අද ස්මාර්ට් ෆෝන් තියෙන අයට ෆෝන් සෙක්ස් උගන්නන්න ඕන නැහැ - මොහාන් රාජ් මඩවල

අද ස්මාර්ට් ෆෝන් තියෙන අයට ෆෝන් සෙක්ස් උගන්නන්න ඕන නැහැ - මොහාන් රාජ් මඩවල

26 October 2020 06:00 pm

මොහාන් රාජ් මඩවල, ඔහුගේ අලුත්ම නවකතාව ලෙස අයි.ඩී. එළි දක්වන්නේ දෑ අවුරුද්දකට පසුවය. එසේම මාගම් සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා, රැජින, කලම්බො යන නව කතා පහකටද පසුවය. මේ ඔහුගේ අලුත්ම නවකතාව පිළිබඳව අප කළ කතාබහකි.

ඔබ මීට කලින් රචනා කළ නවකතා සියල්ලම ලියවී තිබෙන්නේ ඉතිහාසය පදනම් කරගෙන. ඔබ වර්තමාන අත්දැකීමක් ප‍්‍රථම වතාවට අයි.ඩී. නවකතාවට පාදක කර ගන්නවා. මොකක්ද ඒකට හේතුව?

ඔව්. මිට කලින් මගේ අතින් ලියවුනු නවකතා සියල්ලටම පාදක වුනේ අප කවුරුවත් ජීවත්ව නොසිටි පරිකල්පනීය ඉතිහාසය. ඉතිහාසය කියන්නේ පරිකල්පනීය නිර්මාණයක්. ඒකට සැබෑ දත්ත, විස්තර, ලේඛන පදනම් වෙනවා තමයි. නමුත් ඉතිහාසඥයෙක්ගෙ අතින් වුනත් ඒ ඉතිහාසය හැඩවැඩ වෙන්නේ එයාගෙ පරිකල්පනයෙන්. මේ පරිකල්පනය කියන්නේ යම් ෆැන්ටසිමය හැඩයක්. ඒක ඇතුළේ කරනම් ගහන්න මං ආසයි. හැබැයි ඒ ඉතිහාසය හරහා වුණත් මං ප‍්‍රශ්න කළේ අපි ගත කරන වර්තමානය. නමුත් කෙළින්ම වර්තමානය සම්බන්ධ වෙන අත්දැකීමක් ලියන්න ඕන කියන එක, කලක ඉඳන් මගේ හිතේ තිබුණු අදහසක්. ඒක තමයි අයි.ඩී. විදියට එළියට එන්නේ.

නමුත් අයි.ඩී. නවකතාව තුළින් වූවත්, ඔබේ ඉතිහාස නවකතාවල තිබුණු ෆැන්ටසිමය හැඩයට ඔබ තිත තියලා නැහැ. අයි ඔබ එය වර්තමාන අත්දැකීමක් කියන්නත් දිගටම ඒ ෆැන්ටසිය භාවිතා කරන්න හිතුවේ?

අපේ මුළු ජීවිතයම ෆැන්ටසියක් විදියට දකින්න මං කැමතියි. අනික් අතට අපි හැමෝම කරන්නේ අපේ බාහිර ලෝකේ ප‍්‍රශ්නයි, අභ්‍යන්තර ලෝකේ ප‍්‍රශ්නයි වැඩිවන කොට අපි තනි තනිව හදා ගත්ත ෆැන්ටසි ලෝකවල සැරිසරන එක. මොකද අපේ ජීවිතවල අර සැබෑ යථාර්තය කුණුගඳ ගහන තරම් නීරස නිසා. දැන් වර්තමානයේ මේකට හොඳ විකල්පයක් අපි ආදේශ කරගෙන තියෙනවා. ඒ තමයි ස්මාර්ට් ෆෝන් එක. අර ප‍්‍රශ්න පිරුණු නීරස සැබෑ ලෝකය අපට අමතක කරන්න පුළුවන්, මේ ස්මාර්ට් ෆෝන් එක හරහා ෆේස්බුක්, වට්ඇප් වැනි සිහින ලෝකයට ගියාම. අපි දැන් මේකට කොච්චර ඇබ්බැහි වේලාද කියනව නම්, දැන් අපේ සැබෑ ලෝකය වෙලා තියෙන්නේ මේ සිහින ලෝකය. ඒ කියන්නේ දැන් අර ෆැන්ටසි එක රියල් වෙලා. මොකද දවසේ වැඩි කාලයක් අපි අපේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක ගත කරන කොට ඒ ෆැන්ටසි ලෝකය රියල් වෙන එක වළක්වන්න බැහැ. එතකොට මේ ඔබයි මමයි කතා කරන සැබෑ ලෝකය තුළ අපි පණපිටින් මිය යන එක වළක්වන්නත් බැහැ. ඒක තමයි මම අයි.ඩී. තුළින් කතා කරන්නේ.

ඇයි ඔබේ මේ නවකතාවට අයි.ඩී. කියන ඉංග‍්‍රීසි නම දැම්මේ?

නෑ මේක ඉංග‍්‍රීසි නමක් නෙමෙයි. මේක ඉංග‍්‍රීසි භාෂාව හරහා ඇවිත් සිංහලකරණය වෙච්ච සිංහල වචනයක්. ඒ විදිහට පෘතුගීසි, ලන්දේසි භාෂා වලින් ඇවිත් සිංහලකරණය වෙච්ච වචන කොච්චර තියෙනවද ? අයි.ඩී. කියන්නේ හැඳුනුම්පත හෙවත් අයිඩෙන්ටිටි කියන එක. නිකන් සරල උදාහරණයක් හිතන්න. ඔබ ඔබේ වාහනයෙන් ගමනක් යනවා. පොලිස් නිළධාරියෙක් හදිසියේ වාහනය නතර කරනවා. ඔහු ඔබේ හැඳුනුම්පත ඉල්ලනවා. සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් ඔහු ඔබෙන් අහන්නේ, මට ඔයාගෙ හැඳුනුම්පත දෙන්න කියල නෙමෙයි. මට ඔයාගෙ අයි.ඩී. එක දෙන්න කියල.

ඔබ කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක අපිට අපේ හැඳුනුම්පත හෙවත් අයි.ඩී. එක නැතිවෙලා කියලද?

හරියටම හරි. මං ඉස්සෙල්ලත් කීවේ ස්මාර්ට් ෆෝන් එක ඇතුලෙ තියෙන ෆැන්ටසි ලෝකේ දැන් අපිට රියල් වෙලා. මොකද මහ පොළොව මත තියෙන අපේ ජීවිතේට වඩා ඒක මරු. එතකොට මහපොළොව මත තිබෙන අපේ සැබෑ ජීවිතය දවසින් දවස මිය යමින් තියෙන බව අපිට දැනෙන්නේ නැහැ. නමුත් අපි ඇත්තටම මිය යමින් සිටින්නේ. ඒ මිය යාමත් සමග ඔබේ සහ මගේ අනන්‍යතාවය හෙවත් අයි.ඩී. එක නැතිවෙමින් තිබෙන්නේ. නැත්නම් අපි කවුද කියලා අපිටම අඳුන ගන්න බැරිවෙලා තියෙන්නේ.

නමුත් මේ නවකතාවට ඔබ එකතු කර ගන්නේ මේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක තියෙන වර්තමාන කතාව විතරක් නෙමෙයි. 70 දශකයේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයත් මේක ඇතුලේ තියෙනවා. ඒකට හේතුව අර ඉතිහාස කතාවලට පෙම් බඳින අතීත කාමයෙන් ඔබට ගැලවෙන්න බැරි නිසාද?

කොහෙත්ම නෑ. හැම කාලේදිම ඒ කාලේට ආවේණික ෆැන්ටසි අපිට තිබුණා. 70 දශකයේ අපේ ෆැන්ටසි තිබුණේ ජනප‍්‍රිය කළුසුදු චිත‍්‍රපටි එක්ක. අයි.ඩී. පොතේ ඉන්න සම්පත් ස්මාර්ට් ෆෝන් යුගයේදී කවීෂ හා දහම් බවට පත්වෙලා තමන්ගේ අනන්‍යතාවය නැති කර ගන්නවා වගේ එයාගේ අම්මයි, තාත්තයි හැත්තෑව දශකයේ කළුසුදු චිත‍්‍රපටි එක්ක ඒගොල්ලන්ගේ අනන්‍යතාවය නැතිකර ගන්නවා. නැත්නම් චිත‍්‍රපටි හෝල් එකේ දකින විජය මාලනී ෆැන්ටසිය තමාගේ ජීවිතය තුළ ඇත්ත බවට පත්කර ගන්නවා. 80 දශකයෙදී මේ ෆැන්ටසිය කළුසුදු රූපවාහිනියට විතැන් වෙනවා. 90 දශකයේදී ඒක කළර් ටී.වී එකටයි, මෝබයිල් ෆෝන් එකටයි මාරු වෙනවා. 2005 න් පස්සේ ෆේස්බුක් එකට වගේම, 2012 න් පස්සේ වට්ස්ඇප්, ස්මාර්ට් ෆෝන් එකටත් ඒක ආයිමත් මාරු වෙනවා. මේ විදියට අපි හැමදාම හිටියේ ඒ ඒ කාලය තුළ අපිට හදලා දීපු ෆැන්ටසි තුළ. නූතන ලිබරල් ධනවාදය තුළ තමන්ගේ රටේ ජනතාව මේ වගේ ෆැන්ටසි තුළ හිරකරලා තිබ්බම, ඒ රට පාලනය කරන එක ඒ රටේ පාලකයන්ටත් ලේසියි. ඉතිං මේක වෙළඳපොළ ආර්ථිකය තුළ සංවිධිත මාෆියාවක්.

ලිංගිකත්වය හෙවත් සෙක්ස් ගැන විවෘතව කතා කිරීම ඔබේ නවකතාවල ඔබට ආවේණික අයි.ඩී. එකක්. නැත්නම් අනන්‍යතාවයක්. අයි.ඩී. නවකතාව තුළ ඔබ මේ මාතෘකාව තවත් නූතන කරනවා. එනම් ෆෝන් සෙක්ස් ගැන පවා ඔබ මේ නවකතාව තුළ විවෘතව කතා කරනවා. පාඨකයන් ආකර්ශනය කර ගන්නද ඔබ මේ උපක‍්‍රම පාවිච්චි කරන්නේ?

මට හිතෙන විදියට ලිංගිකත්වය මග හැරලා මිනිසා නම් සත්වයාගේ සැබෑ ජීවිතය ගැන කතා කරන එක තේරුමක් නැහැ. මොකද සෙක්ස් කියන්නෙ මිනිසාගේ ජීවිතයෙන් අති විශාල කොටසක්. මිනිස් පරිණාමය සිද්ධ වෙන්නෙම ඒක පදනම් කරගෙන. බෞද්ධ දර්ශනය නූතන ලෝකයට සමීප කළ ඕෂෝ නම් දාර්ශනිකයා පවා මේක පැහැදිලිව කියල තියෙනවා. අයි.ඩී. නවකතාවේ සම්පත් කියන කතා නායකයා 90 දශකයේ තරුණයෙක්ව සිටිද්දී ඔහු මේ සෙක්ස් නැමති හැඟීම විඳින්නෙ බයෙන්. වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපටි බලන්නෙ ගැහි ගැහී හොරෙන්. නමුත් 2020 දී තරුණයෙක් මේ හැඟීම විඳින්න ඒ වගේ දුක් විඳින්නෙ නැහැ. අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකේ එක ස්පර්ශයකින් ඔහුට මේ හැඟීම විඳින්න පුළුවන්. ඒ නිසා අපි සෙක්ස් කියන එක මාර මැජික් එකක් කියලා මෙහෙම කෑ ගැහුවට මේ නූතන පරම්පරාවට ඒක තවදුරටත් මැජික් එකක් නෙමෙයි. ඉස්සර එක ගෙදරක එක ඇඳකට සීමා වෙලා තිබුණු මේ ගැහැණු පිරිමි සම්බන්ධතාවය දැන් මේ ස්මාර්ට් ෆෝන් එකේ වීඩියෝ ඇමතුම් හරහා ගෙවල් දෙකක දෙතැනකට මාරු වෙලා තියෙනවා. මේ සමාජීය වෙනස්වීම විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා විෂය යටතේ ශිෂ්‍යයන්ට පවා උගන්වන දෙයක්. ඉතිං අයි.ඩී. නවකතාවේ අන්තර්ගතයට මේ කතාව සම්බන්ධ නම්, මං ඒ ගැන කතා නොකර මගහරිනවා කියන්නෙ මං ඒ නිර්මාණයට අසාධාරණයක් කරනවා කියන එක.

අයි.ඩී. නවකතාවේ සම්පත් කියන්නේ 70 දශකයෙන් පටන් ගෙන 2020 දක්වා විහිදෙන චරිතයක්. එ් චරිතය හරහා තමයි ඔබ මේ සමාජයීය වෙනස්වීම අපිට පැහැදිලි කරන්නෙ. මේ චරිතය නිර්මාණය කරන්න ඔබට පසුබිම් වෙන්නෙ මොනවගේ අත්දැකීම්ද?

ඇත්තම කිව්වොත් සම්පත්ගෙ චරිතය නිර්මාණය වුනේ මගේ ජීවිත අත්දැකීම් එක්ක. මගෙ අම්මයි තාත්තයි හැත්තෑව දශකයේ කළුසුදු චිත‍්‍රපටිවලට ආදරය කරපු අය. ඒ වගේම අපි, 90 දශකයේදී අපේ පෙම්වතියන්ට සුවද කොළවල ලියුම් ලියපු අය. අද ස්මාර්ට් ෆෝන් එකේ මැසේජ් වලින් ආදරය කරන පෙම්වතුන්ට ඒක හිතාගන්නවත් බැරුව ඇති. ඒ කාලේ ගැහැණු ළමයෙක්ට ආදරේ ප‍්‍රකාශ කරනවා කියන්නේ ඇඟ කිළිපොලා යන වැඩක්. ඒ වගේම මේ නවකතාවේ සම්පත් වගේ, ඒ ලෙවල් ඉවර වුණ ගමන් මාත් තැපැල් දෙපාර්තමේන්තුවේ රස්සාවක් හම්බවෙලා නුගේගොඩ පෝස්ට් ඔෆිස් එකේ වැඩට යනවා. මට මතකයි, ඒ කාලේ පෝස්ට් ඔෆිස් එකට දහ දෙනෙක් ආවොත් ඒ අයගෙන් හත් අට දෙනෙක් එන්නේ ටෙලිෆෝන් කෝල් ගන්න. මං මේ කියන්නේ 90 ‍දශකයේ මැද. ඒ කාලේ අද වගේ හැමෝටම මෝබයිල් ෆෝන් තිබුණෙ නැහැ. ලෑන්ඩ් ෆෝන් තිබුණෙ නැහැ. ඉන්ටර්නැෂනල් කෝල් එකක් ගන්න නම් ඒ කාලේ මධ්‍යම දුරකතන හුවමාරුවට ට‍්‍රන්ක් කෝල් එකක් අරගෙන පැය භාගයක් විතර බලාගෙන ඉන්න ඕන. හිතන්න අවුරුදු 20 ක් විතර ඇතුලත මේ අත්දැකීම කොච්චර වෙනස්වෙලා තියෙනවද කියලා. අද එක තත්පරෙන් අපි ළඟ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් වට්ස්ඇප්, වයිබර් හරහා අපිට අපි කැමති රටකට කෝල් එකක් ගන්න පුළුවන්. වෙලාවකට මටම පුදුමයි මං ඒ අත්දැකීම වින්දද කියලත්.

අයි.ඩී. නවකතාවේ අවසානය ප‍්‍රශ්න සහගතයි. මියගිය කවීෂ නැමැත්තා ජීවත්ව සිටින නදී නම් තරුණියගේ දුරකථනයට පණිවුඩ එවනවා. මේකත් ඔබ මැවූ ෆැන්ටසියක්ද ? නැත්නම් මේ අවසානය ඔබ අර්ථකතනය කරන්නේ කොහොමද?

ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ ජාලා හරහා මේ ඩිජිටල් ෆැන්ටසි ලෝකයට පිවිසෙන කිසිවෙකුට තමාගේ අනාගතය හෝ තමාගේ ගමනාන්තය තීරණය කරන්න බැහැ. ඒ ගමනාන්තය තීරණය කරන්නේ අපේ හැඟීම් අපිටත් හොරෙන් විශ්ලේෂණය කරන, ඒ ඩිජිටල් ෆැන්ටසි ලෝකය විසින්. හොඳට බලන්න අපි කැමති දේවල් අපටත් වඩා හොඳට ෆේස්බුක් එක දන්නවා කියලා ඔබට හිතිලා නැද්ද. මොකද අපේ අයි.ඩී. එක ඒගොල්ලො දන්න නිසා. අන්තිමට අපිට අපේ අයි.ඩී. එක නැතිවෙලා අපි ඒගොල්ලන්ගේ රූකඩ බවට පත්වෙනවා. ඉතිං අපේ ගමනාන්තය තීරණය කරන්නේ අපි නෙමෙයි ඒගොල්ලො. ඒ හින්දා මේ ඩිජිටල් ලෝකේ ජීවත්වන අපේ ජීවිතවලට නිශ්චිත අවසානයක් නෑ. අපිට ඉතුරුවෙලා තියෙන්නේ අපි කැමති විදියට අපේ අවිනිශ්චිත අවසානය අර්ථකතනය කරන්න විතරයි. ඒ නිසා ඔබ කැමති විදිහට තමයි අයි.ඩී. නවකතාවේ අවසානය ඔබ විසින් අර්ථකතනය කරන්න ඕන. ඒක නදීගේ මානසික ව්‍යාකූලත්වයක් වෙන්න පුළුවන්. කවීෂ මියගියත් ඔහුට ආදරය කළ නදීගේ ලෝකය තුළ ඔහු තවදුරටත් ජීවත්වන නිසා ඇයට එහෙම දැනෙනවා වෙන්න පුළුවන්. නැත්නම් කවීෂගේ ගිණුමට හංසි හොරෙන් ඇතුළු වූවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මං අර කලින් කිව්ව වගේ, සැබෑ ලෝකය තුළ කවිෂ මියගොස් සිටියත් ඔහු මේ ඩිජිටල් ලෝකය තුළ පණපිටින් ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්.