දුරකථන වාර්තා පිළිගන්න තරම් මට තාක්ෂණ දැනුමක් නැහැ - හිටපු ජනපති මෛත්‍රීට පාස්කු කොමිසමේදී වුණු දේ

දුරකථන වාර්තා පිළිගන්න තරම් මට තාක්ෂණ දැනුමක් නැහැ - හිටපු ජනපති මෛත්‍රීට පාස්කු කොමිසමේදී වුණු දේ

25 October 2020 07:40 pm

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර 2019.ජනවාරි 01 වැනිදා සිට මාර්තු 31 දක්වා කාලය තුළ දුරකථන ඇමතුම් 221ක් වාර්තා වී තිබෙන අතර අප්‍රේල් මාසය තුළ තවත් දුරකථන ඇමතුම් 82ක් සිදුව ඇති නමුත් ඒවා පිළිගැනීමට තරම තමන්ට තාක්ෂණික දැනුමක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රාහරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජාන්ධිපති විමර්ශන කොමිෂන සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේය. 

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වෙනුවෙන් පෙනිසිටින ජනාධිපති නිතිඥ ෂමිල් පෙරේරා මහතාගේ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

තමන්ට ජනාධිපතිවරයා ලෙස පැවති රාජකාරිත් සමඟ මේවන දුරකථන ඇමතුම් තොගයකට ඔඉලිතුරු දුන් බවට තමන්ට විශ්වාස කළ නොහැකි බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ. 

විශේෂයෙන් පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර අප්‍රේල් 20 වැනිදා පස්වරු 06.16 ට මෙන්ම ප්‍රහාරය එල්ල වූ 21 වැනි දින පෙරවරු 7.59ට තප්පර 158ක දුරකථන ඇමතුමක් දෙදෙනා අතර සිදුව ඇති බව දුරකථන දත්ත වාර්තා පෙන්වමින් ජාන්ධිපති නීතිඥවරාය ඒ සම්බන්ධයෙන් පිළිගන්නේදැයි හිටපු ජාන්ධිපතිවරයාගෙන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ නිලන්ත ජයවර්ධන මහතා සහ තමන් අතර දුරකථන සංවාද සිදු වූයේ ප්‍රහාරයෙන් පසුව බවයි. 

එම දිනවල තමන් ප්‍රතිකාර සඳහා සිංගප්පූරු රෝහලේ සිටි අතර රෝහලේ සිට හෝටලයට රැගෙන ඒමෙන් පසුව ඇඳේ සිට තමන් නිලන්ත ජයවර්ධනට මෙන්ම සෙසු නිලධාරීන්ටත් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දෙමින් කටයුතු කළ බවයි සිරිසේන මහතා පැවසුවේ. 

තමන් අපහසු තත්ත්වයක සිටියද එය නොසලකා ඒ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුව තිබූ තත්ත්වය හමුවේ ඉදිරි කටයුතු සැලසුම් කළ බව හෙතෙම ප්‍රාක්ෂ කරන ලදී. 

මෙහිදී ජනාධිපති  නීතිඥ ෂමිල් පෙරේරා මහතා දුරකථන සංවාද සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම අරඹමින් සක්ෂිකරුගෙන් විමසුවේ "ඔබ නිලන්ත ජයවර්ධන මහතා සමග දෛනිකව දුරකථනයෙන් සම්බන්ධවීම පුරුද්දක්ව පැවතියාද?" යන්නයි.

ඊට පිළිතුරු දෙමින් "නැහැ එහෙම දිනපතා දුරකථන සම්බන්ධතා පැවැත්වුවේ නැහැ," යනුවෙන් හිටපු ජානාධිපතිවරයා පිළිතුරු දුන්නේය. 

තවදුරටත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ෂමිල් පෙරේරා මහතා විමසුවේ "ඔබ එහෙම කිව්වට 2019 ජනවාරි මාසේ 01 වෙනිදා සිට අප්‍රේල් 31 වෙනිදා වෙනකන් නිලන්ත ජයවර්ධන මහතා සහ ඔබතුමාගේ පැජට් පාරේ පිහිටි නිවස අතර දුරකතන ඇමතුම් 221 ක් පැවති බවට දුරකතන වාර්තා තියෙනවා," යනුවෙනි. එම දුරකථන වාර්තා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට ද යොමුකරන ලදී. 

එහිදී හිටපු ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ  "වාර්තාවල තිබ්බට මට නම් මතකයක් නැහැ, මෙච්චර ඇමතුම් ගත්තා කියලා. නිලන්ත ගෙදරට ගත්තද මම දන්නේ නැහැ. හැබැයි මට ඔච්චර ඇමතුම් වලට පිළිතුරු දෙන්න වෙලාවක් තිබ්බේ නැහැ," ලෙසය. 

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා:ඒ වුණාට හිටපු ජනාධිපතිතුමනි, ඇමතුම්වලට අදාළ දත්ත වාර්තා මේ ලේඛනවල තියෙනවානේ. ඉතිං ඒවා නිවැරදි නැහැ කියන්න පුළුවන්ද..?

සාක්ෂිකරු:මට ඔය තාක්ෂණික කරුණු ගැන අවබෝධයක් නැහැ. මම දුරකථනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මට ඔය වාර්තා තේරුම්ගන්න දැනුමක් නැහැ. ඕන නම් බලලා කියන්නම්  

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා: පසුගිය වසරේ අප්‍රේල් 01 - 21 වැනිදා දක්වා කාලය තුළ  ඔබ සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර දුරකථන සම්බන්ධතා 20ක් පැවති බව මේ වාර්තාවලින් ඔප්පු වෙනවා. එවැනි වාතාවරණයකත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අප්‍රේල් 04 බුද්ධි තොරතුර පිළිබඳව ඔබව දැනුවත් නොකළා කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

සාක්ෂිකරු:මට මේ දුරකථන වාර්තාවන් ගැන ලොකු අවබෝධයක් නැහැ  

මෙහිදී ජනාධිපති නීතිඥවරයා තවදුරටත් සක්ෂිකරුගෙන්  ප්‍රශ්න කළේ, "පසුගිය වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර, හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල වෙනවා යැයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව විදෙස් බුද්ධි අංශය දැනුවත් කරන්නේ ප.ව 4.12 ට. ඒ වෙලාවෙන් පස්සේ පස්වරු 6.16ට නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව මෙම වාර්තාවල සඳහන් වෙනවා." යනුවෙනි. 

"වාර්තාවල සඳහන් වුනාට මම ඒ වෙලාවේ හිටියේ සිංගප්පුරු රෝහල් ප්‍රතිකාර ගනිමින්. මම මීට කලිනුත් මේ කොමිසමට කිව්වා. මට මේ බෝම්බ ප්‍රහාරය ගැන දැනුවත් කළේ පිපිරීම්වලට පස්සේ කියල. ඊට කළින් මට කවුරුත් මේ ගැන කිව්වේ නැහැ," යනුවෙන්  හිටපු ජනාධිපතිවරයා කියාසිටියේය. 

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා: හිටපු ජනාධිපතිතුමා ඔබ 20 සවස සිංගප්පුරු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියා, දුරකථනය භාවිතා කළේ නැහැ කිව්වාට. මේ වාර්තාවල සඳහන් වෙනවනේ එදින පැජට් පාරේ පිහිටි නිවස හරහා සිංගප්පුරුවේ සිටි ඔබේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ අත තිබු ජංගම දුරකථනයට විශාල ඇමතුම් ප්‍රමාණයක් ගිහින් තියෙන බව?

සාක්ෂිකරු:මම ඇත්ත කියන්නේ. මම එදා  හිටියේ සිංගප්පුරු රෝහලේ ප්‍රතිකාර ගනිමින්. මේ අවස්ථාවේ මාධ්‍ය ඉන්න නිසා මම ඒ වෙලාවේ ඉඳපු තත්ත්වය පැහැදිළි කිරීම සුදුසු නැහැ.

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා: හරි එහෙම් මේ දේ කියන්න, ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරුදින මෙරට තුළ පළමු බෝම්බ පිපිරෙන්න කළින් පෙ.ව 7.49ට සිංගප්පුරුවේ සිටි ඔබේ දුරකථනයෙන් පැජට් පාර හරහා නිලන්ත ජයවර්ධන මහතාට විනාඩියයි තත්ත්පර 38ක ඇමතුමක් ලැබී ඇති බව දුරකථන වාර්තාවල සඳහන් වෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ?

සාක්ෂිකරු:වාර්තාවල තිබුණා කිව්වට මම ඒක පිළිගන්නේ නැහැ. මම ඒ වෙද්දි ඉඳපු තත්ත්වය අනුව මට කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම මේ කියන්නේ සත්‍යය. අවශ්‍යනම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නම්.

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා: හිටපු ජනාධිපතිතුමනි, ප්‍රහාරය සිද්ධ වුණ දවසේ උදෑසන ඔබ කතා කිරීමේ අපහසුතාවයකින් පෙළුණා කියලා දැන් කිව්වට, එදින උදෑසන ඔබේ දුරකතනයෙන් විශාල ඇමතුම් ප්‍රමාණයකට සම්බන්ධ වී ඇති බවට වාර්තා තිබෙනවානේ? 

සාක්ෂිකරු:වාර්තාවල සඳහන් වෙන්න පුළුවන් නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කරනවා.

"හරි දැන් ඔබතුමා කියනවා ප්‍රහාරය සිදුවුණ දවසේ ඔබතුමා කතා බහ කිරීමේ අපහසුතාවයකින් පෙළුණා කියලා, ප්‍රහාරයට පෙර ඔබතුමා එහෙම අපහසුතාවයකින් පෙළුණානම් කොහොමද මේ ප්‍රහාරයෙන් පස්සේ එක ළග ඇමතුම් 07 ක් අරගෙන තියෙන්නේ," යැයි ජනාධිපති නීතිඥවරයා තවදුරටත්  ප්‍රශ්න කරන ලදී. 

මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් මෛත්‍රී ගුණරත්නගෙන් ෂමිල් පෙරේරාට විරෝධය 

අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා උක්ත දුරකථන වාර්තා සම්බන්ධයෙන් කළ මෙම දැඩි ප්‍රශ්නකිරීම හමුවේ කොමිසම් සභාවේ නැගී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ෂමිල්  පෙරේරා මහතාට බාධාකරමින් කියාසිටියේ ඔහු එකම ප්‍රශ්නය අසන බවයි. 

එහිදී මේ තමන්ගේ ප්‍රශ්න ඇසීමේ වාරය බැවින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට නිශ්ශබ්දව අසුන්ගන්නා ලෙස පැවසු ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා යළිත් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සිදුකළේය. එහිදී  "ඔබතුමා ඔපමණ රෝගී තත්ත්වයකින්, අපහසුවකින් සිටියේ නම්, ප්‍රහාරය එල්ල වූ දින මධ්‍යම රාත්‍රීයේම හදිස්සියේ දිවයිනට පැමිණියේ කෙසේද?"  යන්න තවදුරටත් ෂමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේය. 

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ හැකිබවයි. එම අවස්ථාවේ නැගී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්නය ඇසීම පිළිබඳ සිය විරෝධය පළ කළාය.

කෙසේ වෙතත් මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා හිටපු ජනාධිපතිවරයාට නියෝග කළේ, කිසියම් පුද්ගලයෙකුගේ වෛද්‍ය වාර්තා පෞද්ගලික වුවද, උද්ගතව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය නොමැති අවස්ථාවක එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසයි. 

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට සිංගප්පූරු රෝහලෙන් ලබා දී ඇති වෛද්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණි. 

ජනධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශං විමසමින් අසා සිටියේ සහරාන්ගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට දැනුවත්ව සිටියේද යන්නයි.

ඔහු අන්තවාදියෙකු බව මුල් කාලයේ ජාතිකන් ආරක්ෂක කවුන්සිලයේදී දැනුවත් වූ බව සිරිසේන මහතා මෙහිදී පවසන ලදී. 

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා:බුද්ධි අංශයකින් අන්තවාදය සම්බන්ධයෙන් බුද්ධි වාර්තා එවා තිබුණාද.?

සාක්ෂිකරු: සෘජුව ලැබුණේ නැහැ.

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා:ඔබතුමා දැනගෙන හිටියා නේද සහාරාන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවට, ඇයි ඒ පිළිබදව ජාතික ආරක්ෂක කවුන්සලයේදි සාකච්ඡා කළේ නැත්තේ.?

සාක්ෂිකරු: සහරාන් අත්අඩංගුවට ගැනිම කළයුතුව තිබුණා,2018 අන්තිමේදිත් 2019 මුලත් ආරක්ෂක මණ්ඩලයේදි ඇහුවා සහරාන් ඇයි අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියලා.

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා: සහාරාන්ගේ නුවර පුහුණු කදවුර,කෑගල්ලේ බුදු පිළිම කැඩිම,වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කිරිම මේවට සහාරාන් සම්බන්ධ  බවට දැනුවත් වෙලා හිටියාද.?

සාක්ෂිකරු: තොරතුරු ලැබුණා,යුද හමුදා බුද්ධි අංශ කිව්වා එක LTTE  වැඩක් කියලා. මාවනැල්ල එහෙම වාර්තා වුණේ නැහැ. අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කිව්වා. පොලිස්පතිට විතරක් නෙමේයි අනිත් නිලධාරීන්ටත් උපදෙස් දිලා තියෙනවා.

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා:සහාරාන් පිළිබදව ඔබට සෘජුව වාර්තා වී  තිබෙනවා නේද?

සාක්ෂිකරු: ඔව්, අන්තවාදියෙකු ලෙස,2017 සහාරාන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා තියෙනවා. පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත යුත්තේ,මම අවස්ථා කිහිපයකදිම නියෝග නිකුත් කරලා තියෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මම පිළිගන්නේ නැහැ - එතන හිටියේ මට වෛර කරපු පිරිසක් 

මේ අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවටද ෂමිල් පෙරේරා මහතා අවධානය යොමුකරන ලදී. 

මෙහිදි පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා යොමු කර තිබූ  ප්‍රශ්නයක් පිළිබදව  හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළේය. 

සාක්ෂිකරු:පාර්ලිමේන්තුමේන්තු තේරුම් කාරක සභාවේ කටයුතු මම පිළිගන්නේ නැහැ,එහි පෙනි සිටින්න මම ගියෙත් නැහැ. ඕන නම් මගේ ලේකම් කාර්යාලයට ඇවිල්ලා අහගන්න කියල කිව්වේ.  ඔය නම සඳහන් කරපු පුද්ගලයා මම ගැන වෛරයකින් කටයුතු කරන්නේ,එතන ඉන්නේ ඒ  වගේ පිරිසක්. ඒ නිසා තේරුම් කාරක සභාව ගැන පිළිගැනීමක් මගේ නැහැ.

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා:රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන සක්ෂි ලබාදෙමින් සදහන් කර තිබෙනවා සහරාන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ආරක්ෂක කවුන්සලයේදි දැනුවත් කල බවට. ඔබට ඒ ගැන මතකයක් තිබෙනවාද ?

සාක්ෂිකරු:මට එහෙම මතකයක් නැහැ,ඒ වන විටත් ඔහුව අත්අඩංගුවට ගැනිමට නියෝග කර සිටියා.

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා:  සහාරාන් අත්අඩංගුවට ගැනිමට නියෝග දිමට හේතුව කුමක්ද.?

සාක්ෂිකරු:  2017 ඔහුට වරෙන්තු නිකුත් කර තිබ්බා,වරින් වර වාර්තා වූ ඔහුගේ හැසිරිම,IS මතවාදය පතුරුවන පුද්ගලයෙක් ලෙස වාර්තා වි තිබිම නිසා.

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා: පොලීසිය ඔබතුමා යටතට ගත්තේ ඔබට තිබුණ  ජීවිත තර්ජන නිසාද.?

සාක්ෂිකරු: නැහැ එහෙම හේතුවක් නැහැ

නිලන්තගේ සාක්ෂිය පිළිගන්න බැහැ 

මෙහිදී මාසිකව පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පවත්වන රැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළේය. 

එම රැස්වීමේදී බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නොහැකි වූයේ එහි පිටස්තර පුද්ගලයන්යින්ද සිටි නිසා බවට නිලන්ත ජයවර්ධන මහතා ලබා දී ඇති සාක්ෂිය සම්බන්ධයෙන් සිහිපත් කරන ලදී. 

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එවැනි තත්ත්වයක් පවතින් නැති අතර බුධි තොරතුරු අපරාධමය තොරතුරු මෙන්ම පරිපාලන කටයුතු පිළිබඳවද එහිදී සාකච්ජා කළ බවයි. 

ඒ අනුව එම රැස්වීමේදී මේ කාරණය ගැන සාකච්ජා කිරීමට බාධාවක් නොතිබුණු බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ.  

එමෙන්ම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආරක්ෂක මණ්ඩලය රැස්වීමට අවශ්‍ය නැති අතර ඒ වන විට තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්,පොලිස්පති ඇතුළු පිරිස දැනුවත්ව සිටි හෙයින් ක්‍රියාත්මක වීමට හැකියාව තිබෙන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ. 

තමන් මේ සම්බන්ධයෙන් පූර්ව දැනුවත් වීමක් ලබා සිටියේ නම් ආරක්ෂක අංශ ප්‍රධානීන්, බුද්ධි අංශ ප්‍රධානීන්, පොලිස්පති,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හමුදාපතිවරු යන පිරිස් කැඳවා  ආරක්ෂක මණ්ඩලයද පවත්වා ඉදිරි කටයුතු සැලසුම් කරන අතර සිය විදේශ ගමනද  අත්හිටුවීමට පියවර ගැනීමට ඉඩ තිබුණු බව හෙතෙම පැවසුවේය. 

මේ අතර හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් කොමිසම හමුවේ ලබා දී ඇති ආන්දෝලනාත්මක සාක්ෂියක් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරන ලදී. 

එනම්,පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එය එල්ල වීමට ප්‍රථම ආරක්ෂාවට සම්බන්ධ නිලධාරීන් 15000ක් පමණ දන සිටි බවට කළ ප්‍රකාශයයි. 

මෙහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ 15000ක් දන සිටි බව ප්‍රකාශ වුවද තමන් හෝ තමන්ගේ ආරක්ෂක නිලධාරීන් ද ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් නොලැබ සිටි බවයි.  

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා: ⁣රටේ ජනාධිපති ඔබ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ ඔබ නමුත් දැනුවත් නැහැ?

සාක්ෂිකරු: මාව දැනුවත් කළේ නැහැ. 

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා: ප්‍රහාරයට පෙර 15,000ක් දැනසිටියා කියන කාරණය පිළිගන්න පුළුවන් කතාවක්ද?

සාක්ෂිකරු: ඒ ගැන හිතන්න ඕනේ. 15000ක් දැනගත්තේ කොහමද කියලා මටත් පැහැදිලි  නැහැ.

මේ අනුව තමන්ගේ හරස් ප්‍රශ්නවලදී හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති කරුණු සලකා බලා ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කළේ එවකට ජනාධිපතිවරයා ලෙසත් ආරක්ෂක ඇමතිවරයා ලෙසත් පාස්කු ප්‍රහාරය සිදුවීමට සුදුසු වාතාවරණයක් ගොඩනැගීම මඟින් ආරක්ෂාව තහවුරු කිරීමට අසමත් වී ඇති බවයි. 

එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පිළිතුරු දෙමින් පැවැසුවේ. 

තවදුරටත් ජනාධිපති නීතිඥවරයා යෝජනා කළේ එවකට නීතිය හා සාමය අමාත්‍යවරයා  ලෙසත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැර හැර ඇති බවයි. 

එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමටයි සිරිසේන මහතා කටයුතු කළේ.

ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා: ඔබ විසින් වගකීම් පැහැර හැර ඔබ යටතේ සේවය කරන වෙනත් නිලධාරීන්ට චෝදනා කරමින් අසරණ කතෝලික ජනතාවට දැඩි ආසාධාරණයක් ඔබතුමා සිදුකර ඇති බවට මා යෝජනා කරනවා.

සාක්ෂිකරු: ඒ යෝජනාව මා ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන් කතෝලික ජනතාව සිදුවූ එම විනාශය මාද බලවත් ලෙස කම්පාවට පත්කළා. විදේශිකයන් ඇතුළු තවත් අය මින් මිය ගියා. ආර්ථිකයට බලවත් හානියක් සිදුවුණා. 

මෙහිදී තවදුරටත් ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාට යෝජනා කළේ ''ශ්‍රී ලංකාවේ සමස්ත කතෝලික ජනතාව කෙරෙහි මෙම සිදුවීමෙන් ඇති වූ බරපතල විනාශය හේතුවෙන් අහිංසක කතෝලික ජනතාව 300කට වැඩි පිරිසක් ඝාතනය වූ බවට හා ඊට ඔබතුමා මූලිකව වගකීම ගත යුතු බවයි. 

එයද හිටපු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන ලදී. 

ආශිකා බ්‍රාහ්මණ