සහරාන්ව NTJ එකෙන් ඉවත් කළේ IS මතවාදය දරපු නිසා - NTJ හිටපු සභාපතිවරයෙක් සාක්ෂි දෙමින් කියයි

සහරාන්ව NTJ එකෙන් ඉවත් කළේ IS මතවාදය දරපු නිසා - NTJ හිටපු සභාපතිවරයෙක් සාක්ෂි දෙමින් කියයි

25 October 2020 11:38 am

සහරාන් හෂීම් ජාතික තවුහිද් ජමාත් සංවිධානයෙන් නෙරපන ලද්දේ IS මතවාදය දැරීම නිසා බව ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු වන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව  සිටින මවුලවි මොහොමඩ් යුසුෆ් මොහොමඩ් තවුෆික් ඊයේ (24) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති  විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේය. 

2017 මාර්තු 10 වැනිදා අලියාර් හංදියේ ගැටුමින් පසු සහරාන් හෂීම් අතුරුදහන් වී සිටි අතර එතැන් පටන් ඔහුව තමන්ට කිසිලෙසකින්වත් සම්බන්ධ නොවුණු බවයි NTJ හිටපු සභාපතිවරයා සඳහන් කළේ. 

සහරාන් හෂීම් විසින් IS මතවාදය අනුමත කරමින් සිදුකරන ලද  ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සිය අනුගාමිකයන් අතර බෙදා ගෙන තිබුණු අතර ජනතාව  මේ සම්බන්ධයෙන් තමන්ට  පැමිණිලි කර ඇති බවත් පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලූ බවත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කරන ලදී. 

ඒ අනුව සහරාන් හෂිම්ව 2017 වසරේ දෙසැම්බර් මාසයේදී සිය සංවිධානයෙන් නෙරපූ අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දෙසැම්බර් 28 හෝ 29 වැනිදා  දැනුවත් කළ බවද ඔහු පැවසුවේය. 

2018 වසරේ ජනවාරි 01වැනිදා දිනකරන් සහ වීරකේසරී යන පුවත්පත්වල ද ඒ සම්බන්ධයෙන් දැන්වීමක් පළ කළ බවද මොහොමඩ් යුසුෆ් මොහොමඩ් තවුෆික් මවුලවිරයා කියාසිටියේය. 

සහරාන් හෂීම් එලෙස සංවිධානයෙන් ඉවත් කිරීමට හේතුව ලෙස සඳහන් කළේ කුමක්ද යන්න පිළිබඳව සාක්ෂිය මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් NTJ හිටපු සභාපතිවරයා පැවසුවේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම එලෙස සහරන් හෂිම්ව සංවිධානයෙන් ඉවත් කිරීමට හේතුව ලෙස සඳහන් කළ බවයි. 

මොහොමඩ් යුසුෆ් මොහොමඩ් තවුෆික් මවුලවිවරයෙක් ලෙස ජාතික තවුහිද් ජමාත් සංවිධානයට එක වී ඇත්තේ සහරාන් හෂිම්ගේ ඉල්ලීමට අනුව වන අතර එම සංවිධානයේ පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසන් සංවිධානය පාලනය කරන බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව ඔහු 2016 වසරේදී එහි සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. 

සාක්ෂිය මෙහෙය වූ රජයේ අධිනීතිඥවරිය සක්ෂිකරුගෙන් විමසුවේ ''ඔබ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට එක් වූයේ එම මතවාදය දරන කෙනෙක් නිසා වන  හෙයින්ද'' යන්නයි. 

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ තවුහිද් යනු සංකේතයක් බවයි. 

රජයේ අධිනීතිඥවරිය: තවුහිද් නිකායක් නැත්නම් වෙනම මතවාදයක් තිබෙන කණ්ඩායමක් සිටිනවා කිව්වොත් නිවැරදිද?

සාක්ෂිකරු: නැහැ එහෙම දෙයක් සඳහන් කරන්න බැහැ. සියලුම මුස්ලිම්වරු තවුහිද් තමයි. 

රජයේ අධිනීතිඥවරිය:තවුහිද් ජමාත්,තබ්ලික් ජමාත්, සූෆි විදිහට නිකාය තිබෙන බව මෙමෙ අකොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා.?

සාක්ෂිකරු: තවුහිද් ජමාත්,තබ්ලික් ජමාත්, සූෆි කියන්නේ සියලුම දෙනා මුස්ලිම්වරු. මතභේදයන් තිබෙන නිසා තමයි මෙහෙම වෙනසක් තිබෙන්නේ. 

රජයේ අධිනීතිඥවරිය: එම වෙනසට අනුව ඔබ තවුහිද්වරයෙක් ද? 

සක්ෂිකරු: එම නිසා තමයි අපි ඒ සංවිධානය පිහිටුවා ගත්තේ. 

ඒ අනුව මවුලවි මොහොමඩ් යුසුෆ් මොහොමඩ් තවුෆික් වැටුප් ලබන තැනැත්තෙක් ලෙස NTJ සංවිධානයේ කටයුතු කර තිබේ. 

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ Social Work ලෙස බැංකු ගිණුමක් පැවති  අතරසංවිධානය විසින් සිදුකරන සමාජ සේවා කටයුතුවලට මෙන්ම තවුහිද් ජමාත් පල්ලිය ඉදිකිරිමේ කටයුතුද එම පරිත්‍යාග මත සිදුකෙරුණ බවයි රක්ෂිත බන්ධනාගාරගටහ්ව සිටින මෙම මවුලවිවරයා පැවසුවේ. 

කෙසේවෙතත් කොමර්ෂල් බැංකුවේ පැවති  එම ගිණුමට මුදල් පරිත්‍යාග ලැබුණු ආකාරය පිළිබඳ තමන් නොදන්නා නමුත් වියදම් සම්බන්ධයෙන් ගිණුම් පවතින බවත් තමන් හා එහි භාණ්ඩාගාරික මුස්තකීන්ගේ නමින් එම ඒකාබද්ධ ගිණුම පැවති බවත් හෙතෙම සක්ෂිදෙමින් පැවසුවේය. 

ඒක දේවවාදයක් වෙනුවෙන් පෙනී සිටින ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයට ලොව පුර සිටින බැතිමතුන් විසින් එම ගිණුමට මුදල පරිත්‍යාග කරන්නට ඇති බවයි ඔහු සඳහන් කළේ. 

කිසිලෙසකින්වත් තමන් අන්තවාදයක් නියෝජනය නොකළ අතර සහරාන් හෂීම් IS ත්‍රස්තවාදය අනුමත කරන්නෙක් බව මුලින් දැන සිටියේ නම් තමන් මෙම සංවිධානයට එක් නොවන බවද මෙම මවුලවිවරයා කියා සිටියේය.

එමෙන්ම ආරම්භයේදීම සහරාන් හෂීම් සම්බන්ධයෙන් හෝ අනාවරණය  වූයේ නම් ඔහුව එම සංවිධානයෙන් ඉවත් කරන බවද ඔහු පැවසුවේය.

මෙහිදී රජයේ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් විමසුවේ කෙසේවෙතත් තමන් සහරාන්  හෂීම්ගේ වීඩියෝ පට සමාජ  මාධ්‍ය හරහා හුවමාරු කර තිබෙන බවයි. 

තමන් එලෙස කළේ තමන්ද එකඟවන මතවාදයන් සම්බන්ධයෙන් පමණක් වන අතර අන්තවාදය හෝ IS මතවාදය අනුමතකරන කිසිවක් තමන් එලෙස හුවමාරු කර නොමැති බව ඔහු සඳහන් කරන ලද්දේ. 

එම වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගත්තේ ද සහරාන් හෂීම් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නිල වශයෙන් සිටි කාලයේදී පමණක් වන බවද ඔහු කියාසිටියේය. 

මේ අතර 2017 මාර්තුවේ අලියාර් හංදියේ ගැටුමින් පසු අතුරුදහන් වූ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන පසුබිමක මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට ඔහුට පැමිණ පොලීසියට භාරවන ලෙස ඔහුගේ මවටද තමන් දැනුම් දුන් බවයි ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ හිටපු  සභාපතිවරයා කියා සිටියේ. 

ජාතික තවුහිද් ජමාත් සංවිධානය අන්තවාදයට තුඩු දෙන සංවිධානයක් නොවන බවට ඔහු උදහරණයක්ද සපයන ලදී. ලක්ෂපාන ගම්මානයේ ගංවතුර උවදුර පැමිණි අවස්ථාවේ සිංහල මුස්ලිම් භේදයක් නොසලකා සියලු දෙනාට උදව් කළ බව  මවුලවි මොහොමඩ් යුසුෆ් මොහොමඩ් තවුෆික් ප්‍රකාශ කරන ලදී. 

සහරාන් ත්‍රස්තවාදියෙක් වූවාට තමන් සම්බන්ධයෙන් එලෙස නොබලන ලෙසත් තමන් අල්ලා දෙවියන්ගේ නාමයෙන් දිවුරා පවසන්නේ තමන් එවැන්නකට සහය නොදැක් වූ බවත් යන්න සාක්ෂි දෙමින් මවුලවිවරයා කියා සිටියේය. 

මෙහිදී රජයේ අධිනීතිඥවරිය පැවසුවේ '' ඔබ ගැන එවැන්නක් නොපැවසූ නමුත් ජාතික තවුහිද්  ජමාත් සංවිධානයේ මාධ්‍ය ඒකකය විසින් එම අදහස් අනුමත කර ඇති බව පෙනී යන බවයි.

''මමත් මනුෂ්‍යයෙක්. සහරාන්ව 100%ක් නිරීක්ෂණය කරන්න මට බැහැ. මටත් සීමාවක් තිබෙනවා ඔහුව නිරීක්ෂණය කරන්න පුළුවන්'' යන්නෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු දෙන ලදී.

සහරාන් හෂීම් IS මතවාදය අනුමතකරමින් සිය අනුගාමිකයන් උත්තේජනය කරන වීඩියෝ පට දෙකක් කොමිසම හමුවේ පෙන්වා සිටි අතර එම වීඩියෝ පට මීට පෙර තමන්ගේ අවධානයට යොමු වී නැති බවද ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සිටි මෙම මවුලවිවරයා  සඳහන් කරන ලදී. 

රජයේ අධිනීතිඥවරියගේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොමිසම විසින් සක්ෂිකරුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර මෙහිදී අභියාචනාධිකරණ විනිසුරුවරයා සක්ෂිකරුගෙන් විමසා සිටියේ තමන් අත්අඩංගුවට පත් වූයේ කවදාද යන්නයි 

එහිදී පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ 2019 අප්‍රේල් 28 වැනි දින ඔහු අත්අඩංගුවට පත් වූ බවය. 

අභියාචනාධිකරණ විනිසුරුවරයා: අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය සිදුවන විට ඔබ කොහෙද සිටියේ?

සාක්ෂිකරු: මම පල්ලියේ සිටියේ 

අභියාචනාධිකරණ විනිසුරුවරයා:ඒ දිනට පෙර සහරාන් අන්තිමට කතා කළේ කවදාද? දුරකථනයෙන් හෝ කතා කළාද ?

සාක්ෂිකරු: සම්බන්ධ වුණේ නැහැ. අන්තිමට දුටුවේ අලියාර් හංදියේ ගැටුම දවසේ 

අභියාචනාධිකරණ විනිසුරුවරයා:සහරාන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට ඔබ දැනගත්තේ කවදාද?

සාක්ෂිකරු: ප්‍රහාරයෙන් දවස් දෙකකට පස්සේ. මගේ නිවසට CID සහ TID අය ඇවිල්ලා සහාරන්ගේ හිස හඳුනාගන්න පුළුවන්ද කියල ඇහුවා. මම තමයි එය හඳුනාගත්තේ. 

අභියාචනාධිකරණ විනිසුරුවරයා:බෝම්බය පිපිරුවට පස්සේ NTJ පල්ලියට පැමිණි බැතිමතුන් මොනවද කිව්වේ?

සාක්ෂිකරු: ඇත්තටම මෙයාද එය කළේ කියන කතා බහ ඇති වුණා. සහාරන්ට අසභ්‍ය වචනයෙන් ඔවුන් බැන වැදුණා. ඒවා මට මේ කොමිසම හමුවේ ප්‍රකාශ කළ නොහැකියි. 

අභියාචනාධිකරණ විනිසුරුවරයා:ඔබ කිව්වා ඔබ  සහ තස්කීන් නියෝජනය කළ  ඒකාබද්ධ ගිණුමට මුදල ආපු විදිහක් දන්නේ නැහැ කියලා.?

සාක්ෂිකරු:අපේ හැඟීමක් තිබෙනවා ඉස්ලාම් දහමේ දකුණු අතින් කරන උදව්වක් වම් අත දැනගන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා ලොව පුර සිටින බැතිමතුන් මුදල් පරිත්‍යග කරන්න ඇති.

අභියාචනාධිකරණ විනිසුරු:සහරාන් වැඩකරලා තිබෙන්නේත් දකුණු අත කරන දෙය වම් අත දැනගන්නේ නැති විදිහටද? 

සාක්ෂිකරු: එහෙම නැහැ. සහරාන් ගැන මුල් අවස්ථාවේදීම දැනගත්තා නම් ඔහුව සංවිධානයෙන් ඉවත්කරනවා.

මෙහිදී කොමිසම නියෝජනය කරන හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය සක්ෂිකරුගෙන් විමසා සිටියේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට උලමා සභාවේ අනුමැතිය හිමිව තිබුණේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ නැහැ යන්නයි.