LPL ගැන අර්ජුණගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න පත්තරයක් !

LPL ගැන අර්ජුණගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න පත්තරයක් !

16 November 2020 05:18 pm

ලබන 26 වැනිදා ආරම්භ වන පළමු ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන්, 96 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඔහු සිය ලිපිය මගින් අවධාරණය කරන්නේ තරග පාවාදීම් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකු තරගාවලි අධ්‍යක්ෂක ලෙස කටයුතු කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට කෙතරම් ගැලපෙන්නේද යන ගැටලුව මතුවන බවයි.

මීට අමතරව තරගාවලිය සම්බන්ධයෙන් අර්ජුණ රණතුංග මහතා ගැටලු කිහිපයක් මතුකර තිබෙනවා.

01. මෙම තරගාවලිය අයි. සී. සීය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?
02. මෙම තරගාවලිය අයි. සී. සී දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?
03. අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ?
04. ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )
05. මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)
06. කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?

දැනට වසර කිහිපයකට පෙර ආරම්භ කිරීමට නියමිතව තිබූ එල්පීඑල් තරගාවලිය විවිධ හේතු නිසා කල් දැමීමට සිදු වූ අතර ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ මෙම වසරේදී තරගාවලිය කෙසේ හෝ පවත්වන බවයි. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් නැවතත් කල් දැමීමට සිදු වූ අතර අවසානයේදී නොවැම්බර් 26 වැනිදා තරගාවලිය ආරම්භ කිරීමට තීරණය කෙරිණි.

තරගාවලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් තවමත් ගැටලු ගණනාවක් පවතින අතර ප්‍රධාන ගැටලුව වන්නේ තරගාවලියට සහභාගි වන බව පැවසූ ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් රැසක් සහභාගි නොවීමයි. එම තත්වය හමුවේ තරගාවලියේ ගුණාත්මකභාවය මෙන්ම ප්‍රේක්ෂක ආකර්ශනයද පහත වැටී තිබෙනවා.

UN