සහරාන්ගේ බිරිඳ හාදියා ලබන 04 දක්වා රිමාන්ඩ්

සහරාන්ගේ බිරිඳ හාදියා ලබන 04 දක්වා රිමාන්ඩ්

22 October 2020 10:26 pm

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත මාස 18 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටි සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (22) නියෝග කරන ලදී. 

ඒ අනුව අබ්දුල් කාදර් ෆාතිමා හාදියා සමඟ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අසරුඩීන් මොහොමඩ්  ඉල්මි, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහම්මදු මෂ්නුක් මොහහොම්මදු රිලා, මොහොම්මදු අමීර් එම් අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් රිෆායිල් යන අයයි.

මහේස්ත්‍රාත් වරයා එම නියෝගය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකරුවන් රැඳවුම් නියෝග අවසානයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා හෙට 23 පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් වරයා නියෝග කළ අතර ඇගෙන් සාක්ෂි විමසනවාද? නැද්ද? යන්න පිළිබඳව හෙට පෙරවරු 10.00 කොමිස්දම විසින් ප්‍රකාශයට පත්කරනු ඇති.