ණය අර්බුදයෙන් ගොඩ එන්න IMF එක්ක කතා කරන්නම වෙනවා - හර්ෂ (VIDEO)

ණය අර්බුදයෙන් ගොඩ එන්න IMF එක්ක කතා කරන්නම වෙනවා - හර්ෂ (VIDEO)

29 October 2020 05:02 pm

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා ආරම්භ කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.

ඒ,අද (29) සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බිඳ වැටී ඇති විශ්වාසය යළි ගොඩ නගා ගැනීම සඳහාද ජාත්‍යන්තරය සමඟ ලංකාව පියවර ගත යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. 

මේ වන විටත් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයකට පැමිණ ඇති අතර එය කිසිලෙසකින්වත් රටට හොඳ කාරණයක් නොවන අතර යම් කිසි අයුරකින් ණය ගෙවා ගැනීමට නොහැකි වුවහොත් එය වසර 10කින් රට ආපස්සට යාමක්  බවයි හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ. 

ඉදිරි මාස 12ක් පමණ කාලය තුළ ඩොලර් බිලියන හයක හතක ගෙවීම් කිරීමට ඇති බවත් ඉදිරි වසර පහක පමණ කාලය තුළ ඩොලර් බිලියන 25ක පමණ ණය ගෙවීමට ඇති බවයි හෙතෙම කියා සිටියේ. 

ගෙවීමට ඇති මුදල් මෙපමණ ප්‍රමාණයකින් ඉහළ ගියද ඩොලර් ආදායම සිඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවද ඔහු සඳහන් කරන ලදී. 

''ජාත්‍යන්තරයෙන් ණය ගන්න බැරි තත්ත්වයට අපි තල්ල වෙලා. අපිට පුළුවන්ද  40% ක පොළියට ණය ගන්න ඇමරිකන් ඩොලර් වලින්. එහෙම නම්  අපි කොහොමද මේ ජාත්‍යන්තර ණය ගෙවන්නේ කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි විපක්ෂය විදිහට රජයට කියන්නේ දේශපාලනයට එහා ගිය වැඩපිළිවෙලකට යන්න ඕනේ කියල. මෙතැනදී අනිවාර්යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ජා කරන්න වෙනවා.'' යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

ASK