සහරාන් කළේ විසිරිලා හිටපු මෙරුන් එකතු කරන්න පහනක් දැල්වීම් - SIS හිටපු අධ්‍යක්ෂ සාක්ෂි දීම අවසන් කරමින් කියයි

සහරාන් කළේ විසිරිලා හිටපු මෙරුන් එකතු කරන්න පහනක් දැල්වීම් - SIS හිටපු අධ්‍යක්ෂ සාක්ෂි දීම අවසන් කරමින් කියයි

22 October 2020 11:07 pm

සහරාන් හෂීම් සිදුකළේ කාමරයක් පුරා විසිරි හිටපු මේරුන් එක තැනකට එකතු කරන්න පහනක් පත්තු කිරීම බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ වත්මන් නැගෙනහිර  පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේය. 

එහෙත් එම පහන පත්තු කිරීමට පහන ගෙනාවේ කවුද? තෙල්  ගෙනාවෙ කවුද? තිරය ගෙනාවේ කවුද? ගිණිකුර ගැහුවෙ කවුද? කියන එක ගැන සොයා බැලිය යුතු බවයි ජයවර්ධන මහතා කොමිසම හමුවේ සඳහන් කළේ. 

ඉතා ගෞරවාන්විත ආගමක් වැරදි ලෙස අර්ථ කථනය කර තරුණයින් නොමඟ යව තිබෙන අතර මෙය යළි යළිත් හිස ඔසවන බවයි හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ. 

''LTTE එකේ ප්‍රභාකරන් මියගියාට පසුව ඔහුගෙ මුලිකත්වයෙන් පිහිටවු සංවිධානය අවසන් කියලා බොහොම සතුටින් අපි ඒ ෆයිල් එක වැහුවා. නමුත් සහරාන් හෂීම් මියගියා කියලා මේක නතර වෙන්නෙ නැහැ. මම 2016 ඉදලා කිව්වා ඒ ෆයිල් එක ඕපන් කරන්න කියලා. ජාත්‍යන්තර බුද්ධි අංශ කියන විදිහට අපි කොව්ඩ් එක්ක ජිවත් වෙන්න පුරුදූ විය යුත්තේ යම්සේද ඒ විදිහටම තමයි අන්තවාදි ප්‍රශ්නය දිහාත් බලන්න ඕනෙ'' යනුවෙන් 26 වෙනි දිනටත් මෙම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු පැවසුවේය. 

අද දිනයේදී නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි විමසීම අවසාන විය. 

මේ අතර  අප්‍රේල් 4 වනදා විදේශ බුද්ධි අංශ ලබාදුන් බුද්ධි තොරතුර සම්බන්ධයෙන් රටපුරා විසිරි සිටින රාජ්‍ය බුද්ධි සේවා නිලධාරින් දැනුවත් කිරිමක් සිදු කර නොතිබු බව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (21) අනාවරණය විය. 

ඊයේ පස්වරුවේ කොමිසම හමුවේ පෙනී සිටි රාජ්‍ය බුද්ධි සේවා හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් කොමිසමෙ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ,පසුගියදා මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි සේවා නිලධාරින් සදහන් කළ පරිදි  අප්‍රේල් 4 වැනිදා ලැබුණු විදේශ බුද්ධි තොරතුරක් සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරිමක් ඔවුන්ට සිදුකර නොතිබු බවත්,එසේ ඔවුන් දැනුවත් නොකළේ  ඇයිද යන්න පිළිබඳවයි. 

ඊට පිළිතුරු ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ "මම මාර්තු 26 හෝ ඊට ආසන්න දිනකදී  මගෙ නියොජ්‍ය ,සහකාර අධ්‍යක්ෂකවරුන් සමග පැවැති උපදෙස් පංතියකදී සදහන් කළා සහරාන් හෂීම් ඇතුලු පිරිස ලංකාවේ කිසියම් ප්‍රහාරයකට සුදානම් වීමේ ප්‍රවණතාවයක් තියනවා ඒ නිසා රටපුරා සියලු බුද්ධි අංශ නිලධාරීන් දැනුවත් කරන ලෙස උපදෙස් ලබා දි තිබුණු බවයි.

මීට පෙර ජනාධිපති කොමිසම විසින් මාධ්‍ය වෙත විවෘත නොකර ලබාගත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි ඇසුරෙන් නිලන්ත ජයවර්ධන මහතාගෙන්  ප්‍රශ්න කිරීම් සිදුවිය. 

අප්‍රේල් 4 වෙනිදා විදෙස් බුද්ධි තොරතුර ලැබෙනවිට සහරාන් කොහෙද ඉන්නෙ කියා ඔබ දැන සිටියා දැයි සභාපති විනිසුරුවරයා විමසා සිටියේය. 

ඊට පිළිතුරු දෙම්න් නිලන්ත  ජයවර්ධන මහතා කියා සිටියේ " ජනවාරි 20 වෙනකල් මාවනැල්ලෙ ඉන්නවා කියලා තොරතුරු ලැබුණා. නමුත් අප්‍රේල් 4 වෙනකොට කොහෙද ඉන්නේ කියලා නිශ්චිත ස්ථානයක් වාර්තා වුණේ නැහැ'' යනුවෙනි. 

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ප්‍රශ්න කළේ  එම  වාතාවරණය තුළ රටපුරා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් විදෙස් බුද්ධි තොරතුර පිළිබඳ දැනුවත් කර සහරාන්ලාගේ ඡායාරූප යවා ඔවුන්  සොයාගැනීමට  තිබුණා නේද ? යනුවෙනි. 

" ස්වාමීනි 2019 මාර්තු මාසයේ තිබුණ බුද්ධි රැස්වීමේදී අපිට පැහැදිලි වුණා සහරාන් ඉන්දියාවට ගියා කියලා. නමුත් ඒ තොරතුරු අපිට තිබුණේ නැහැ. යුධ හමුදා බුද්ධි අංශය තමයි මේ තොරතුර ගෙනාවෙ. මං ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ මේ විෂයට අදාළ සියලුම නිලධාරින් ගෙන්නලා ඇහුවා සහරාන් ඉන්නේ ඉන්දියාවේද, සිරියාවෙද, ලංකාවෙද කියලා. ඊටපස්සෙ මාර්තු 26 මම ඉන්දියාවේ තොරතුරුකරුවත් ගෙන්වලා මේ ගැන අහගත්තා. එදිනම ස්වාමීනි SIS එකේ රටපුරා ඉන්න නියෝජ්‍ය, සහකාර අධ්‍යක්ෂවරු සහ ස්ථානාධිපතිවරු ගෙන්වලා මම කිව්වා 'සහරාන් සහ ඔහුගේ ගෝලයන් ලංකාව තුළ ප්‍රහාරයක් සිදුකරන්න පුලුවන්' කියලා "යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා ඊට පිළිතුරු ලබාදුණි.

ඒ අනුව ඔබ අප්‍රේල් 4ට පෙර මාර්තු 26 වෙනිදා වනවිටත් සහරාන් හෂීම් ඇතුලු පිරිසට ප්‍රහාරයක් එල්ල කළ  හැකි බව දැනුවත්ව සිටියා දැයි සභාපති විනිසුරුවරයා විමසා සිටියේය. 

" ස්වාමීනි එහෙම හැකියාවක් තිබෙන බවට මම මගේ නිලධාරීන්ට උපදෙස් පන්ති පවත්වලා දැනුවත් කළා. මාර්තු 26 උපදෙස් ලේඛණයක් රටපුරා ඉන්න නිලධාරින්ට යොමු කරන්න කියල ඒ පන්තියට සහභාගී වූ මගේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට මම දැනුම්දුන්නා "

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු තවදුරටත් ප්‍රශ්න කළේ, " ඔය 26 වෙනිදා උපදෙස් ලේඛණය ගැන මෙච්චර දවසක් මේ කොමිසමට නොකිව්වේ ඇත්තටම ඔබට අප්‍රේල් 4 ලැබුණු තොරතුර ගැන විශ්වාසයක් නොතිබුණු නිසා නේද ?" යනුවෙනි. 

ඊට පිළිතුරු දුන් හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ " 4 වෙනිදා whatsapp එක ආවම මට තිබුණා ඒක වටේ යවන්න. වටේ යවලා අත හෝදගන්න තිබුණා. ඊටපස්සෙ අප්‍රේල් 20 වෙනිදා එච්චර නිශ්චිත තොරතුරක් දීලත් ඒක ඉන්දියාවෙන් දුන්නේ කියලා කිව්වේ නැහැයි කියනවා. මං මේ තොරතුරු අවිශ්වාසදායි අවැදගත් කියලා හිතුවේ නැහැ " ලෙසය. 

" ජයවර්ධන මහත්මයා ඔබට අවවාද කරනවා හරියට කතාකරන්න කියලා. මම ආයෙත් අහනවා ඔබෙන් මාර්තු 26 වෙනිදා රටපුරා ඉන්න රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට සහරාන් ප්‍රහාරයක් කරන්න පුලුවන් කියලා දැනුම්දුන්නේ ඔබ නිශ්චිත වශයෙන්ම ඒ ගැන අවබෝධයකින් ඒ වෙද්දිත් හිටපු නිසා නේදැයි සභාපති විනිසුරුවරයා විමසා කියා සිටියා.

" 2017 ඉදන් කිව්වේ ස්වාමීනි'' නිලන්ත ජයවර්ධන පිළි තුරු දෙමින් සදහන් කළා.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු එහිදි අවධාරණය කළේ " අහන ප්‍රශ්නයට හරියට උත්තර දෙන්න ජයවර්ධන මහත්මයා.." යන්නෙනි.

නිලන්ත ජයවර්ධන එහිදි පැවසුවේ," ඔව් ස්වාමීනි සහරාන් ලංකාව ඇතුළේ මොකක්ම හරි කරයි කියලා අවබෝධයක් තිබුණා. "

එවැනි අවබෝධයක් තිබිලත් අප්‍රේල් 4 වෙනිදා අර විදෙස් බුද්ධි තොරතුර ලැබුණම රටපුරා ඉන්න රාජ්‍ය බුද්ධි නිලධාරින් ඒ ගැන දැනුම්වත් නොකළේ ඇයි දැයි සභාපති විනිසුරුවරයා විමසා සිටියේය. 
 
" මම හිතන්නේ එහෙම කරන එක වැදගත් නැහැ. මේ තොරතුර ආවේ විදෙස් අංශයකින් නිසා ඔහුගෙන්ම තමයි තොරතුරු ගන්න ඕනේ'' නිලන්ත ජයවර්ධන මහතා පිළිතුරු දුන්නා.
 
" නිලන්ත මහත්තයා, ඔබ අද මේ කොමිසමේ සාක්ෂි දෙන 25 වෙනි දවස. ඇයි මේ මෙච්චර කල් නොතිබුණු Tension එකක් අද ඇවිත් තියෙන්නේ යනුවෙන් විනිසුරුවරයා තවදුරටත් අසාසිටියේය.

" නැහැ නැහැ ස්වාමීනි.. මට අවවාද කළානේ.. ඒකයි " යනුවෙන් ඔහු ඊට පිළිතුරු ලබා දුන්නේය. 

මෙහිදී ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු සක්ෂිකරුගෙන් අසාසිටියේ " ඔබ මේ කොමිසමේ සාක්ෂි දෙමින් පනස් වතාවකට වැඩියේ කිව්වනේ ඔබ විනයගරුක නිලධාරියෙක් කියලා. ඇයි එහෙනම් ඔබ අනිත් නිලධාරින් එක්ක කතා කරපු ඒවා රෙකෝඩ් කළේ ?"

සාක්ෂිකරු:ස්වාමීනි අද මට මොකද වෙලා තියෙන්නේ. මම යවපු රිපෝට්ස්වල ඉස්පිලි පාපිලි නැතිලු. මොන්ටිසෝරියේ රිපෝර්ට් වගේලු. බිත්තර වාර්තාලු. එහෙනම් ඇයි ඒවා එවද්දි මේ බිත්තර වාර්තා එවන්නේ කියලා ඇහුවෙ නැත්තේ ඒ අය. ස්වාමීනි මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයගෙ පුතෙක් වගේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ නෙවෙයි. මිනිස්සුන්ට බලය නැති වෙනකොට මම ඒගොල්ලන්ගේ පුතා කරනවා. ඒකනේ දැන් මාව මෛත්‍රීපාල මහත්තයගේ පුතා කරලා තියෙන්නේ. කාලයක් මාව ගෝඨාභය මහත්තයගේ පුතෙක් කළා. කාලයක් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ පුතෙක් කළා. මටත් ඕනෙ බලවත් තාත්තා කෙනෙක්. ඒත් දැන් මාව අවජාතක වෙලා. ඒ මං දේශපාලනයට යටත් නොවුන නිසා. මං රෙකෝඩ් කරපු එක අනුව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂට විනයක් නැහැ තමයි. හැබැයි මට එහෙම කරන්න වෙනවා. 

පසුව නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමෙන් කළ ඉල්ලීමක් අනුව ඔහුගෙන් කෙරුණු සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත නොවීය.