එජාප මන්ත්‍රී ධුර අර්බුදය විසඳෙයි - මන්ත්‍රී ධුරයට රුවන් නම් කරයි

එජාප මන්ත්‍රී ධුර අර්බුදය විසඳෙයි - මන්ත්‍රී ධුරයට රුවන් නම් කරයි

22 October 2020 11:41 pm

මහ මැතිවරණය අවසන් වී මේ වනවිට මාස දෙක හමාරකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. කෙසේ නමුත් එම කාලසීමාව තුළදී, එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුදුසු අපේක්ෂකයා තෝරා ගැනීමට එම පක්ෂයට නොහැකි විය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සෙකු නම් කිරීම දිගින් දිගටම කල්ගිය අතර අවසානයේදී එජාප බළධාරීන් ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව මන්ත්‍රී ධුරය සඳහා සුදුසු පුද්ගලයා නම් කරන බවයි.

ඒ අනුව එම මන්ත්‍රී ධුරය සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා නම් කිරීමට එජාප නායකයා තීරණය කර තිබේ. ‍මේ සම්බන්ධයෙන් එජාපයේ දෙවැනි පෙළ නායකයන් කිහිප දෙනෙකු නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග තර්ක විතර්ක කර තිබෙනවා. ඉන් ඉදිරියෙන්ම සිටින්නේ එජාප උප නායක රවී කරුණානායක මහතායි. එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද එම මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා උත්සාහ කළේය.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාටම අවසානයේදී පරාජය භාර ගැනීමට සිදුව තිබේ.

මහ මැතිවරණ පරාජයෙන් පසුව නායකත්ව අර්බුදය යළිත් උත්සන්න වූ අතර ඊට විසඳුමක් ලෙස රුවන් විජේවර්ධන මහතා නියෝජ්‍ය නායකත්වයට පත් කෙරිණි. එජාප නායකයා ප්‍රකාශ කළේ ඉතා ඉක්මනින් ඔහු එජාප නායකත්වයට පත්වනු ඇති බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ අනාගත එජාප නායක රුවන් විජේවර්ධන මහතා, පක්ෂයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දැරිය යුතු බවයි.

මේ සඳහා තවමත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව නොමැති අතර මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය හිමිවනු ඇත.