තාමත් තියෙන්නෙ 83 දි තිබුණු තත්ත්වයම නං කොහොමද දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නෙ - ශානක්‍ය රාසමානික්කම්

තාමත් තියෙන්නෙ 83 දි තිබුණු තත්ත්වයම නං කොහොමද දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නෙ - ශානක්‍ය රාසමානික්කම්

24 November 2020 05:33 pm

දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නම් ඔවුන්ගේ ගැටලු නිවැරදිව හඳුනා ගත යුතු බවත්, අද තිබෙන්නේද 83 දී තිබුණු තත්ත්වය හා සමාන තත්ත්වයක්ම නම් කිසිවිටෙකත් දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වන බව මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍ය රාසමානික්කම් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අයවැය විවාදයේදී අදහස් දක්වමිනි.

83 වසරේදී ඇති වූ අවාසනාවන්ත තත්වය හේතුවෙන් දෙමළ ජාතිකයන් විශාල ප්‍රමාණය විදෙස්ගත වූ බවත් එසේ ආරක්ෂාව පතා විදෙස්ගත වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් මේ වනවිට ලොව ප්‍රමුඛ රටවල ප්‍රධාන තනතුරුවලට පවා පත් වී තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසනවා. දෙමළ ජනතාවගේ ගැටලු නිවරදිව හඳුනාගෙන ජාතික ප්‍රශ්නයට නිවැරදි විසඳුම් ලබාදිය හැකි නම් එදා විදෙස්ගත වූ දෙමළ ප්‍රජාව බොහෝ දෙනෙකු නැවතත් මෙරටට පැමිණෙනු ඇති බවත් එය ආර්ථික වශයෙන් රට දියුණු කිරීම සඳහා ප්‍රබල වාසියක් බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ත්‍රස්තවාදය ඇතිවූයේද ජාතික ගැටලුවට අවශ්‍ය අවස්ථාවේදී විසඳුම් ලබාදීමට අසමත් වූ නිසා බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ත්‍රස්තවාදය අවසන් කිරීමට සමත් වී ඇති නමුත් ත්‍රස්තවාදය ඇතිවීමට බලපෑ ගැටලු සඳහා තවමත් විසඳුම් ලබා දී නොමැති බවයි.

රාසමානික්කම් මන්ත්‍රීවරයා සිංහල භාෂාවෙන් මෙම අදහස් දැක්වීම සිදු කිරීම විශේෂත්වයක් වන අතර ඔහු එහිදී පළකළ අදහස් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිව තිබෙනවා. මෙවර පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන තවමත් 30 හැවිරිදි වියේ පසුවන රාසමානික්කම් මහතා මහනුරව ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති අතර ඔහු, දිගු කලක් පදිරිප්පු ආසනය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. රාසමානික්කම් මහතාගේ මුණුපුරෙකු වේ.

ආණ්ඩුව නියෝජනය කරන මඩකළපුව දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රධානීන් සම්බන්ධයෙන් රාසමානික්කම් මන්ත්‍රීවරයා දැඩි විවේචනයක් එල්ල කළ අතර ඔහු අවධාරණය කළේ එවැනි පුද්ගලයන් සමග දෙමළ ජනතාවට සේවයක් සිදු කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව නොලැබෙනු ඇති බවයි. එසේම ‍ජනාධිපතිවරයා සමීපයේ සිටින්නේ මෙවැනි පුද්ගලයන් සමග නම් ජනාධිපතිවරයා ෆේල් වීම වළක්වා ගත නොහැකි වනු ඇති බවත් කිසි විටෙකත් ලී ක්වාන් යූ කෙනෙකු විය නොහැකි බවත් රාසමානික්කම් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

UN