පොම්පියෝ ගියාපියෝ

පොම්පියෝ ගියාපියෝ

28 October 2020 11:00 pm

පොම්පියෝට විරුද්ධතා ඇත්තේ මුහුණුපොතේ හා චීන තානාපති කාර්යාලෙ  පමණ ද? නලින් බණ්ඩාරල පොම්පියෝට විරුද්ධ නැහැ. ඔවුන්ගෙ ප්‍රශ්නය ආණ්ඩුවේ හිතවතුන් සාමාජිකයන් පොම්පියෝට විරුද්ධ නැත්තෙ ඇයි කියන එක පමණයි. ආණ්ඩුවේ ඇතැමුන් විරුද්ධ නැතුව නොවෙයි.  මා නම් පොම්පියෝ ආ ඒකටත් විරුද්ධයි. චීන විදේශ ඇමති ආ එකටත් විරුද්ධයි. මේ සීතල යුද්ධයට අපි පටලැවෙන්නෙ හොඳ නැහැ. 

අපේ රටේ වාමාංශික දේශපාලනයක් හා දක්‍ෂිණාංශික දේශපාලනයක් තියෙනවා. වාමාංශික කියන්නෙ වමක් නොවෙයි. වමක් දැන් නැහැ. වමාල ටිකක් මුහුණුපොතේ කුණු කුණු කාගනවා. කාටවත් ඒක ඇහෙන්නෙ නැහැ. වමාලත් වැඩි කල් යන්න ඉස්සෙල්ල අතුගෑවිලා යනවා. වමාලට දෙඩුම් ශිල්පීන් කියන නම හොඳය කියල මට සති දෙකක් පමණ හිතිල තිබුණා. ඔවුන් දොඩවන්නන් හැටියට හඳුන්නන්න ඕන කියල පස්සේ හිතුවා. ඒත් ඒකත් හොඳ වැඩියි. ඔවුන් කුණු කුණු ගාන්නන් පමණයි. ඔවුන්ට ස්වාමි පුරුෂයා මිය ගිය කාන්තාවන් තරම්වත් කණගාටුව ප්‍රකාශ කරගන්න බැහැ. වමාල වම නැතිවෙච්ච එක ගැන කුණු කුණු ගානවා.

ඒ වුණත් වාමාංශික දේශපාලනයක් තියෙනවා. ඒක ටිකක් කල් තියේවි. මේ වාමාංශික දේශපාලනයෙ මාක්ස්වාදය අනිවාර්ය නැහැ. ශ්‍රී ල නි පක්‍ෂයට එ ජා පක්‍ෂයෙන් ආ අයත් කරන්නෙ වාමාංශික දේශපාලනයක්. ඒ විතරක් නොවෙයි ජාතිකවාදීන්ගෙනුත් විශාල පිරිසක් වාමාංශික දේශපාලනයක ඉන්නෙ. ගුණදාස අමරසේකරගෙ හිටන් මුහුණු පොතේ මගේ ලිපිවලට කැමැත්ත දක්වන අයත් (අමරසේකර ඒ ලිපි කියවන්නෙවත් නැහැ) දක්වා අය වාමාංශික දේශපාලනයෙ. අනගාරික ධර්මපාලතුමාවත් ඒ දේශපාලනයට දාගන්න ඔවුන්ගෙ කැමැත්තක් තියෙනවා. මා නම් වාමාංශික දේශපාලනයකවත් නැහැ. මා කියන දේට බොහෝ ජාතිකවාදීන් ද කැමති නැහැ. අදින් පසු අකමැති සංඛ්‍යාව වැඩි වේවි.

මෙරට වාමාංශික දේශපාලනය ජනමාධ්‍යයේ සාහිත්‍ය කලා ක්‍ෂෙත්‍රවල අති බලවත්. ඒ ක්‍ෂෙත්‍රවල ආධිපත්‍ය දරන්නෙ වාමාංශික දේශපාලනයක යෙදෙන්නන්. ජනමාධ්‍යවේදින් කලාකරුවන් සාමාන්‍යයෙන් වාමාංශික දේශපාලනයක යෙදෙන්නන්. කලාවෙ නමක් හදාගන්න නම් වාමාංශික දේශපාලනයෙ කලා කෘති බිහි කරන්න ඕන. වාමාංශික දේශපාලනයක යෙදෙනව කිවුව ම ඔවුන් පක්‍ෂයක සංවිධානයක ඉන්නව කියන එකක් කියැවෙන්නෙ නැහැ. අර වාමාංශික අදහස් කියන ඒවා දරණ එක තමයි කෙරෙන්නෙ. මේ අදහස් නිශ්චිත වශයෙන් අර්ථදක්වන්න බැහැ. ඒත් පොදුවෙ යටත්විජිත විරෝධයක් නව ලිබරල් විරෝධයක් වගේ විරෝධත් සමාජවාදී කියල හිතන රටවලට පක්‍ෂපාතීත්වයකුත් තියෙනවා. ඔවුන් පොදුවේ ඇමරිකාවට (එක්සත් රාජ්‍යවලට) විරුද්ධයි. ඒත් චීනයට විරුද්ධ නැහැ. චීනෙ ඇති සමාජවාදයකුත් නැහැ.

ඒත් ඔවුන්ගෙ මේ බටහිර විරෝධය බටහිර දැනුම හමුවේ නවතිනවා. ඔවුන් බටහිර දැනුම් ආධිපත්‍යය පිළිගන්නවා. බටහිර දැනුම අවශෝෂණය කිරීම හා බටහිර දැනුම් ආධිපත්‍යයට විරුද්ධවීම කියන්නෙ දෙකක් කියන එක බොහෝ දෙනකුට තේරෙන්නෙ නැහැ. කොළඹ විශ්වවි්‍යාලයෙ ස්වාදීනයන්ගෙන් පටන් ගත්ත ම අද දක්වාත් මේ අනවබෝධය තියෙනවා. අපට ලෝකයෙන් වෙන් වෙලා ඉන්න බැරි බව ජාතිකවාදය ගැන කුණු කුණු ගාන පඬි නැට්ටන් කියන්න හදනවා. මොකෝ අපි ඒක දන්නෙ නැද්ද? ලෝකෙන් වෙන් වෙලා අපි කොහෙ යන්න ද? පඬි නැට්ටන් පැත්තකින් තියන්න. ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අයත් බටහිර දැනුම ඉදිරියේ, ඊනියා යථාර්ථය ඉදිරියේ දණ ගහනවා. 

අද ලෝකය කඳවුරු දෙකකට බෙදිලා. එක් කඳවුරක චීනය හා රටවල් එකක් දෙකක් හා ඇතැම් රටවල වාමාංශික දේශපාලනයේ යෙදෙන අය. අනෙක් කඳවුරේ අනෙක් රටවල්. ඒ කඳවුරේ ප්‍රධානියා එක්සත් රාජ්‍ය. එහි විදේශ ඇමති තමයි පොම්පියො. මෙරට වාමාංශික දේශපාලනයෙ ඉන්න අයට පේන්නෙ එම්සීසී ගිවිසුම සෝෆා ගිවිසුම ආදිය. ඒ ගිවිසුම් ද අර කඳවුරු දෙකේ සීතල යුද්ධයේ අංග හැටියට දකින්න ඔවුන්ට බැහැ. හම්බන්තොට වරාය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, එම්සීසී තිරුව අපි ආර්ථික වශයෙන් දුර්වලවීමට වඩා මානසික වශයෙන් දුර්වල වීම නිසා ඇතිවන ප්‍රශ්න. එම්සීසී සෝෆා ගිවිසුම්වලට අප විරුද්ධ වන්න ඕන. ඒත් ඒ ඊනියා වාමාංශික දේශපාලනයක ඉඳලා නො වෙයි. අපට සමස්තය දකිනව කියන එක නුහුරු එකක්. 

පොම්පියො ලංකාවට ආවෙ ඉන්දියාවෙන්. ඔහුට වඩා වැදගත් ඉන්දියාව. ඉන්දියාවටත් චීනයට මුහුණ දීමට පොම්පියෝ නැතිව බැහැ. ඉන්දියාව එක්ක එක්සත් රාජ්‍ය බෙකා හා මිස්ටා නමින් ගිවිසුම් අත්සන් කරල. මේ චීනයට විරුද්ධ ව. ඉන්දියන් සාගරයේ උපායික ක්‍රියා මාර්ගත් මෙහි දී සාකච්ඡා වෙන්න ඇති. 

ඉදිරියේ දී ඉන්දියන් සාගරයත් මේ කලාපයේ රටවලුත් මහා ප්‍රශ්නවලට මුහුණ දේවි. කොවිඩ් මොකක් ද කියල හිතේවි. හම්බන්තොට චීන නාවික හමුදාව නැංගුරම් දා ගත්තොත් අපි මොකද කරන්නෙ. මා වාමාංශික නොවන ජාතික දේශපාලනයක යෙදෙන කෙනෙක්. අපි එක්සත් රාජ්‍යවලටවත් චීනයටවත් පක්‍ෂපාතීත්වයක් දක්වන්න ඕන නැහැ. එක්සත් රාජ්‍ය අපට කියනවා අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් කළ යුතු ආකාරය කෙසේ ද කියා. එයට චීන තානාපති කාර්යාලය පිළිතුරු දෙනවා.  අපේ විදේශ ප්‍රතිපත්තිය විය යුතු පරිදි ම ලංකාව පළමුව යන්නයි. 

බණ්ඩාරනායක මැතිණියගේ කාලයෙ අපට හොඳ විදේශ ප්‍රතිපත්තියක් තිබුණා. මහින්ද රාජපක්‍ෂ  මෙන්ම දිනේෂ් ගුණවර්ධනත් ඒ දැන ඉන්න ඕන. අප නැවතත් ඉන්දියන් සාගර කලාපයට නායකත්වය දෙන්න ඕන.  චීන ඇමරිකන් සීතල යුද්ධය ඇරඹිලා. මේ කලාපයේ රටවලට නායකත්වයක් නැහැ. අප ඉන්දියන් සාගරය සාම සාගරයක් කර ගැනීමට නායකත්වය දිය යුතුයි. අපි අහිතකර ගිවිසුම්වලට විරුද්ධ වන ගමන් සාධනීය යමක් කරන්න ඕන. 

ඉස්සර අපේ ශිෂ්‍ය කාලයෙ විරෝධය කියා ට්‍රොට්ස්කිවාදී කණ්ඩායමක් තිබුණ. ඒක තමයි දේශපාලනය විරෝධයට පමණක් යොමු කළ සංවිධානය. ඒකෙ අය නිතර ම හිටියෙ දැන් දැන් පොලීසියෙන් අල්ලන් යන්න එයි කියල. පොලීසියෙන් ආවෙ නැති නිසා ඔවුන් ඕස්ත්‍රේලියාවට ගියා. එදත් අදත් මාක්ස්වාදීන්ට වෙන කරන්න දෙයක් තිබුණෙත් නැහැ. විරෝධයේ විකාශයෙන් තමයි කම්කරු මාවත X කණ්ඩායම ආදිය බිහිවෙලා අද කුණු කුණු දේශපාලනයට ඇවිත් තියෙන්නෙ.

මා කරුණු එකතු කරන්නෙකු නො වෙයි. මා කතා හදන්නකු පමණයි. අද ආණ්ඩුවේ ඉන්න දේශපාලන කරුණු හොයන්න දක්‍ෂ අයට බණ්ඩාරනායක මැතිණියගේ විදේශ ප්‍රතිපත්තිය හදාරන්න බැරි නම් අධ්‍යයනය කරන්න බැරි නම් මොකක් හරි කරන්න පුළුවන් ද? ඒ ප්‍රතිපත්තිය සර්ව සම්පූර්ණ පරමාදර්ශී එකක් කියා මා කියන්නේ නැහැ. එහෙත් අපට ඒ විදේශ ප්‍රතිපත්තියෙන් උපාය මාර්ගවලින් ගන්න පුළුවන් පාඩම් තියෙනවා. අප කිසිම රටක් තරහ කරගන්න ඕන නැහැ. ඒ වගේ ම කිසිම රටක් සමග මගුල් කන්න ඕනත් නැහැ. අපි ඉක්මණින් ඊනියා වාමාංශික දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන. ඒ කියන්නෙ දක්‍ෂිණාංශික දේශපාලනයක නිරත වෙන්න ඕන කියන එක නො වෙයි.        

- Kalaya