ නායකවරයා විසින් යොමුකළ ප්‍රශ්නයට සවිස්තරාත්මක පිළිතුර ලබාදීම සිදුවිය. 

‘‘ගරු කථානායකතුමනි, මේ ‘ස්වාධීන‘ යැයි කියන සහ 2019 නොවැම්බරයේ නව රජය බලයට පත් වූ විගස ශ්‍රී ලංකාවේ ණය අර්බුදයක් ගැන අනාවැකි පළ කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටින ඇතැම් ආයතන දැන්, 2020 අයවැය මගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට නොහැකි බවටත් එය රාජ්‍ය මූල්‍ය පීඩනයක් ඇති කිරීමට උත්සාහ කරනු ඇති බවටත් යෝජනා කිරීමට උත්සාහ කරන බවටත් අපට දැන් පෙපෙනන්ට තිබෙනවා. 

‘‘2019 නොවැම්බර් මාසය වන තෙක් ඒ කිසිම කෙනෙක් මේ ප්‍රශ්නය දැක්කෙ නෑ.  සියලු දෙනාම ඇස් වහගෙන හිටියෙ. අලුත් ආණ්ඩුව ආවට පස්සෙ තමයි මේ අර්බුදය ගැන හොයන්නට පටන් ගත්තෙ..

‘‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නායකයන්, ඉහළ පෙළේ ආර්ථික විශ්ලේෂකයන් සහ වෙනත් විශේෂඥයන්ගේ ප්‍රකාශයන් ඊට හාත්පසින්ම වෙනස් වන අතර, ඔවුන්ට අනුව නව අයවැය මගින් ණය තත්වය හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකි වන අතරම, ව්‍යවසායකයන් උනන්දු කිරීම මගින් ආර්ථිකය ස්ථාවරත්වය සහ වර්ධනය කරා ගෙන යන බවක් පෙනෙනවා.‘‘ 

තමන්ගේම අනාවැකි සාධාරණීකරණය කරන විපක්ෂය සහ ණය ශ්‍රේණිගත කරන ආයතන

එම නිසා මෙම ආයතනවල සහ විපක්ෂයේ අදහස් වරින් වර ප්‍රකාශ වන්නේ ඔවුන්ගේම අනාවැකි සාධාරණීකරණය කිරීම සඳහා වන අතර, වාසනාවකට මෙන් එමගින් දේශීය සහ විදේශීය ආයෝජකයන් හට ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය විශාල ලෙස අඩු වීමක් සිදු වී නැති බව ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. 

‘‘ගරු කථානායකතුමනි, ගරු විපක්ෂනායකවරයා කිව්වා අපේ රටේ ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන සමහර අය කලබල වෙන්න පුළුවන් කියලා. මෙතැනදී මා කිව යුතු දේ තමයි, ඇතැම් ආයෝජකයන් යම් තරමක කණස්සල්ලකට පත්වී ඇති බව පෙනෙනවා. නමුත් එක විශේෂ කාරණයක් අප අමතක නොකළ යුතුයි..‘‘

එනම්, මේ තත්වය ඇතැම් ආයෝජකයන් තමන් සතු බැඳුම්කර සැලකිය යුතු මට්ටම් යටතේ විකිණීමට පෙළඹී අතර, එමගින් ඔවුන්ට අනවශ්‍ය පාඩු ද සිදුවී ඇති බවත් මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. 

ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන්නේ විදේශීය ආයෝජකයන් පමණක් නෙවෙයි 

‘‘ඒ වුණත් 2020 දී ඇමරිකානු ඩොලර් මිලියන දහසක ස්වෛරී බැඳුම්කරයේ ඇමරිකානු ඩොලර් මිලියන 150කට වඩා වැඩි මුදලක් අයෝජනය කර තිබුණේ ශ්‍රී ලාංකික ආයෝජකයන්.. ඒ වගේම 2021 ජූනි මස කල් පිරෙන ඩොලර් මිලියන 1000 ක ස්වෛරී බැඳුම්කරයේ  ඇමරිකානු ඩොලර් මිලියන 330 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලාංකික ආයෝජකයන් බව මා මතක් කර දෙන්නට අවශ්‍යයි.‘‘

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය වන්නේ ඇතැම් විදේශීය ආයෝජකයන් පසුබෑමට ලක් වුවත්, ලංකාවේ ස්වෛරී බැඳුම්කරවල සැලකිය යුතු ආයෝජනයක් දේශීය ආයෝජකයන් විසින් සිදුකර ඇති බවත්, ඒ හරහා අවදානම අඩු වන බවත් ය. 

ලංකාව කිසි විටෙක ණය ආපසු ගෙවීම පැහැර හැර නැහැ

නිදහසින් පසු වසර 73 ක ඉතිහාසය තුළ සිය ණය ආපසු ගෙවීම් ගරු කිරීමට කිසිවිටෙකත් අපොහොසත් නොවීම පිළිබඳව අප රට ආඩම්බර වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

‘‘විශේෂයෙන් 2006 සිට 2014 දක්වා අභියෝගාත්මක කාලය තුළ වුවද එම වාර්තාව අපි නිරවුල්ව පවත්වාගෙන ගියා. එම සියලු අභියෝගයන් මධ්‍යයේ වුවද විචක්ෂණශීලී සහ නව්‍ය, ඵලදායී ආර්ථික මූලධර්මවල කළමනාකරණය සහ නව්‍ය ණය කළමනාකරණ පියවරයන් තුළින් රටෙහි ණය ආපසු ගෙවීමේ වාර්තාව ආරක්ෂා කිරීමට අපි ඇප කැප වී සිටිනවා..‘‘

ආර්ථික වර්ධනය ඇතිකරන ක්‍රමවේදය 

‘‘2020 කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේත් ආදායම් එකතු කර ගැනීම සම්බන්ධයෙන් බාධාවන් ඇති වුවද පැහැදිලි ප්‍රතිසංස්කරණ සහිත න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය නිෂ්පාදන ඉහළ දැමීම, අපනයන පුළුල් කිරීම සහ විදේශ ආයෝජනය ආකර්ෂණය කර ගැනීම තුළින් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කර ගැනීම 2020 අයවැයේ අරමුණයි..‘‘

‘‘ඔබතුමා ඇහුවා වර්ධනය ඇති කරන්නෙ කොහොමද කියලා, දැන් මම මේ කිව්වෙ ඒ වර්ධනය ඇති කරන ක්‍රමවේදය.‘‘

යහපාලන ආණ්ඩුව මාස 15 ක් තුළ ඇ.ඩො. මිලියන 6900 ක් ස්වෛරී බැඳුම්කරවලින් ලබාගෙන !

2018 අප්‍රේල් සිට 2019 ජූනි දක්වා මාස 15 ක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 6900 ක් පසුගිය ආණ්ඩුව ස්වෛරී බැඳුම්කර හරහා ලබාගෙන ඇති බව ද මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කළේය. 

මෙහි පොලී අනුපාතිකය 7.8%ක් වන බව ද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. 

‘‘පසුගිය වතාවේ අපි අවුරුදු 9 ක් තුළ ගත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 5500 ක් පමණයි.. 

‘‘අවුරුදු 9 ක් තුළ මිලියන 5500 ක් ගත්ත රටක මාස 15 ක් තුළදී මිලියන 6900 ක් ගැනීම ගැන ඔබතුමන්ලා කවදාහරි උත්තර දෙන්නට අවශ්‍යයි කියා මම හිතනවා..‘‘

ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඒ රජයේ කොටස්කරුවෙකු වූ බව මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නැවතත් සිහිපත් කර දුන්නේය. 

ඇමරිකානු ඩොලර් මිලියන 6900 ක් යනු හම්බන්තොට වරාය වැනි වරායවල් 6 ක් තැනිය හැකි මුදල් සම්භාරයක් බව ද ඔහු පැවසුවේය. 

‘‘අන්න එවැනි ණය කළමනාකරණයක් තමයි ඒ කාලයේ සිදුවුණේ, දැන් අපිට මේ කතා කිව්වට... ‘‘

වසර 30 ක ත්‍රස්තවාදී ගැටුම සාර්ථකව අවසන් කළ විගසම ආර්ථිකය අස්ථාවර කිරීමේ බරපතළ උත්සාහයක් ඊනියා ස්වාධීන සහ ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැඩි ජවයකින් යුතුව සිදුකළ බවත් අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය. 

ස්වෛරී බැඳුම්කර ගැටළුවේ හාස්‍යය සහ යථාර්ථය 

මේ අනුව ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුවේ ප්‍රතිඵලයක් ලෙස විදේශ ණය ගැනීම් සහ ව්‍යාපෘති මූල්‍යකරණය විධිමත් කිරීම මගින් විසඳුම් ලබා දීමට මෙම ආණ්ඩුව අපේක්ෂා කරන බව ද ඔහු පෙන්වා දුන්නේය. 

‘‘අපිට තමයි දැන් මේ කර්තව්‍යය පැවරිලා තියෙන්නෙ. අපි මේ ගැන වැඩ කරනවා..‘‘

‘‘හාස්‍යයට කරුණ නම් මෙම ණය ගැනීමේ ප්‍රවණතාවය සමහර දේශීය සහ විදේශීය ආයතන විසින් ඒ කාලයේදී විශාල සාර්ථකත්වයක් විදිහට සලකලා, අද ඒ අයම ශ්‍රී ලංකාවේ ණය තත්වය අභියෝගාත්මක බව පවසමින් ශෝකයට පත් වෙනවා.. ඒ අය අඬනවා. නමුත් ඒ කාලයේ ණය ගන්නවිට ඔවුන් මොකුත් කිව්වෙ නෑ..

ඒකාබද්ධ ආර්ථික උපාය මාර්ගයක්

නව රජය විසින් දියත් කර ඇත්තේ ‘ඒකාබද්ධ ආර්ථික උපාය මාර්ගයක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. 

‘‘රුපියල ස්ථාවර කිරීම, අඩු පොලී අනුපාතිකයක් පවත්වා ගැනීම, ඉහළ ආර්ථික වර්ධනයක් සහ වඩා හොඳ බදු පරිපාලනයක් තුළින් ආදායම් එකතු කිරීම වැඩි දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරිකයන්ට සහ ව්‍යාපාර හිමිකාරයන්ට සහාය වීම සහ සෘජු රාජ්‍ය ආයෝජන ඵලදායී ලෙස සැලසුම් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන මූල්‍ය සාධනය තහවුරු වෙනවා. 

‘‘ගරු කථානායකතුමනි, ඉදිරි වර්ෂය සහ ඉදිරි වර්ෂ කිහිපය තුළදී පෙර නොවූ විරූ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. වරාය නගරය සහ හම්බන්තොට කාර්මික කලාපයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් 2021 අයවැය පැහැදිලි මගපෙන්වීමක් ලබා දී තිබෙනවා. 

දැනටමත් වරාය නගරය සහ අනෙකුත් නිෂ්පාදන හා සේවා කර්මාන්ත සඳහා හිතකර ආයෝජන ගලා එන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

‘‘ඊට අමතරව ප්‍රතිපත්ති මත පදනම් වූ ණය සම්බන්ධයෙන් බහුපාර්ශවීය සහාය අපට ලැබෙනවා. SWOP සහ වෙනත් ක්‍රම මගින් ශ්‍රී ලංකාවේ නිල සංචිත මට්ටම් ඉහළ නැංවීම සඳහා මිත්‍ර රටවල් සහ සංචිත බැංකු සමග සාකච්ඡා කෙරෙමින් පවතිනවා. කෙටි කාලීන විදේශ මුදල් ද්‍රවශීලතා අවශ්‍යතා සපුරාගැනීම සහ රටේ වර්ධන අපේක්ෂාවන් සපුරාලීම සඳහා අවශ්‍ය දිගුකාලීන අරමුදල් සම්පාදනය කිරීම ද සිදුවෙනවා. 

‘‘ගරු කථානායකතුමනි, එම පසුබිම තුළ ස්වාධීන යැයි කියන ලේබල් ගසාගෙන ක්‍රියාත්මක වන බාහිර බලවේග, දේශපාලනික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ පක්ෂග්‍රාහී ඒජන්සි විසින් කරනු ලබන ප්‍රකාශ විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය තබා ඇති ආයෝජකයන්ගේ අවධානය වෙනත් අතකට යොමු කරන්නට නොහැකි බවත් ප්‍රකාශ කරමින්, මේ දීර්ඝ ප්‍රශ්නය අපෙන් අසා මේ සියලු කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ගැන මා විපක්ෂනායකවරයාට ස්තූතිවන්ත වෙනවා..‘‘