මාලගමුව යළිත් සුපිරි ධාවනයක - තරගකරුවන් තිදෙනෙක් අතරින් තෙවැනියා වෙයි

මාලගමුව යළිත් සුපිරි ධාවනයක - තරගකරුවන් තිදෙනෙක් අතරින් තෙවැනියා වෙයි

26 October 2020 12:12 pm

රටේ අභිමානය ලෝකය ඉදිරියට ගෙනයන සුපිරි මෝටර් රථ ධාවකයෙකු ලෙස තමන්වම හඳුන්වා ගන්නා ඩිලන්ත මාලගමුව රටම අන්දන අයුරු මීට පෙර අප ඔක්තෝබර් 14 වැනිදා අනාවරණය කළේය.

ඒ ඩිලන්ත මාලගමුව තවමත් රටත් ජනතාවත් අන්දමින් සිටී.

මාලගමුව සිය ෆේස්බුක් පිටුවේ ඊයේ ප්‍රසිද්ධ කර ඇති සටහනක දැක්වෙන්නේ සුපිරි ධාවනයක නිරත වෙමින් යළිත් ලෝකයෙන්ම තුන්වැනි ස්ථානයට පත් වූ බවයි. අයහපත් කාලගුණ තත්වය හමුවේ එම ජයග්‍රහණය ලබාගත් බව ඔහු සඳහන් කරනවා.

ඔහු එම සටහනේ වැඩිදුරටත් සඳහන් කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න් රණතුංග මහතාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වන බවයි.

ඩිලන්ත මාලගමුව තෙවැනි ස්ථානයට පත් වූ බව පවසන නමුත්, ඔහු සහභාගි වූ තරග ඉසව්ව හෝ එම තරග ඉසව්වට එක් වූ තරගකරුවන් ප්‍රමාණය හෝ අදාල තරගාවලියට සහභාගි වූ තරගකරුවන් ප්‍රමාණය පිළිබඳව හෝ කිසිවක් සඳහන් නොකිරීමට තරම් පරෙස්සම් ‍වෙයි.

අප මීට ඉහතදී සඳහන් කළ ආකාරයෙන්ම ඩිලන්ත නැවතත් කරන්නේ මහා ප්‍රෝඩාවකින් රටම ඇන්දීමකි.

බෙල්ජියමේ Spa ධාවන පථයේ පැවති මෙම තරගාවලියට සහභාගි වන සමස්ත තරගකරුවන් ප්‍රමාණයම 19 කි. ඉන් එක් තරගකරුවෙකු ධාවනය සඳහා එක් වන්නේ නැත. Pro-Cup, Pro-AM cup, AM cup, Lc Cup යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.

Pro-Cup සඳහා ක්‍රීඩකයන් 09 ක් සහභාගි වේ.
Pro-AM cup සඳහා ක්‍රීඩකයන් 03 ක් සහභාගි වේ.
AM cup සඳහා ක්‍රීඩකයන් 03 ක් සහභාගි වේ.
Lc Cup සඳහා ක්‍රීඩකයන් 03 ක් සභාගි වේ.

ඩිලන්ත මාලගමුව AM Cup කාණ්ඩයෙන් තරගවැදුණු අතර ඔහු සහබාගි වූ තරග දෙකේදීම ඔහු අත්වන්නේ තරගකරුවන් තිදෙනෙකු අතරින් තෙවැනි ස්ථානයයි. වෙනත් ආකාරයකින් කිවහොත් අවසන් ස්ථානයයි.

ඒ අනුව මාලගමුව දිනුවා දිනුවා යැයි කියමින් උදම් අනන්නේ පරාජයක් පිළිබඳවයි.

මෙම තරගාවලියට සහභාගි සියලු තරගකරුවන් සුදුසුකම් ලැබීමේ තරගවලදී දැක්වූ දක්ෂතා සැළකිල්ලට ගතහොත් එහිදී පළමු තරගයෙන් 15 වැනි ස්ථානයට පත්වන මාලගමුව දෙවැනි තරගයෙන් 19 වැනි ස්ථානයට පත් වේ.

සත්‍ය ලෙසම 15 වැනියා හෝ 19 වැනියා මිස තෙවැනියා නොවේ. එහෙත් ඔහු පවසන්නේ තරගකරුවන් තිදෙනෙක් අතරින් තෙවැනි ස්ථානය දිනා ගැනීම පිළිබඳව පමණි. එයද තරගයට සහභාගි වූ තරගකරුවන් පිළිබඳව සඳහන් නොකරමිනි. මාලගමුව රටම අන්දමින් හංගා ගසන ගේම, මහා ප්‍රෝඩාව එයයි.

UN

රටම ඇන්දූ මාලගමුවගේ ලෝකෙන්ම දෙවැනියා වීමේ ඇත්ත කතාව