කවදා හෝ ඔබේ අත පිච්චි ඇත්ද?

කවදා හෝ ඔබේ අත පිච්චි ඇත්ද?

26 November 2020 11:02 am

'ඔබ යමකට අත තබන විට අත පිච්චෙන්නේ නම් එයට ඔබ ලස්සන යැයි කියන්න'. එතරම් ප්‍රසිද්ධ නැති මෙම ප්‍රකාශය කර ඇත්තේ සුප්‍රසිද්ධ ජපන් සාහිත්‍යකරුවෙක් වූ යුකියෝ මිෂිමා ය. එයින් කියවෙන්නේ ඔබ ලස්සන ලෙස සලකා ආශා කරන දෙය යනු අනිවාර්ය ලෙස යම් භයානක, ආපතික, නොසිතූ ප්‍රතිවිපාකයක් ගෙනදෙන යමක් විය හැකිය යන්න ය. ඔබ ඒ ලස්සන දෙසට යන විට හෝ යම් විදියකින් එය අත්පත් කර ගැනීමට හදන විට ඔබ මෙතෙක් අත්පත් කර ගෙන සිටි බොහෝ දේ විනාශ වී යාහැකි බවයි. එය ඔබේ තත්වය, තානාන්තරය, නම්බුව, ගෞරවය යන මේ ඕනෑම දෙයක් විය හැකියි. කෙටියෙන් කිවහොත් ලස්සන සහ ආශාව නිසා අත පිච්චී යා හැකි බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් බ්‍රසීල අඩ නිරුවත් නිරූපිකාවක් වූ නටාලියා ගැරීබොටෝ ගේ (Natalia Garibotto) ඉන්සටග්‍රෑම් චායාරූපයක් ''ලයික්'' කිරීම මම රූපකයක් ලෙස (metaphor) සන්දර්භගත කරන්නේ යුකියෝගේ ඉහත ස්ථාවරය තුල සිටයි.

නටාලියා. ඔව්..ඇය ලස්සනයි. පොළඹවන සුළුයි. ජීවිතයේ අදුරු පතුළ ස්පර්ශ කරන බව සැබැයි. ඇද වැටෙන සුළුයි. දෙවියන්ටත් පෙර ලෝකය වෙලා ගෙන පැවති අඳුර, නිශ්ශබ්ද බව සහ හිස් බව ඇයට පලවා හැරිය හැකියි. සංසාරගත තනිකම ඇයට මැකිය හැකියි. හැබැයි ඔබ එය ''ලයික්'' කරන විටම ඔබ මෙතෙක් උපයා ගත් සියළු දේ පිලිස්සී යා හැකියි. එයට බියවී ඔබ ආශාවට අත නොතැබුව හොත් ඔබට ජීවිතය නැතිවී යා හැකියි.

බ්‍රසීලය. ගොඩක් දුප්පත් අය සිටින රටක්. ලතින් ඇමෙරිකාව. ඔවුන් අනුරාගිකයි. ආශා කරන්න ආශා කරවන්න ඔවුන් දන්නවා. පොහොසත් උන්, ධනය තියෙන උන් වසඟයට ගන්නේ නැතුව උන් ධනය හොයන්නේ කොහොමද? ඔව්, ධනය ද්‍රවශීලයි. ඉතිං ධනය ගලා යනවා. වාෂ්ප වෙලා යනවා. ඔව්, ධනය ගලා ගියාවේ.

මේ පශ්චාත් නූතන යුගයේ ඇස යන පැත්තට තමයි ධනය ගලන්නේ. ඉතිං ඔබේ ඇස වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කරනවා. හරියට ඇස ගැටුනොත් සල්ලි තමයි.

විසිහත් හැවිදිරි නටාලියා ගැරිබොටෝ මෙහෙම කියනවා. දෙයියනේ..මට පාප් වහන්සේ ගේ නිල ආශීර්වාදය ලැබිලා...දෙවියන්ට ස්තුතිවන්ත වුවාවේ...යන්තම් දෙවියන්ට මාව පෙනිලා.

දැන් ඇගේ උත්සාහය හරි. දේව ඇස ගැටිලා (Holy eye). ඔක්කොමල එයා ගැන කතා කරනවා.

ලතින් ඇමෙරිකාව. ඔව්...චේ දෙස නොබලන ඔවුන් දැන් නටාලියා දෙස බලනවා. දෙවියන්ට ස්තුතිවන්ත වුවාවේ...

විශිෂ්ට දේවධර්ම වේදියෙක් වන ජී. කේ. චෙස්ටාර්ටන් (G.K. Chesterton) කියනවා දෙවියන් තුළ ම දිව්‍යමය බවට අමතරව ලෞකික බවක් ද තියනවා කියල. ඉතිං දෙවියන් තුළමත් 'දෙවියන් නොවන දෙයක්' තියනවා නම් පාප් වහන්සේ තුළත් ඒ දෙවියන් නොවන දේ තිබිය හැකියි කියල මට හිතෙනවා.

දෙවියන්ටත් හිස් බව දැනෙනවා. දරාගත නොහැකි පාළුව දැනිල තියෙනවා. ඒ දරාගත නොහැකි නිශ්ශබ්ද බව (fathomless silence) නිසා එයා මිනිසා නිර්මාණය කරනවා. මිනිසාගේ තනියට ගැහැණිය නිර්මාණය කරනවා. එයාට දැනිච්ච තනිය එයා අපිට දැනෙන්න දුන්නේ නැහැ.

ඒ කියන්නේ දෙවියන් කියන්නේ පරිපුර්ණ දෙයක් නෙවෙයි. පරිපුර්ණ බව පිළිබද අදහසක් තියන එහෙත් තවත් ඒ පරිපුර්ණ දෙය බවට පත්වී නැති දෙයක්. පරිපුර්ණ වෙන්න උත්සාහ කරන දෙයක්. ඒ කියන්නේ තමන් අසම්පුර්ණයි (incomplete/imperfect) කියල ප්‍රථම වරට පිළිගත්ත ආගම වෙන්නේ ක්‍රිස්තියානිය කියන එක තමයි චෙස්ටාර්ටන් ගේ අදහස. ඒ නිසා එය වඩාත්ම රැඩිකල් ආගමක් වෙනවා කියල චෙස්ටාර්ටන් කියනවා.

මිනිසා අසම්පුර්ණ බව වෙතින් පරිපුර්ණ බව වෙත යන්න උත්සාහ (becoming) කරන අමුතුම ජීවින් කොට්ටාශයක්. එයාලගේ ලස්සන තියෙන්නේ ඒ දඟලන දැඟලිල්ල එක්ක අත පුච්චා ගන්න එකේම තමයි.

කියවන්න:
G.K.Chesterton (1989). The Man Who Was Thursday, Penguin. 
Harmondsworth.

- මහේෂ් හපුගොඩ