සිංහල සංගීතයේ වේරලියද්ද ලකුණ

සිංහල සංගීතයේ වේරලියද්ද ලකුණ

25 November 2020 04:34 pm

එතකොට ලංකාවේ ටීවී චැනල් තිබුනේ දෙක තුනයි. ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍යය විකාශය වුනේ රෑ 8.30 ට. ඒ කාලේ මිනිස්සුන්ගේ මතකය කොච්චර හොඳද කිව්වොත්, මේ සඳුදා විකාශය වුණු නාට්‍යය නවතින තැන ඉඳන් ඊළඟ සඳුදා ඒ නාට්‍යය විකාශය වෙන තැන වෙනකම් අපට කතාව තියෙන්නෙ කොතනද කියලා මතකයි. එතකොට අපේ මිනිස්සු ටෙලිෆෝන් අංක පවා මතක තියාගෙන හිටියේ හිතින්. ඉතින් ඒ කාලේ විකාශය වෙන ඔය නාට්‍යවල තේමා ගීත හැටියට විවිධ ගීත තිබුනා. ඒවත් අපට හොඳට මතක හිටියා.

ගෙදරදි අපි නාට්‍ය බැලුවේ පවුලෙ හැමෝම එකට වාඩිවෙලා. දවසක් අමුතුම විදිහක තේමා ගීතයක් වාදනය වෙනවා. වචන ඔක්කොම ඕෆ් බීට්. වචන වෙනස්. ගැයෙන හඬත් හරිම අමුයි. ගැයෙන විදිහත් හරි වෙනස්. වැයෙන භාණ්ඩත් අපි සෙල්ලමට වාදනය කරපු තාල වාදය භාණ්ඩවලට ගොඩක් සමානයි. ඒ නාට්‍යය 'වනසරණ' හෝ 'වන වදුලේ වසන්තය' දෙකෙන් එකක් වෙන්න ඕන. අපේ ගෙදර හැමෝම වගේ කලා රසිකයෝ. ඒ වුනාට ගීතයෙන් ඇහුණු අමුතු හඬත් එක්ක අපි හැමෝම අම්මා දිහා බැලුවේ ඉබේටමයි.

වැදි ගීත කියලා ජාතියක් ගැන එතකොට ප්‍රාථමික පන්තියක හිටපු මම දන්නෙ නෑ. නමුත් අපේ අම්මා නැටුම් සහ හෙළ ජන ගී ගැන දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් නිසා ඇය ඒ ගැන අපට කිව්වා. ඒවටලු 'වැදි ජන ගී නාද මාලා' කියන්නේ. 'නංගීට බැඳපු මල් වියනයි... නංගීට බැඳපු මල් වියනයි...' ඒකෙ වචනත් තානයත් ඉක්මණින්ම අපේ කන්වලට රිංගලා දොරවල් වහගත්තා කිව්වොත් හරි. ගීතය ගයන්නේ කවුද කියලා දැනගන්න අපි නම් පෙළ දිහා බලාගෙනම හිටියා. ගීතයේ තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහ මහත්තයගේ. ගායනය සේනානායක වේරලියද්ද කියලා කෙනෙකුගේ. එදා තමයි ඒ අමු, බර සහ අමුතු හඬ මුලින්ම ඇහුණු දවස.

ඊළඟ දවසේ ඉස්කෝලේ ගියහම අපේ ප්‍රාථමික පන්තියේ හිටපු කොල්ලො කුරුට්ටන්ගෙන් දහපහළොස් දෙනෙක්ම 'නංගීට බැඳපු මල් වියනයි...' කිය කියා එකේක විකාර නැටුම් පෑවා. 'තෙන් තෙඳී නානේ...තෙඳි නානේ හෝයි !' කියමින් අපි පිට්ටනිය පුරා දුව දුව විනෝද වුනා. ඒ තමයි ඒ හඬේ තිබුණු ගුණය. එක පාරින්ම ප්‍රාථමික පන්තියක හිටපු අපිව පවා දපනේ දාගන්න ඒ හඬට පුළුවන් වුනා. ඔය නාට්‍යයෙන් අල්ලගත්තු වචන කිය කිය අපි රණ්ඩු වෙන්නත්, විහිලු කරන්නත් පටන්ගත්තා. 'අඩා පොරමොලා ! තෝව දැකලා මයෙ හඳුන්පොත කී ගානවා !' ඒ තමයි පොඩි අපේ විනෝදේ. ඒත් නාට්‍යය ඉවරවෙනවත් එක්කම ඒ හඬත් අමතක වෙලා ගියා. ඒ කාලේ ටෙලිනාට්‍ය ඉලාස්ටික් නෑනෙ.

ටික කාලයක් ගතවෙලා අපේ රැවුල් ගස් එක දෙක නිකටෙන් එළියට පනිද්දී ලස්සන වචන ටිකක් එක්ක ආයෙත් අර අමුතු හඬ අපට ඇහුනා. 'පින් මන්ද රංග භූමියේ... පෙම් බැන්ද සිංහ සීවලී... නුඹ මන්ද ලෙනෙන් පිටවෙලා ගියේ... මං සිංහයාට බයයි නංගියේ...' වසන්ත දුක්ගන්නාරාළ විසින් රචිත පළවෙනි ප්‍රසිද්ධ ගීතය. ඒක තමයි වේරලියද්ද හඬ සිංහල සංගීතයේ අනාගතය වෙනුවෙන් පිහිටපු තැන. ඒ කාල පරාසය ඒ වගේ හඬකට පිහිටන්න කොච්චර අමාරු කාලයක්ද කියලා දැන් මම කියන්නම්.

ඒ වෙනකොට ගතවෙන්නේ රූකාන්ත ගුණතිලක, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, ග්‍රේෂන් ජයමහ, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, අතුල අධිකාරි, චන්දන ලියනආරච්චිලාගේ ලයාන්විත හඬවල්වලින් ලංකාවේ ස්ථාපිත කරපු සිංහල පොප් සංගීතයේ අන්තිම අවුරුදු කිහිපය. ලංකාවට 'සෙල්ටෙල්' කියලා ගඩොල් භාගයක් විතර බර ජංගම දුරකථන වර්ගයක් ආපු කාලය. හිර ඩෙනිම් ඇඳපු නංගිලා අයියලා වයිඩ් ලෙග් ට්‍රෞසර්ස් (පෝල්ට් කලිසං) වලට මාරු වුණු කාලය. බැගිය දාන එක, කොණ්ඩේ නෑඹිලි කට් එක කපන එක කරලියට ආපු කාලය. හිප්-හොප්, රැප් නමැති සංගීතයක අංකුර කාලය. එක පැත්තකින් හින්දි අනුකාරක ගීත රැල්ලක්. අනික් පැත්තෙන් යකඩ තලන සන්ෆ්ලවර් ප්‍රමුඛ සංගීත කණ්ඩායම්. (බොරු කියන්න ඕන නෑ, මමත් එතකොට සන්ෆ්ලවර් ෆෑන්. තාමත් ආසයි මුල් ගීත ටිකට).

තවත් පැත්තකින් සම්භාව්‍ය කලාකරුවෝ කලාව රැකගැනීමේ වාග් සටනක.

ඒ වගේ කාලෙකදී පාවෙමින් හිටපු ලංකාවේ ප්‍රේක්ෂකයන්ව නොහිතපු විදියට උස්සලා නැවත ලංකා මහපොළොවට පත බාපු ඒ ප්‍රතාපවත් 'වේරලියද්ද හඬ' ජනප්‍රිය සහ ලයාන්විත හඬවල් ඔක්කොම පරයමින් ජනාදරයට පත්වුනා. සජීව ප්‍රසංගවල ජයකෙහෙලි නැංවුවා. 'කුස පබාවතී පුවතක්', 'මල්වියනෙන් බැඳි මහබැද්දේ උන්', 'සාගරය බඳු වේදනාවෝ' වගේ ගීතවලින් ලංකා මහපොළොවේ සුවඳ වගේම ජීවන රටාවේ තිබුණු කටුකත්වය, ජීවන යතාර්ථය නැවත අපේ ඇස් ඉස්සරහින් තැබුවා. නටන අය නැටුවා. අහන අය ඇහුවා. ගමේ ගොඩේ තරුණයත්, නගරයේ තරුණයත් එකම නැවතුමකදී හමුවුනා.

කොළඹ ඉස්කෝලේ ගියාට 2001 දී වයස අවුරුදු 13 ක මං සතුව තිබුණු nokia 1300 ෆෝන් එකේ නාද රටාවලින් මම 'පින් මන්ද රංග භූමියේ' ටෝන් එක නිර්මාණය කරලා රිං ටෝන් එක බවට පත්කළා. 'අනේ මටත් එවහං !' ෆෝන් තිබුණු සම වයසේ අනිත් යාළුවොත් ඒක ඉල්ලා හිටියා. ට්‍රිප් යනකොට, පන්තියේ ටීචර් නැතිවෙනකොට වේරලියද්ද අපේ ප්‍රධාන චොයිස් එකක් වුනා. කොහේ කොතන හිටියත් 'පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ...' ගාගෙන අපි වේරලියද්ද ළඟට දුවගෙන ආවා.
 
ඔය කොයිකටත් වඩා අමාරු දෙයක් වේරලියද්ද එක ඇල්බම් එකකින්ම කළා. එතෙක් 'ගායකයෙක් වෙන්න නම් ලයාන්විත හඬක් තිබිය යුතුයි' කියන මිත්‍යාව ඔහු කුඩු කරලා දැම්මා. ගමේ හැදුණු, ගමේ වැඩුණු රළු පිරිමි හඬවල්වලට හැකියාවේ ප්‍රමාණය මත ලංකා සංගීත ක්ෂේත්‍රය ජයගන්න ලැබුනා. වේරලියද්දගේ 'පුංචි දඟකාරියේ' ගීතය ආලප් එකත් එක්කම සජීව ප්‍රසංගවල දක්ෂ විදිහට ගායනා කරපු චාමර වීරසිංහ, දමිත් අසංක වගේ තරුණ හඬවල් කැලෑවලින් එළියට ආවා.

වේරලියද්ද ගමේ කටුකත්වය ගැනම ගැයීමෙන් නැවතුනේ නෑ. වේරලියද්දගේ ගීත අතරේ හැමෝටම ගීතයක් තිබුනා. බොහෝ සංගීත ශෛලීන්ට අයත් ගීත තිබුනා. යුද්ධය යළි ඇරඹුණු කාලේ 'අර සඳ පළුවෙන්, නුඹව පෙනෙයි... පාළු සිතේ විඩා නිවෙයි' ගීතය අහගෙන බස්වල පොලුවලට තට්ටු දදා තඩි බෑග් එල්ලගෙන රාජකාරියට යන හමුදා සෙබළුන්ව මම දෑසින් දැක්කා. යොවුන් රතු කුරුස සමාජයේ වැඩකරන අතරවාරයේ මිතුරන් වෙනුවෙන් 'පෙරුම් පුරාගෙන ආ සංසාරේ' ගීතය මම ගැයුවා. පස්සේ රචකයෙක් වෙලා ඒ ගීතය විචාරය කරද්දී සියදිවි නසාගැනීම වගේ සමාජ ගැටළුවකට දුන් කලාත්මක විසඳුමක් හැටියට ඒ ගීතය කියවගන්න ලැබුනා. ගීතයේ අතරමැද සංගීත කොටස්වල රොක් ඇන්ඩ් රෝල් තාල ඇහුනා. ඒ තුළ ඔහු පෙන්නපු ජීවන සැණකෙළිය අපට ඇහුනා. ගීතය ඇතුළේ රෙගේ තාල ඇහුනා. ඒ තුළ ඔහු පෙන්නපු විප්ලවය අපට ඇහුනා. සංගීත ශිල්පියෙකු සහ කලාකරුවෙකු හැටියට වේරලියද්දට තිබුණු ශක්‍යතාවය අපට පෙනුනා.

'කොහේ කොතැනක දැනේවිදෝ අපට ලෝකයක්' කියලා වේරලියද්ද අහද්දී යොවුන් වයසේ කැරලිකරුවන් වුණු අපිත් උත්තර කල්පනා කළා. උත්තර හෙව්වා. 'මගේ ජීවිතේ පුරා, එකම සිතින් ප්‍රාර්ථනා' ගීතයේ කොතනදී කොයිතරම් නිහඬ වුනත් 'යළි නෑ.....' කියන ටික කෑගහලා කියන්න හිතෙද්දී අපි මිමිණුවා. 'මගේ ජීවිතේ පුරා' ගීතය ඇතුළේ 'සඟවා තබාගමි' කියන කොටස ආයෙත් අහන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. අපේ ජීවිතේ වේදනාවෝ එහෙම සඟවන්න පුළුවන්ද හැම ගායකයෙකුටම ?
  
සමහර ගීත සෘංගාර රසයෙන් පිරිලා. 'කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ' වගේ ගීතයක් ඇහෙනකොට කරවටක් වැවක බහිනවා වගේ සුන්දර හැඟීමකින් හිත පිරිලා යනවා. 'ඩිංගි නගෝ ඩිංගියා' වගේ එකක් ඇහෙද්දී නැටවෙන තරම්.  හැම ගීතයක් ඇතුළෙම වචනවලත්, තනුවෙත්, සංගීතයේත් මොකක්දෝ ලාංකික පිරිමිකමක් ගැබ්වෙලා තියෙනවා. ඒක තමයි වේරලියද්ද ලකුණ. ස්වර්ණවාහිනියෙන්ද කොහේදෝ ඔහුව මුලින්ම සංගීත වීඩියෝවක දකිනකොට ඒ දිග කොණ්ඩෙයි, නර්තන ශිල්පියෙකුගේ හැඩ තිබුණු ශරීරෙයි වෙනම විදිහක ගායකයෙකුව අපට පෙන්නුවා. හැබෑවටම පාරම්පරික නර්තන ශිල්පියෙකු වුණු ඔහුට කවි ගායනා හරහා ලැබිලා තිබුණු පන්නරය ගැන අහගත්තෙ අපේ පුංචි අම්මාගෙන්. ඒ දවස්වල ඔහුව ටීවී එකෙන් දැක්කත් ඇය හිනාවෙන්නෙ 'හම්මේ වේරලියද්ද අයියගෙ කට නම්' කියලා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේදී ඔහුට තිබිලා තියෙන්නේ හරිම විනෝදාත්මක කතාබහක්.

ඔහුගේ ගීත වගාවේ සරුම ගීයක් හැටියට තියන්න පුළුවන් එකක් තමයි වී... මල් පබා' එහි පද ගැනත් විශේෂ සටහනක් තැබිය යුතුමයි. වී ගහක් ඒ වගේ ලස්සනට වර්ණනා කරන්න පුළුවන් රචකයෝ තාම ලංකාවේ ඉන්නවා කියන සතුට... ඒ වගේම ඒ සංගීතයේ තියෙන තාලෙත් එක්ක වී ගහක් වැනෙන හැටි හිතින් මැවෙන එක... 'තුරුණු වියට උරුම කියන මල් පබා' කිව්වේ කෙල්ලෙකුට කියලා හිතුවනම් ආයෙ පාරක් අහලා බලන්න. ඒක වී ගස් ගැන ලියැවුණු ඉතාම අගනා ගීතයක්.

ඔහුගේ දෙවැනි කැසට් එක මගේ තාත්තා හරිම උනන්දුවෙන් ගෙදර ගෙනාවා. 'කන්ද පිරිමැද', 'අනේ ගැටවුනේ', 'නළල වියලවා විගසින්', 'රුවන්වැල්ල', 'සෙබලානනේ සංග්‍රාමයේ' වගේ සින්දු මම කැසට් එක ඉවර වෙනකම් ඇහුවේ එක තැන ඉඳගෙන. අදටත් ඒ ගීත ඇහෙද්දී හිත දඟලන ගතිය පොඩ්ඩක් නවතිනවා. සංගීත ක්ෂේත්‍රයට ඇවිත් පළමු දශකය ගෙවෙන තාක්ම වේරලියද්ද හිටියේ සජීව ප්‍රසංගවල වැඩිම ජනප්‍රියත්වයක් තිබුණු ගායක ගායිකාවන්ගෙන් පළමු දෙතුන් දෙනා ඇතුළත. ඔහුට ගොඩක් ළඟින් යන හඬවල් කොච්චර ආවත් වේරලියද්ද නෙමෙයි පහළට ගියේ. ඔහුට ඒ කවුරුත් එක්ක ලොකු ප්‍රශ්නයක්වත් අභියෝගයක්වත් තිබුනෙත් නෑ.

පස්සේ විවිධ හේතූන් මත විවිධ ප්‍රශස්ති ගීත පවා ගයන්න සිද්ධ වුනාට වේරලියද්දගේ ස්ව නිර්මාණවල බර කවදාවත් අඩුවුණේ නෑ. කාලෙන් කාලෙට එකේක විදිහේ සංගීත රටා, ගායක ගායිකාවෝ සහ ඊට අදාළ නැති අය විසින් පවා සංගීත ලෝකය ආක්‍රමණය කරද්දී වේරලියද්ද පතාක ගල්කුලක් වගේ ඒ ඔක්කොම මැද නොසෙල්වී හිටියා. ඔහුගේ ගීත පුදුම විදිහට සංගීත කණ්ඩායම් ප්‍රසංග අතරත් ගායනා වෙනවා. ඒත් අද වෙනතුරු 'වේරලියද්දට වඩා හොඳට කිව්වනේ' කියලා හිතන්න පුළුවන් ගායනයක් මම අහලා නෑ. ඒක කවදාවත් වෙන එකකුත් නෑ. අදටත් ඔහුගෙ පරණ ගීතයක් ඇහෙන ඕනෑම තැනකදී කන ඒ පැත්තට දුවන එක වළක්වගන්න බැරි තරම්.

අමරදේව ශුරීන්, නන්දා මාලනිය, වික්ටර් රත්නායකයන් ගැන අපි කතා කරමු. ඒත් එතනින් මෙහාත් අපට විශිෂ්ට සංගීතඥයන් හමුවෙනවා කියන එක අපි අමතක නොකර ඉමු. අපේ කරුමෙට අපට ගසල්, සුෆි වගේ උප සංගීත ක්ෂේත්‍ර හෝ එවැනි සංගීතය චිත්‍රපටවලට යොදාගැනීමක් නෑ. තිබුනානම් වේරලියද්ද ස්ථානගත වෙන්නේ ඉන්දියාවේ ගුලාම් අලී, ජග්ජිත් සිං වගේ විශිෂ්ටයන්ගේ මට්ටමේ. 'සිංහල සංගීතයේ වේරලියද්ද ලකුණ' යන මැයෙන් ලියපු 'සේනානායක වේරලියද්ද වරුණ' මෙතනින් නිමා කරන්නේ ඔබට කැමති අදහස් දැක්වීමක් කරන්න ඉඩ ඇරලා.

 - අසංක හදිරම්පෑල